කලාපය පුරා වෙසෙන ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා කුසලතා එළිදැක්වීම සඳහා වේදිකාව බවට පත්ව ඇති ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේ තෙවැනි පියවර එළැඹෙන ඔක්තෝබර් 6 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වේ.

මෙවර මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනකු සහභාගි වීමට නියමිතය. ඊට ක්‍රීඩකයන් 32ක් හා ක්‍රීඩිකාවන් තිදෙනකු අයත්ය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින්නේ ක්‍රීඩාවන් 9ක් ඔස්සේය. එහිදී මලල ක්‍රීඩා ඉසව් සඳහා තරගකරුවන් 20 දෙනකු සහභාගි වන අතර වෙඩී තැබිමේ හා රෝද පුටු ටෙනිස් සඳහා තරගකරුවන් තිදෙනකු බැගින්ද, පිහිනුම් තරග, දුනු ශිල්ප තරග සඳහා සහ දෘශ්‍යාබාධිත චෙස් තරග සඳහා දෙදෙනකු බැගින්ද සංචාරයට එක්ව සිටිති.

මීට අමතරව සවි එසැවීම, බැඩ්මින්ටන් හා මේසපන්දු යන ක්‍රීඩාවන් වෙනුවෙන් එක තරගකරුවකු බැගින්ද ඇතුළත්ය.
මෙම ක්‍රීඩා උළෙ‍ලේ පළමුවැන්න 2010 වසරේ චීනයේදී ද, දෙවැන්න 2014 වසරේ දකුණු කොරියාවේදී ද පවත්වා ඇත. එම අවස්ථා දෙකේදී ශ්‍රී ලංකාව පදක්කම් 22ක් දිනා ගන්නට සමත් විය.

අවසන් වරට 2014 වසරේ දකුණු කොරියාවේදී පවත්වන ලද ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 7ක් සමගින් පදක්කම් 14ක් දිනා ගත්තේය.
ඒ අනුව එවර ක්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 41 අතර ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය හිමිවිය.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට ඇතුළත්ව සිටින ලෝක මට්ටමෙන් සලකන විට ඉහළින්ම සැලකිය හැකි ක්‍රීඩකයන් තිදෙනකු පිළිබඳ සඳහන් කළ හැකිය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනා ඇති අතර මේ වන විට ඔහු ජ් 44 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටියි.

ඔහු හැරුණු විට මීටර් 100 හා 200 තරග සඳහා සහභාගි වන උපුල් ඉන්දික චූලදාස හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සම්පත් හෙට්ටිආරච්චිද පසුවන්නේ ලෝක මට්ටමේය.

තවද දුනු ශිල්ප ක්‍රීඩක සම්පත් බණ්ඩාර, මේස පන්දු ක්‍රීඩක දිනේෂ් දේශප්‍රිය හා රෝද පුටු ටෙනිස් ක්‍රීඩක ගාමිණී දිසානායක ආසියානු කලාපයේ ඉහළම දස්කම් ප්‍රදර්ශනය කරන ක්‍රීඩකයන් ලෙස හඳුන්වා දිය හැකිය.
කෙසේ වුවත් පසුගියදා මෙම ජකර්තා ක්‍රීඩාංගණයම කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක පමණ සංචිතයක්ද සහිතව ශ්‍රී ලංකාව සහභාගි වුවත් එහිදී ශ්‍රී ලංකාවට එකම පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි වී තිබිණ.

එබැවින් මෙරට ක්‍රීඩා ලෝලීන් පසුවන්නේ අපේක්ෂා භංගත්වයෙන් බව පැහැදිලිය.
එම නිසා ඒ ආකාරයෙන් කඩා වැටුණු මානසිකත්වයකින් පසුවන මෙරට ක්‍රීඩා ලෝලීන් නැවතත් ප්‍රබෝධමත් කිරීම මෙම පැරා ක්‍රීඩකයන්ගේ එකම අපේක්ෂාව වී ඇත.

ඇත්ත වශයෙන්ම ඒ සඳහා ඔවුන්ගේ ආබාධ කිසිසේත්ම බාධාවක් නොවනු ඇතැයි අතීතය හා සසඳන විට විශ්වාස කළ හැකිය.

සීවලී එදිරිවීර