විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය සම්බන්ධව මේ දිනවල විවිධ චෝදනා එල්ල වෙනවා නේද?
ඒ පිළිබඳව චෝදනා වශයෙන් හෝ සංවාදයක් මතුවීම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා. හැබැයි 20 පිළිබඳව බොරු බිල්ලො මවලා ආපසු රට නොමග යවන්න හදන එක පිළිබඳව අපේ කනගාටුවක් තියෙනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. එහි හංගන්න මුකුත් නැහැ. හංගලා රටේ නීති හදන්නත් බැහැ. විධායක ජනාධිපති ධුරය තියාගන්න මහින්දට, රනිල්ට, මෛත්‍රිට සදාචාරාත්මක අයිතියක් නැහැ. 1994 ඉඳලා චන්ද්‍රිකාගේ සිට මෛත්‍රි දක්වා පිරිස ‍පොරොන්දු දුන්නා මේ විධායකය අහෝසි කරනවා කියලා. මේ අය ගේන්න ඕන පනත අපි ගෙනාවා. අඩුපාඩු තියෙනවා නම් සංශෝධන හැටියට ඉදිරිපත් කරලා පනත සම්මත කරගැනීමට මේ පිරිස උදව් කළ යුතුයි. එහෙම නොකරන්නේ ඔවුන්ට තවදුරටත් මේ විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසයි. මේ සමාජයේ ඉන්නවා ඒකාධිපතියෙක් ඕන කියන පිරිසක්. ඒකාධිපති බලතල නිසා මේ රට සෑහෙන්න විඳෙව්වා. විධායක ජනාධිපති බලතල නිසා ඇතැම් කාලවල මැතිවරණ සිතියම හැකිලූවා. කම්කරුවෝ ලක්ෂයකට වඩා එළියට දැම්මා. 83 කළු ජූලිය ආවා. ජාතිවාදය ‍පෝෂණය වුණා. රටක තීන්දු ගන්න කොට එක්කෙනෙක් ගන්නවා වෙනුවට හැමෝම ඊට සහභාගි වෙන එක නරකද? ඒ පිළිබඳ ජනතා මතය උරගා බලන්න අපි කැමතියි.

ජනාධිපතිවරයා නිව්යෝක් හිදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ජවිපෙ ස්ථාවරය කුමක්ද?
මේ ජනාධිපතිවරයා නම් හීනෙන් අවදි වුණා වගේ එක එක ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩුවේ එකමුතුවක් තිබෙන බව අපට පෙනෙන්නේ නැහැ. ඕක ජවිපෙන් අහනවට වඩා වටින්නේ රනිල් වික්‍රමසිංහ වගේ ආණ්ඩුවෙම පාර්ශවකරුවකුගෙන් විමසුවා නම් වඩා හොඳයි.

කොහොම නමුත් මේ රට ආපහු බිලි දෙන්න හරි පාවලා දෙන්න හරි රට කඩන්න හරි ඉඩ දෙන්නේ නැහැ.

මංගල සමරවීර අමාත්‍යවරයා අගරදගුරුතුමාට එරෙහිව කරනු ලැබූ ප්‍රකාශය ජවිපෙ අනුමත කරනවාද?
කොහෙත්ම නැහැ. අගරදගුරුතුමා ආගමික පැත්තෙන් මානව හිමිකම් ගැන ප්‍රකාශ කළා. නමුත් මේ සංකීර්ණ සමාජය තුළ ලෝක සම්මතයකට අනුව යම් යම් මානව හිමිකම් නීති හදාගෙන තියෙනවා. ඒවා සමාජයක තිබිය යුතුයි.

කොහොම නමුත් අගරදගුරුතුමාගේ ප්‍රකාශ තමන්ගේ වාසියට හරවාගෙන අපහාස වන ආකාරයට විග්‍රහ කිරීම අනුමත කරන්න බැහැ. මංගල සමරවීර ඇතුළු සියලු දෙනා බටහිරට ඕන විදිහට තමයි කටයුතු කරන්නේ. රටේ ස්වෛරීත්වය, ආරක්ෂාව වගේම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහටයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ හින්දා මංගල සමරවීරගේ ප්‍රකාශ අපි දකින්නේ බරපතළ වැරදීමකින් සහ රට නොමග යැවීමට සිදු කරන ඒවා ලෙසයි.

ජවිපෙ නායකයාගේ ඉන්දීය සංචාරය දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ කොහොමද?
පසුගිය කා‍ලේ අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරලා යම් යම් කොන්දේසිවලට එකඟ වුණා. හිටපු සහ ඉන්න පාලකයෝ ඉන්දියාව වන්දනාවේ යෙදෙනවා. ජවිපෙ හැටියට විදෙස් ගනුදෙනු සම්බන්ධතා, දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම දෙස අපි සුබවාදීව බලනවා. අපේ ආණ්ඩු බලයක් යටතේ වුණත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන්න අවශ්‍යයි. නමුත් ඒ වෙනුවට ඉන්දියාවට අපේ රටේ අනන්‍යතාවය යට කරලා දමන්න අපේ සූදානමක් නැහැ.

අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉන්දීය සංචාරය සූදානම් කරලා තියෙන්නේ ඉන්දියාවේ සිටින අපේ වැසියන් දැනුවත් කරන්නත්, ඉන්දියාවේ වමේ දේශපාලන ව්‍යාපාර සහසම්බන්ධය වර්ධන කරගන්නත් අවශ්‍ය නිසයි. නමුත් අපේ රට පිළිබඳව ඉන්දීය බලපෑම සුළුපටු නැහැ.

