රුවල් යාත්‍රාවක නැගී ලෝකය වටා රවුමක් යාමට ගිය ඉන්දියානු නැවියකු මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක් පිළිබඳ කතාවක් පසුගිය සතියේ ලෝක ජනමාධ්‍ය තුළ ප්‍රධාන කතාවක් බවට පත් විය. කි.මී. 48,000 ක හෙවත් සැතපුම් 30,000 ක පමණ දුරක් යා යුතු මෙම ලෝ වටා ගමනට එක් වූ නැවියාගේ නම අභිලාෂ් ටොමිය. අභිලාෂ් පසුගිය ජුලි 1 වෙනි  දින ‘තුරියා’ නැමැති ඔහුගේ යාත්‍රාවෙන් මෙම අනතුරුදායක මුහුදු ගමන ආරම්භ කළේ ප්‍රංශයේ ‘ලෙ සේබල්ස්-ඩි’ ඔලෝන්’’ නමැති නගරයෙනි. ඉහත කී බිහිසුණු සිදුවීමට මුහුණ දෙන විට ඔහු මාස තුනකට ආසන්න කාලයක් මුහුදෙහි ගමන් කර,  සැතපුම් දහස් ගණනක් ගෙවා ඉන්දියානු සාගරයට ළඟා වී තිබිණි.  ඒ වෙද්දී ඔහු සිටියේ ඕස්ට්‍රේලියාවේ සිට කි.මී. 3,200 ක් (සැතපුම් 2,000 ක්) පමණ බටහිර දෙසට වන්නට තෙරක් නොපෙනෙන ඉන්දියන් සාගරය මැද බව සඳහන් වේ. (සිතියම බලන්න). හදිසියේ හමා ආ බිහිසුණු චණ්ඩ මාරුතයකට ද, ඒ සමගම පැන ආ ඉතා උස් මුහුදු රළ පහරටද ඔහුගේ රුවල් යාත්‍රාව හසු විය. මෙම චණ්ඩ මාරුතය නිසා හටගත් මුහුදු රළ කෙතරම් දරුණු වීද යත් එහි උස මීටර 14 ක් (අඩි  45 ක්) පමණ වූ බැව් සොයාගෙන තිබිණි. එය තට්ටු හතරක ගොඩනැගිල්ලක් තරම් උසකි.

සුළඟ සහ රළ පහර නිසා යාත්‍රාවේ කුඹ ගස කැඩී ගිය අතර ඒ නිසා එයට තවදුරටත් යාත්‍රා කිරීම අපහසු විය. වඩාත් බරපතළ කාරණය වූයේ අභිලාෂ් යාත්‍රාව මත ඇද වැටීමෙන් ඔහුගේ කොන්දෙහි දරුණු ආබාධයක් ඇති වීමයි. මේ නිසා ඔහුට නැගිට ගැනීමට පවා නොහැකිව ගියේය. අභිලාෂ්ගේ යාත්‍රාව සම්බන්ධයෙන් පැවති ලක්ෂණයක් වූයේ එහි නවීන තාක්ෂණික මෙවලම් කිසිවක් නොවීමයි. සැබැවින්ම එය පැරණි පන්නයේ යාත්‍රාවක් වී යයි කිව හැකිය. අභිලාෂ් මෙම ගමනට එක් වූයේ එක්තරා තරගයක තරගකරුවකු වශයෙනි. කිසිදු නවීන තාක්ෂණයක් භාවිත නොකරන රුවල් යාත්‍රාවක නැගී ලොව වටා ගමන් කිරීම මෙම තරගයේ ස්වභාවය විය. මෙවැනි ඉතාම අනතුරුදායක තරගයකට එක් වීමට මහත් වූ එඩිතර බවක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.  අභිලාෂ් හැරුණු විට තවත් තරගකරුවන් කිහිප දෙනෙකු ද මෙයට එක්ව සිටි නමුත් අභිලාෂ් මෙම සිදුවීමට මුහුණ දෙන අවස්ථාව වන විට ඔවුන් සිටියේ එකිනෙකා නොපෙනෙන තරම් බොහෝ දුරිනි. මේ නිසා සෙසු තරගකරුවන්ට මෙම කුණාටුවෙන් සහ රළ පහරෙන් බේරීමට ද හැකිව තිබිණි.

