ආසියානු ක්‍රිකට් කුසලානය මෙරටට ගෙනඒම සඳහා දහසක් බලා‍පොරොත්තු තබාගෙන අරාබියට ගිය අපේ ක්‍රීඩකයන්ට හිස් අතින් මෙරටට පැමිණීමට සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දහසක් බලා‍පොරොත්තු බිඳ වැටෙද්දීය.

මෙම කුසලානයට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මනා පුහුණුවක් ලබාගැනීමට විස්සයි-20 දේශීය තරගාවලිය ශක්තියක් වුණි. එහිදී උපුල් තරංග ප්‍රමුඛ පිතිකරුවන් කිහිප දෙනකුම ශතකයන් මෙන්ම අර්ධ ශතකයන් රැසක් තම පිත්තෙන් ලබාගත් අතර, තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් රැසකම ක්‍රීඩකයන් සිය දක්ෂතාවන් අතර සිටිනු දැකගත හැකි විය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගි වී ප්‍රාථමික අවධියේ සිටින ඇෆ්ගනිස්ථානයට පවා පරාජයට ලක්වූයේ කුමන හේතුවකින්ද යන්න මතෛක් කිසිදු වගකිවයුත්තකුගෙන් ප්‍රකාශයට පත් නොවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අන්ත කිහිපයකට කඹ අදිමින් සිටින මේ මොහොතේ ඉන් මිදී එකා මෙන් එකතු වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගත හැකි බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ මතය වී තිබේ. තරගාවලිය දැන් අවසන්ය. ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවටද පැමිණ තිබේ. ගෙවුණු අසුන්දර අත්දැකීම් අමතක කර දමා සුන්දර අත්දැකීමකට ලකලෑස්ති වීම දැන් සිදුවිය යුතුය.

ගෙවී ගිය මාස 18ක කාලය තුළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ක්‍රීඩකයන් හයදෙනකු අතින් අත මාරු වී ඇත.

සමහර අවස්ථාවල ආබාධයන්ට ගොදුරු වීම නිසාද, තවත් සමහර අවස්ථාවල ලද පරාජයන් හේතුවෙන් ඉල්ලා අස්වීම් නිසාද ජගත් ක්‍රිකට් සමුළුව විසින් ලබාදුන් තරග තහනම්වලට ගොදුරු වීමද ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය.
කෙසේ වුවත් තවදුරටත් නායකත්වය වෙනස් කරන්නේ නම් මේ වනවිට ඉතිරිව ඇත්තේ තවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු පමණි.

මේ ආකාරයෙන් නායකයා වෙනස් කිරීම් මෑත කාලය තුළ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නැති අතර එවැනි තත්ත්වයකට මීට පෙර ගොදුරු වී සිටි වෙනත් රටක් ලෙස සඳහන් කළ හැක්කේද පාකිස්තානය පමණි.

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද අන්ත පරාජයත් සමග ඒ පරාජයේ වගකීම නායකයා පිට පැටවීමට කටයුතු කළ බලධාරීන් ඔහුට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකර තිබිණි.

කෙසේ වුවත් එම පරාජයන් අත්වූ තරග සඳහා සියලු සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමේදී නායකයා සමග පුහුණුකරු ඇතුළු බලධාරීන්ද අදාළ තීරණවලට එළැම තිබුණද පරාජයේ වගකීම භාර ගන්නට අවසානයේ සිදුව ඇත්තේ නායකයාට පමණක් වීම කනගාටුවට කරුණකි.

වෙනත් බොහෝ රටවල මෙවැනි නින්දා සහගත පරාජයන් ලද විට නායකයාට අමතරව පුහුණුකරුවන්ද තේරීම් කමිටු සාමාජිකයන්ද ඉල්ලා අස්වීම සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන්නේ නියර මිටි තැනින් වතුර බැස්සවීමේ උපාය මාර්ගය බැවින් නායකත්වය කටු ඔටුන්නක් වී ඇත.

එංගලන්ත සංචාරයේදී දිනේෂ් චන්දිමාල්ට නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පි‍ලේ නායකත්වය හිමිව ඇත.
දැන් ඔහු මාධ්‍ය හමුවලට සහභාගි වෙමින් ප්‍රකාශ කරන්නේ මීට පෙර සිටි නායකයන්ගේ සම්ප්‍රදායට අනුව යමින් තමන්ට හොඳ සමබර කණ්ඩායමක් ලැබි ඇති බැවින් හොඳ සටනක් දිය හැකි බවය.

