ඉන්ද්‍රානිගෙ අයියගෙ මරණෙ අවසන් කටයුතු කරන්නෙ කවදද කියා ගිහින් සොයල බලල මට කියන්න. අපේ කට්ටියට තීන්දු කර ගන්න පුළුවන්නෙ පිටත් වෙන්න  ඕනැ වෙලාව’

දිවයින ප‍්‍රවෘත්ති කර්තෘ උපාලි තෙන්නකෝන් මට කීය. එකල නිතිපතාම පාහේ දුරකථනයෙන් දිවයින ප‍්‍රවෘත්ති කතුවරයා හෝ කතු මඬුල්ලේ අන් කවරකු හෝ ඇමතීම සාමාන්‍යයෙන් මගෙන් කෙරෙනා කාර්යයකි.

අද මෙන් එදවස දුරකථන පහසුකම් නොතිබුණි. ඉදින් මා එය සපුරා ගන්නට විවිධ උපාය උපක‍්‍රම භාවිත කරමි. එකල ජංගම දුරකථන හෝ ඍජු දුරකථන සේවාවන් ව්‍යාප්තව නොවූ හෙයින් මා සතු ප‍්‍රවෘත්තිය හෝ ප‍්‍රවෘත්ති පිළුණු නොවී උණු උණුවේ ප‍්‍රවෘත්ති කර්තෘවරයා අත පත් කරන්නට අපමණ වෙහෙසක් මහන්සියක් ගත යුත්තේය. දිවයින කාර්යාලයට කතා කරන්නට දාදිය මුගුර පෙරාගෙන ගිනිගහන කට්ට අව්වේ පිච්චි පිච්චී දෙපා වේගවත් කරන්නේ සොයා ගත්තු පුවත හැකි වහා කතු මඬුල්ල වෙත යොමු කරන්නට බොහෝ වෙහෙසක් දරා ගෙනය.

‘‘අපි දැන් මෙහෙන් කට්ටිය සෙට් කරන් එන්න එපායැ. ඒ හින්ද ඔයා දැම්මම ගිහින් ඒ විස්තර සොයල බලල කියන්නකො’’ උපාලි වැඩිදුරටත් මට කීය.

උපාලි පුවත්පත් සමාගමේ සේවය කරනා ඉන්ද්‍රානිද සිල්වාගේ ගම ගෝනාපීනූවලය. ඈ අපේ කර්තෘ මණ්ඩලයේ පරිපාලන සහකාරවරියකි. අඩි හයකට පොඞ්ඩක් අඩු උසකින් යුත් ඉන්ද්‍රානි උසට සරිලන මහතකින් හෙබිය. ඈ බොහෝ කාර්යශූරය. කර්තෘ මණ්ඩලයේ හැම දෙනා සමගම බොහොම ළෙන්ගතුව හිඳිමින් තමන්ගේ රාජකාරිය ඉටු කරනා ඈ මා හා අතර හිතවත්කම් වැඞීමට හේතුව අපේ ගම් පළාත් එකිනෙකට බොහෝ යාව පිහිටි නිසා විය හැක.

ඉන්ද්‍රානිගේ අයියා මියගියේ ලෙඩක් දුකක් වැළඳීමෙන් නොවේ. වයෝවෘද්ධව ද නොවේ. රට වෙළා පැවති මහා භීෂණයේ තවත් එක් අවාසනාවන්ත ඝාතනයක් සේ ඇගේ සොහොයුරා මෙලොවින් තුරන් කරන්නට දේශපේ‍්‍රමීන් යැයි කියා ගත්තු පිරිසක් ඔහුට ගිනි පිම්බෝය. ඒ 1989 ජූලි මහේ 30 වැනිදාය.

ඉන්ද්‍රානිගේ අයියා ඝාතනය කරන්නට දේශපේ‍්‍රමීන් දෙන්නකු ආවේ පාපැදියකිනි. උන් දෙන්නා මුහුණු ආවරණය කර ගත්තු එවුන්ය. බද්දේගම හික්කඩුව පාරේ ගෝනාපීනුවල ගුරුගේ ආයුර්වේද බෙහෙත් ශාලාව ඉස්සරහ පිහිටි ඔවුන්ගේ නිවහන දෙමහල් එකකි.

ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ධර්මිෂ්ට ආණ්ඩුව ජවිපෙ විසින් වපුල භීෂණයට උත්තර සොයමින් වරින් වර ඇඳිරි නීතිය පැනවීම පුරුද්දක් කොට ගත්තු කාලයයි. ඉන්ද්‍රානිගේ අයියා මහින්දපාල ඝාතනයට තුවක්කුකරුවන් දෙන්නා ආවේ ඊට දින තුනකට පෙර පනවන ලද ඇඳිරි නීතියේ තුන්වන දවස උදාවී හෝරා හතරක් විතර ගෙවුණු තැනය.

ඉන්ද්‍රානිගේ අයියා ඩබ්ලිව්. මහින්දපාල හිටපු පොලිස් සැරයන්වරයෙකි. පොලිසිය විසින් ඔහුට දී තිබූ අංකය 8653ය. ඔහු මෙලෝ යකෙකුට බය නැති මිනිහෙකි. පට්ට යූඇන්පීකාරයෙකි. එජාපයේ අම්බලන්ගොඩ සංවිධායක නීතිඥ බුද්ධික කුරුකුලසූරිය උන්නැහෙගෙ ජයග‍්‍රහණයට දිවි පරදුවට තබා පෙරමුණ ගත්තු තදයෙකි. එජාපයේ බලය තහවුරු කරන්නට ප‍්‍රබල ආධාරකරුවකු සේ නැහීගෙන වැඩ කළ අයෙකි.

ජවිපෙන් නැතිනම් දේශපේ‍්‍රමීන් විසින් උන්ගේ කැලෑ ඇඳිරිනීතිය පැනවූ විට අති බහුතරයක් දනෝ අකමැත්තෙන් වුව ඊට අවනත වෙති. ඒ ජවිපෙ නියෝගය කඩ කළොත් වන්දි ගෙවන්නට සිද්ධ වෙන්නේ ජීවිතයෙන් හින්දාය. මෙ නිසා රටේ තොටේ කොයි කවුරුත් ජවිපෙට ඇති බිය නිසාම අකමැත්තෙන් වුව උන්ගේ කැලෑ නීතිය පිළිපදින්නට තත්පර වූහ. රටේ තොටේ ලොකු කුඩා ව්‍යාපාරික ප‍්‍රජාව ඔවුන්ගේ කඩ සාප්පු වසා දමන්නට, කම්හල් කාර්යාල වසා දමන්නට දෙපාරක් කල්පනා කළේ නැත. වෙළඳුන් ව්‍යාපාරිකයන් ජවිපෙ නියමයට බියෙන් කඩ සාප්පු වසා ඇති විට, වසා ඇති වෙළඳසල් විවෘත කරවා අහලපහල මිනිසුන්ට එදිනෙදාට අවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීමට තරම් මහින්දපාල එඩිතර සිතැත්තෙකි.

ගෝනාපීනූවල සාරාලංකාර විදුහල ඇත්තේ මහින්දපාලලාගේ නිවසට නුදුරුවයි. මැතිවරණවල දී සාරාලංකාර විදුහලේ පිහිටු වන ඡුන්ද මධ්‍යස්ථානයේ හෙවත් ඡුන්දපොළේ රැුකවරණයට ජීවිතාශාව අතහැර පෙරට ආ හිතහොඳ මනුස්සයෙකි මහින්දපාල. ගෝනාපීනූවල ප‍්‍රදේශයේ පොදු කටයුතුවල දී පක්ෂ, පාට, උස්, පහත්, ඇති, නැති භේද කිසිවක් නො සලකා තමන්ගෙන් විය යුතු කාර්ය කෙබඳු එකක් ද එය අප‍්‍රමාදව ඉටු කරන්නට මහින්දපාල පියවර ගත්තේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවය.

පොලිස් සැරයන්වරයකු වූ ඔහු අම්පාරේ කලක් සේවය කළේ මට මතකය. ලොකු නිලධාරීන් ගේ අකටයුතුකම් නොසැලැකූ මහින්දපාල මහ එවුන්ගේ නොපනතත්කම් පිටුදැක්කේය. ඒ හින්දාම ඔහුට සිදුවූයේ පොලිස් සේවයට ආයුබෝවන් කියන්නටය.