ජවිපෙ විකල්ප දේශපාලන බලවේගයේ ඉදිරි නායකත්වය පිළිබඳව ඉඟියක් දෙන්න පුළුවන්ද?
1948 ඉඳලා මේ වෙනකම් මේ රට කරපු උදවිය මේ රට අසමත් කරලා ඉවරයි. වසර 70ක පරීක්ෂණවලින් පසුව රට දැවැන්ත ණය කන්දක හිර කරලා. ආර්ථිකය බිඳ වැටෙමින් පවතිනවා, සංස්කෘතිය විනාශවෙලා. අධ්‍යාපනය, ආගමික කටයුතු විනාශවෙලා. බරපතළ අර්බුදයකට රට ගොදුරුවෙලා.

දැන් ජවිපෙ ජනතාවට යෝජනා කරනවා මේ සාම්ප්‍රදායික දේශපාලන ගමන්වලින් මිදිලා අලුත් මගක් සහ නායකත්වයක් පිළිගන්නා ලෙසට. ඒ සඳහා දැන් මේ රට පාලනය කරන්නේ රටක් භාරදෙන්න ඕන අය නෙවේ. රටේ හිරගත කළයුතු පිරිසයි. මේ රටේ පාර්ලිමේන්තුව පළාත් සභාව, ප්‍රාදේශීය සභාව උගත්, බුද්ධිමත් පිරිසකගෙන් පිරවිය යුතුයි.

ලබන වසරේ ජවිපෙ ප්‍රමුඛ පුළුල් ජාතික පෙරමුණ එළිදැක්වීමට අපි දැනටමත් සූදානම් වෙලා ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් සිටිනවා.
ඒ හැදෙන අලුත් පෙරමුණ බලය උදෙසා සටන් වදින දේශපාලන පක්ෂවලින් තොර නැවුම් පිරිසකගෙන් සමන්විත වෙයි. ලංකාවේ පහුගිය ජනාධිපතිවරණයේදී සිවිල් බලවේගයක් ගොඩ නැගුණා. බලයට ගේන්න මේ පිරිස පාර හදලා දුන්නට බලයට ආපු පිරිස් මේ බලවේගයේ බලා‍පොරොත්තු ඉටු කළේ නැහැ. බලය අරන් දීමෙන් නොනැවතී බලය පවත්වාගෙන යාම සඳහා නව පෙරමුණක් යටතේ නව නායකයත්වයක් බිහිවෙයි. ඒක තීන්දු කරන්නේ අප නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ කොටස්කරුවෝ සියලු දෙනාගේ කැමැත්ත මත නායකත්වය තීරණය කරයි.

රුපියල අවප්‍රමාණය වීම සහ රටේ ආර්ථිකය කඩා වැටීම පිළිබඳ ජවිපෙ මතවාදය කුමක්ද?
අපේ රටේ රුපියල සහ ආර්ථිකය පමණක් නොවේ කඩා වැටිලා තියෙන්නේ. අපේ රටේ සමස්තයම කඩා වැටිලා ඉවරයි. සමස්ත සමාජයම බිඳ වට්ටන්න මේ දේශපාලකයෝ මුල් වුණා.

රුපියල බාල්දු නොවෙයි, මේ වෙනකොට මස්තබාල්දු වෙලයි තියෙන්නේ. දැක්මක් නැතුව ගිය ගමනක අස්වැන්නක් තමයි මේ නෙළමින් ඉන්නේ. ජාතික නිෂ්පාදනය නගා සිටුවලා, කෘෂිකර්මාන්තයට පණ දීලා මේ ආර්ථිකය නගා සිටුවීමට පියවර ගත යුතුයි.

මේ තත්ත්වය නිසා දුප්පත් මිනිහගේ ‍පොකැට්ටුවට තමයි පාර වැදිලා තියෙන්නේ. රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට දාලා ප්‍රතිකාර දෙන්න ඕන තත්ත්වයට වැටිලා.

දේශපාලනඥයෝ ගන්න ඕන තරම් ණය ගත්තා. ගහන්න පුළුවන් තරම් කොමිස් ගැහුවා. පුළුවන් තරම් හොරකම් කළා. දැන් ආර්ථිකය පණ අදින තත්ත්වයට පත්වෙලා ඉවරයි.

‍පොලිස්පතිවරයා ඉවත් විය යුතුයි කියා ජවිපෙ හිතනවාද?
‍පොලිස්පතිවරයා පිළිබඳ තීරණය තියෙන්නේ ආණ්ඩුව අතේ. නමුත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් විහිළුකාරයෝ වෙලා ඉන්න මොහොතක මේ වගේ අරාජික දේවල් රටේ වෙනවා.

අපිටත් පේනවා ‍පොලිස්පතිවරයා විටෙක උඩරට නැට්ටුක්කාරයෙක් වෙනවා, විටෙක අන්දරේ කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ පාලකයන්ගේ ස්වභාවයයි. යකාගේ හැටියටනේ විමානේ. ආණ්ඩුවේ හැටියට තමයි ‍පොලිස්පතිගේ රංගනය. ඕකේ පුදුම වෙන්න දෙයක් නැහැ.

තමන්ගේ තනතුරේ ගරුත්වය රැකගෙන රටේ රාජකාරි කටයුතු කරන එක නවත්වලා නටනවා. ලෝකය හමුවේ රට හෑල්ලුවට ලක්වෙනවා.

නෙරංජලා වික්‍රමසිංහ