කොන්දෙහි ආබාධය නිසා නැගිටගත නොහැකිව යාත්‍රාව මත වැටී සිටි අභිලාෂ් මුහුණ දුන් අනෙක් ගැටලුව වූයේ තමා පත්ව සිටින බියකරු තත්ත්වය ගැන කාට හෝ දැනුම් දෙන්නේ කෙසේද යන්නයි. ඔහු අත තිබූ චන්ද්‍රිකා දුරකථනය ද ඒ වනවිට අක්‍රියව තිබිණි. තවත් අමතර දුරකථනයක් ඔහුගේ ගමන් මල්ලක තිබුණු මුත් ඒ වෙත යාමට ඔහුට හැකියාවක් නොවීය. ඒ තියා කෑමබිම තිබූ තැනට යාමට පවා ඔහුට හැකියාවක් නොතිබිණි. කෙසේ හෝ වේවා තමා ළඟ තිබූ කිසියම් උපකරණයක් හරහා ටෙක්ස්ට් පණිවිඩයක් යැවීමට ඔහුට හැකි වී තිබිණි. තමා කොන්දෙහි ආබාධයකට ලක්ව වැටී සිටින බවත්, එහා මෙහා යාමට හෝ ආහාර ගැනීමට හෝ නොහැකිව සිටින බවත් මේ හරහා ඔහු ඉහත කී තරගයේ සංවිධායකයින්ට දැනුම් දුන්නේය.

අභිලාෂ් සිටින  ඉසව්ව දැනගත්තත් ඔහු ගලවා ගැනීමේ කටයුත්ත මතු පිටින් පෙනෙන තරම් සරල, පහසු කටයුත්තක් වූයේ නැත. එයට හේතුව නම් ඔහුගේ යාත්‍රාව අනතුරට පත්ව තිබුණේ වර්ග කි.මී. මිලියන 70 ක දැවැන්ත වපසරියකින් යුතු ඉන්දියානු සාගරයේ හරි මැද හරියේ ඉතාම හුදෙකලා ඉසව්වක වීමයි. විශේෂඥයින් පවසන පරිදි මෙම කලාපය ඉන්දියානු සාගරය තුළ අතරමං වන කෙනෙකු ගලවා ගැනීමට ඉතාම අසීරු කලාපයකි. එම කලාපයට ආසන්නම දුර පවා ඉහත සඳහන් කළ පරිදි කි.මී. 3,000 කට වැඩිය. මෙම ඉසව්ව හරහා නැව් හෝ වෙනත් යාත්‍රා ගමන් කරන්නේද ඉතාම අඩු වශයෙන් බව  පැවසේ. එය ඉතා හුදෙකලා ඉසව්වක් ලෙස සැලකෙන්නේ එබැවිනි. ගලවා ගැනීමේ යාත්‍රා මෙවැනි කලාපයක් වෙත ළඟා වීමට පෙර, අනතුරට මුහුණ දී සිටින අය දැඩි ශීතල වැනි හේතුවක් නිසා  මිය යාමට හෝ සාගරයේ ගිලී යාමට හෝ ඇති ඉඩ වැඩි බව ද සඳහන් වේ. මේ නිසා ඇති ප්‍රධානම විකල්පයක් ලෙස සැලකෙන්නේ ඒ වන විටත් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන නැවක හෝ වෙනත් යාත්‍රාවක හෝ සහාය ලබා ගැනීමයි. ජාත්‍යන්තර නීතිය අනුව, මේ ආකාරයෙන් අනතුරට පත්ව සිටින කෙනෙකු හෝ පිරිසක් හෝ, කවර රටකට අයත් වුවද, ඔවුන් බේරාගැනීමට  ඒ ආසන්නයේ තිබෙන යාත්‍රාවක හෝ නැවක කපිතාන්වරයෙකු  කටයුතු කළ යුතුය. නමුත් එවැනි නැව් හෝ යාත්‍රා ද ගොඩබිමින් මෙතරම් ඈත, මෙතරම් හුදෙකලා ඉසව්වක සැරිසැරීම දුර්ලභ කාරණාවක් නිසා ඒ සඳහා තිබූ ඉඩකඩ ද අවම වූ බව සඳහන් වේ. ගුවන් යානාවකට ඊට වඩා ඉක්මනින් එහි ළඟා විය හැකි වුවද ගලවා ගැනීමේ මෙහෙයුමක් ගුවන් යානාවක් හරහා දියත් කිරීම කළ නොහැක්කකි. මෙම තත්ත්වය තුළ අභිලාෂ් මුහුණ දී සිටියේ ඉතාම ඛිෙදජනක ඉරණමකට බව පැවසිය හැකිය.

