2002 ජූලි 19 වැනි දින මුල් වරට තිරගත කරන ලද ‘තහනම් ගහ’ යොවුන් ප්‍රේමය වළ දැමූ අසම්මත ප්‍රේමයක කතාවයි. මෙය අධ්‍යක්ෂණය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුය.

නොවැම්බර් 2 වැනිදාවක උපන් ඔහු සිනමාව පිළිබඳව බොහෝ අවධානයක් දැක්වූ අයෙකි. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවත්, රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය පාඨමාලාවත් හදාරා ඇත. ඉන්පසු කලා ලොවට පිවිසි ඔහු ටෙලි නාට්‍ය නිර්මාණයන්ටද දායක විය. ඔහු පුංචි තිරය හරහාද ඔහුගේ දක්ෂකම් පෙන්වා ඇත. අන්දරේ, පාවාඩ, දෙවැනි කැමැත්ත, සඳකිඳුරු, මහගෙදර, මඟුල් සක්වල, වෙස්ගත්තෝ, මාරකය, ජීවිත රෝදය ඔහුගේ ටෙලි නිර්මාණයන්ය. මේ සියල්ලම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය ඉහළින්ම ලැබූ ටෙලි නාට්‍ය වේ.

ක්‍රිස්ටි ෂෙල්ටන්, වසන්ත ඔබේසේකරගේ තිරනාටක පාඨමාලාව හදාරා පසුව වසන්ත ඔබේසේකරයන් සමග ‘දඩයම’ චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට එක්වූයේය. චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වීමේ වරම ලබාදුන්නේද ඔබේසේකරයන් විසින්මය.

එච්.ඩී. ප්‍රේමරත්න, වසන්ත ඔබේසේකර, මාලනී ෆොන්සේකා, රංජිත් කුරුප්පු, සිරිල් වික්‍රමගේ යන අධ්‍යක්ෂවරුන් යටතේ නිර්මාණකරණයට දායක විය. ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘කඳුකරයේ කතාවක්, පුදියවානම් පුදියභූමි, අත්වැල්, බැද්දට මල් වරුසා’ යන කෙටි චිත්‍රපට හතර අධ්‍යක්ෂණය කළේය. මොහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමා ලොවට පිවිසෙන්නේ 1991දී නිර්මාණය කළ ‘අරගලය’ චිත්‍රපටය තුළිනි. ඔහුගේ දෙවැනි චිත්‍රපටය ‘ඉන්ද්‍රඛීලය’ තුළින් අපේ කාලයේ පටාචාරාවක් ගැන කීවේය. ‘තහනම් ගහ’ ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ තෙවැනි චිත්‍රපට නිර්මාණයයි. ඔහුගේ හතරවැනි නිර්මාණය ‘ගිනි මැද සක්මන්’ යනුවෙන් නම්කොට ඇත.

‘දඩයම’ චිත්‍රපටයේ හොඳම තිර නාටකය වෙනුවෙන් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු 1984දී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය.

‘තහනම් ගහ’ චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය.
එකම පවු‍ලේ සොහොයුරන් දෙදෙනෙක් හා ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගන්නා මවක හා දුවෙක් පිළිබඳව ගෙන එන අසම්මත ප්‍රේම වෘතාන්තයක් මෙහි කතාව ලෙස යොදාගෙන තිබේ.

වාමාංශික දේශපාලනයේ සහ වෘත්තීය සටන්වල නියැළි ප්‍රකට පුද්ගලයෙකි රෙජිනෝල්ඩ් විජේවර්ධන. ඔහු නීතිඥයෙක්ද වේ. ඔහුගේ මෙහෙයවීමෙන් නිහඬව සිටි පතල් කම්කරුවෝ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අවදි වෙති. ඔහුගේ බිරිඳ හෙලන් විජේවර්ධනයි. ඇයට රෙජිනෝල්ඩ් මුණ ගැසෙන්නේ බ්‍රිතාන්‍යයේදීය. බ්‍රිතාන්‍යයේදී මිත්‍රව රෙජිනෝල්ඩ් හා විවාහ වන ඇය, රැඩිකල් මතධාරී කාන්තාවකි. ඔවුන් දෙපළගේ පුතුන් සරත් හා වසන්තය. විදේශයක නීතිය හදාරා මෙරටට පැමිණෙන සරත් ප්‍රථමයෙන් නීති වෘත්තියේත්, දෙවනුව වාමාංශික දේශපාලනයේත් නිරත වේ. බාල සොහොයුරා වසන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ලොල් වූවෙකි.