එම නිසා එම ප්‍රකාශ පාරා වළල්ලක් කර නොගැනීමට චන්දිමාල් වගබලා ගත යුතුය.
විශේෂයෙන්ම එංගලන්ත තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් එක් නොකළේ ඔහු එක්දින තරග රටාවට ගැළපෙන ශාරීරික යෝග්‍යතාවකින් පසු නොවන බැවිනැයි පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයාද ප්‍රකාශ කරනු ලැබිය.

ඔවුන් එවැනි ප්‍රකාශ කරන්නේ ආසියානු කුසලාන තරග දෙකේදී මැතිව්ස් කඩුලු අතර දිව යෑමේදී දක්වන ලද දුර්වලතාවන් නිසාය.

එහෙත් තරග පැරදුණු පසු දුර්වලතා දකිනවාට වඩා තරගාවලියකට නම් කිරීමට පෙර කිසියම් ක්‍රීඩකයකුගේ දුර්වලතා දැකීමේ හැකියාවක් තේරීම් කමිටුවක් සතුව තිබිය යුතුය. මෙම සිදුවීමෙන් පෙනෙන්නේ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවට එවැනි දැක්මක් නැති බවයි.

ඇත්ත වශයෙන්ම ආසියානු ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස්ගේ කඩුලු අතර දිව යෑමේ දුර්වලතාව නිසා කණ්ඩායමේ වෙනත් පිතිකරුවන් දෙදෙනකුම දුවද්දී දැවී යාම්වලට ගොදුරු වී තිබුණි. එසේ වුවත් මැතිව්ස්ගේ මේ දුර්වලතාව ආසියානු කුසලාන තරගාවලියට පමණක් සීමාවූවක් නොවන බව පුහුණුකරු හතුරුසිංහද පිළිගන්නා කරුණකි.

මැතිව්ස් නිසා එක්දින තරගවලදී අවස්ථා 49කදීම කණ්ඩායමේ වෙනත් පිතිකරුවන්ට දුවද්දී දැවී යාමට සිදුව ඇත්තේ ඔහු දක්වන මෙම කඩුලු අතර දිව යෑමේ දුර්වලතාව නිසාය.

දක්ෂ ලෙස පිත්ත හැසිරවීමේ හැකියාව, උඩ පන්දු රැකීමේ හැකියාව හා පන්දු රැකීමේදී දක්වන කුසලතාව යන මේ තුන් ඉරියව්වේදී කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ පමණින් වර්තමානයේ එක්දින කණ්ඩායමක ස්ථානයක් ලබාදීම ගැටලුවක් වන්නේ දිවීමේදී මැතිව්ස් ප්‍රදර්ශනය කරන දුර්වලතා නිසාය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම පුහුණුකරු චන්දික හතුරුසිංහටද මීළඟට මුහුණ දීමට සිදුව ඇති අභියෝගද බරපතළ බව සඳහන් කළ යුතුය.

ඒ ඔවුන් ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට ඔක්තෝබර් 23 දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා පිලට එංගලන්ත පිල සමග එක්දින තරග 5ක තරගාවලියකට මුහුණ දීමට සිදුව ඇති නිසාය.

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා පිලදින්ෂේ චන්දිමාල් (නායක), උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අ‍පෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රජිත
අතිරේක – ෂෙහාන් මධුශංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩගේ.

තරග කාලසටහන
ඔක්තෝබර් 10 – පළමු තරගය – දඹුල්ල දිවා/රාත්‍රී
ඔක්තෝබර් 13 – දෙවැනි තරගය – දඹුල්ල දිවා
ඔක්තෝබර් 17 – තෙවැනි තරගය – පල්ලෙකැ‍ලේ දිවා/රාත්‍රී
ඔක්තෝබර් 20 – සිව්වැනි තරගය – පල්ලෙකැ‍ලේ දිවා
ඔක්තෝබර් 23 – පස්වැනි තරගය – කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය දිවා/රාත්‍රී

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්