කෙසේ හෝ වේවා ඔහුට තවදුරටත් ජීවත් වීමට වාසනාව තිබූ  බව පෙනිණි. මන්ද යත් ප්‍රංශ ධීවර යාත්‍රාවක් අභිලාෂ්  අනතුරට පත්ව සිටි ඉසව්ව ආසන්නයේ ගමන් කරමින් තිබිම නිසාය. යම් හෙයකින් එම යාත්‍රාව එම ඉසව්වේ නොතිබුණා නම් ඔහුගේ ඉරණම බෙහෙවින් කනගාටුදායක එකක් වීමට ඉඩ තිබූ බව පැවසේ. කෙසේ වෙතත් ඉන්දියානු ගලවා ගැනීමේ කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම ඒ වනවිටත් අභිලාෂ් සිටි ඉසව්ව වෙත ගමන් අරඹා තිබුණි. නමුත් ඔවුන් සියලු දෙනාට පෙර ඔහු වෙත ළඟා වීමට  ‘ඔසිරිස්’ නමැති ඉහත කී ප්‍රංශ ධීවර යාත්‍රාව සමත්ව තිබිණි. වෛද්‍යවරයකු ද මෙම යාත්‍රාවේ සිටීම තවත් ලොකු වාසියක් විය. මේ නිසා අභිලාෂ්ගේ තත්ත්වය පරීක්ෂා කර බලා ඔහු ඉතා පරෙස්සමින් ගිලන් මැස්සක (ඵබපඥබජඩඥප) තබා ඔසිරිස් යාත්‍රාවට මාරු කිරීමට හැකි වී ඇත. පසුව ‘ඔසිරිස්’ යාත්‍රාව කුඩා දිවයිනක් වෙත යාත්‍රා කර ඇති අතර අභිලාෂ් එහි තිබූ රෝහලකට ඇතුළත් කිරීමට  පියවර ගෙන තිබිණි. මේ ආකාරයෙන් ඔහු ගලවා ගන්නා විට අභිලාෂ් අනතුරට පත්ව දින තුනක් ගත වී තිබූ බවද සඳහන් වේ. ඒ වන විටත් අඩි 25ක් 30ක් තරම් උස මුහුදු රළ නැගෙමින් තිබූ නිසා ගලවා ගැනීමේ මෙහෙයුම තරමක් ප්‍රමාද කිරීමට ද සිදුව තිබිණි. කෙසේ හෝ වේවා අභිලාෂ් ගලවා ගන්නා අවස්ථාව වනවිට ඔහු හොඳ සිහියෙන් සිට ඇති අතර කතාබහ කිරීමේ පවා අපහසුවක් නොවූ බව පැවසේ. මේ වන විට ඔහු ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව ද, කොඳුඇට පෙළට  හානියක් සිදුව නැති බව ද වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඔහු භාරගෙන නැවත ඉන්දියාව වෙත ගෙන ඒම සඳහා ඉන්දියානු නාවුක හමුදාවට අයත් නෞකාවක් ඉහත කී දිවයින වෙත ගමන් කරමින් තිබූ බව වාර්තා විය. මේ අතර තමා මුහුණ දුන් අති බිහිසුණු අත්දැකීම ගැන අදහස් දක්වමින් අභිලාෂ් පවසා තිබුණේ නාවුක හමුදා නිලධාරියකු ලෙස ලබා තිබූ පුහුණුවත්, මුහුදේ යාත්‍රා කිරීම සම්බන්ධයෙන් තිබූ පරිචයත් නිසා තමාට මෙම අභියෝගයට මුහුණ දීමට හැකි වූ බවයි. තමා ගලවා ගැනීම සඳහා වෙහෙස වූ සියලු දෙනාට ඔහු උණුසුම් ස්තුතියක් ද පිරිනමා තිබිණි.

නිහාල් පීරිස්

Untitled-15 Untitled-16 Untitled-14