නිර්මලා, සීතාගේ දියණියයි. සීතාගේ සැමියා මියගොස් ඇති අතර ඇය දියණිය හා වෙනම ජීවත් වෙයි. නිර්මලා පාසල් සිසුවියකි. දිනක් වසන්ත සහභාගි වූ ක්‍රිකට් තරගයක් නිර්මලා සහ ඇගේ යෙහෙළියන් දෙදෙනකු නරඹති. මෙහිදී නිර්මලා සහ වසන්ත මිතුරු වේ. හිටි හැටියේම රෙජිනෝල්ඩ් මිය යයි. ඔහුගේ මෘත දේහය පක්ෂ කාර්යාලයට ගෙනැවිත් අඩක් වසා රතු කොඩියකින් ආවරණය කර තිබේ. විවිධ පුද්ගලයන් පැමිණ ආචාරය දක්වයි. සරත් ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරයි. දිනක් තම නිවසේ බිතෝවන්ගේ තැටියක් තිබෙනු දැක එය කවුරුන් විසින් ලබාදුන් එකක්දැයි විමසයි. එය තම  යාළුවකුගේ අම්මා තෑගි කළ බව වසන්ත පවසද්දී සරත්ටත් ඔවුන් දැකීමට අදහසක් ඇතිවේ.

වසන්නත්, සරතුත්, නිර්මලාගේ නිවසට යති. ඇගේ මව සීතා ඔවුන් පිළිගනී. සරත් දේශපාලනය කරයි. සීතා සංගීතය ගැන ඔහු සමග කතා කරයි. දේශපාලන පලහිලව් මැද සීතා හා සරත් අතර ප්‍රේම සම්බන්ධයක් හටගනී. ඔවුන් නිතර යොවුන් පෙම්වතුන් සේ හැසිරෙති. සීතාගේ නිවසේ පාරම්පරික මෙහෙකරු හරමානිස් මෙය දැක කෝප වෙයි. සීතා හා සරත් ප්‍රේමය දලු ලා වැඩෙත්ම ඇය තම දියණියගේ ප්‍රේම සම්බන්ධයට අකමැති වෙයි. එවිට නිර්මලා පවසන්නේ ‘අම්මා සරත්ව බඳින්නද හිතාගෙන ඉන්නේ. ඒකයි අපේ සම්බන්ධයට අකමැති’ යනුවෙනි.

සරත්, සීතා සම්බන්ධය පිළිබඳව පාලම්, බෝක්කු, කඩපිල්වල කැලෑ පත්තර අලවා ඇත. වසන්තත් තම සොහොයුරු සරත්ට බැණ වදී. එකම පවු‍ලේ මව හා දුව අතර සම්බන්ධකම් ඇති කරගෙන තහනම් ගහේ නගින්ට යන මේ ආදරවන්තයන්ට කුමකින් කුමක් වේද? මේ සියල්ලන්ගේම ප්‍රශ්න අවසන විසඳෙයි.

මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම වින්සන්ට් ෆිල්ම්ස් නිපැයුමකි. නිෂ්පාදනය ඩබ්ලිව්. රංජිත් පෙරේරාය.
සහාය අධ්‍යක්ෂණය ගාමණී සමරසිංහ. කැමරා අධ්‍යක්ෂණය ඇන්ඩෲ ජයමාන්න, සංස්කරණය එල්මෝ හැලිඩේ, අංග රචනය රංජිත් වික්‍රමසිංහ, කලා අධ්‍යක්ෂණය සේන මාඩුලගේ, සහාය දමිත් නන්දලාල්, නැටුම් අධ්‍යක්ෂණය චන්න විජේවර්ධන, සැකසුම සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය.

සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රම. ගීත ප්‍රබන්ධය මහාචාර්ය සුනිල් ආරියරත්න, ගායන ශිල්පීන් කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රදීපා ධර්මදාස, විශාරද නන්දා මාලනී, අයිවෝ ඩෙනිස්, හඬකැවීම නිහාල් ජයවර්ධන, රෝයි ජයවර්ධන, සුනිල් ද මොරායස්, කුසුම් ශ්‍යාමලී, සමන් සිල්වා, නිව්ටන් ගුණසේකර, සුරේෂ් වික්‍රමසිංහ.

නළු නිළියන් දිල්හානි ඒකනායක, සිරිල් වික්‍රමගේ, අශෝක පීරිස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ශෂී විජේන්ද්‍ර, රාසි අන්වර්, ඉන්ද්‍රජිත් නාවින්න, රිචාඩ් වීරක්කොඩි, බන්දුල සූරියබණ්ඩාර, සුමනා ගෝමස්, නන්දනී නිශ්ශංක, ශ්‍රීමතී හීනටිගල, උෂානි වීරසිංහ, සකුන්තලා සෙනෙවිරත්න, අනුලා විදානආරච්චි, කීත් රංග අරුණ ශාන්ත පතිරණ, සෝමසිරි අසුරමාන්න, ජයන්ත සේන මාඹුලගේ, රංජිත් වික්‍රමසිංහ, උපාලි රංජිත්, පී.ඒ. නවරත්න, මායාදුන්න බණ්ඩාර, ඇන්ඩෲ ප්‍රනාන්දු, මාකස් චන්ද්‍රදාස, ආනන්ද හේරත්, එච්.ටී.කේ. විජේසූරිය, එච්.ඒ. පෙරේරා, සරත් ද සිල්වා, සෞම්‍ය සිල්වා, ජේ.බි. ධර්මදාස, නිලුපුලී නිදර්ශා සිල්වා, උදානි උපේක්ෂා සිල්වා යනාදීන් රඟපෑහ.

ඔස්කා මෙන්දිස්