ජවිපෙ මහින්දපාල සැලකුවේ ඔවුන්ගේ ද්‍රෝහියකු ලෙසය. එය එකල ඔවුන්ගේ පිළිවෙතයි. ජවිපෙ මතය පිළිනොගන්නා කවරකු හෝ වුව ද්‍රෝහීන් සේ හංවඩු ගැසීම ජවිපෙ මෝස්තරයක් විය. ඔවුන්ගේ බහට නතු නොවූ මහින්දපාල වැන්නන් වෙඩි තබා හෝ, කපා කොටා හෝ, මරා දමන්නට පියවර ගත්තු ඊනියා දේශපේ‍්‍රමීන් අනතුරුව ලොකු චෝදනා පත‍්‍රයක් ද ඔවුන්ගේ ගොදුර බවට පත්වූ තැනැත්තාට එල්ල කොට ඒ ගැන සඳහන් පෝස්ටරයක් ද මහජන ප‍්‍රදර්ශනයට තබන්නේ ඒ පුද්ගලයා සමාජ ද්‍රෝහියකු බව ජනතාව අතර පතුරුවා උන්ගේ තිරස්චීන නින්දිත ක‍්‍රියාව සාධාරණීකරණය කිරීමේ නිර්ලජ්ජිත උපක‍්‍රමයක් වශයෙනි.

තමන් විසින් එසේ අමු අමුවේ මරා දමන පුද්ගලයන් ගැන මොවුන් නගන ලද චෝදනා ඉතා බරපතළය. ස්ත‍්‍රී ¥ෂකයකු බව හෝ හොර සුරා නිපදවන්නකු හෝ හොරකු තක්කඩියකු හෝ වංචාකාරයකු හෝ ඔත්තුකාරයකු හෝ බව කියැවෙන අභූත චෝදනා නගා තමන් විසින් කළ මිනීමැරුම සාධාරණීකරණය කරන්නට තරම් ඔවුහු අධම වූහ. තිරස්චීන වූහ. කුහක වූහ. දුෂ්ට වූහ.

ප‍්‍රවෘත්ති කතුවරයා කළ ඉල්ලීම ඉටු කිරීම මගේ වගකීමකි. ඉදින් මා ගෝනාපීනූවල යා යුතුය. ගෙදර ආ මා බිරිය හා ඉන්ද්‍රානිගේ අයියා ජවිපෙ තුවක්කුකරුවන් මරා දමා ඇති වගත් පත්තරේ කට්ටියට අවමඟුල් උත්සවේට සහභාගි වීමට විස්තර සොයා දන්වන ලෙස උපාලි තෙන්නකෝන් මහතා කී බවත් කීවෙමි. පාරෙ තොටේ දුවන බස් රථ ගැන විශ්වාසයක් තැබිය නොහැකිය. ඒවා කොයි මොහොතේ ධාවනය අත්හිටුවනවාදැයි කියන්නට උඩ ඉන්න දෙයියන්වත් දන්නේ නැති තරමි. ඒ ගැන දන්නෝ ජෙප්පෝය. ඉදින් පත්තර කන්තෝරුවේ සගයන් වෙනුවෙන් මා මගේ වගකීම ඉටු කරන්නට තත්පර විය යුත්තේය. එනිසා ම පහුවදා ඒ කියන්නෙ අගෝස්තු 1 වැනිදා දොළහට විතර අපේ ඉස්කෝලෙ, රජ්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක පබලියෙස්ගෙන් ඔහු ගේ පාපැදිය ඉල්ලා ගතිමි. මා දෙටු දියණියන් ද ලක ලෑස්ති කරන් ගේ ඉස්සරහින් වැටී තිබෙන ගාල්ල කොළඹ කළු පලස දිගේ පාපැදිය පදින්නෙමි. ලොකු දියණිය තුෂාරි ද නංවා ගෙන මා යන්නේ අනතුරුදායක ගමනක් බව මට ඒ වෙලාවේ නං තේරුණේ නැත. ඒ වග ඇඟට දැනෙන්න පටන් ගත්තේ කිලෝ මීටර් දෙකක විතර ඉදිරියට පාපැදිය පදිද්දීය.

වෙනදා මෙන් එදා පාරේ වාහන ගමනා ගමනයක් පේන්නට නැත. කුමාරකන්ද හන්දියට පැමිණි මාත් දියණියත් දකුණට හැරවූ පාපැදියෙන් දැන් ඉස්සරහ බලන්නේ ගෝනාපීනූවල පාර ඔස්සේය. වෙනදා දකින්නට නැති නිස්කලංකයකි පාරේ දකින්නට ඇත්තේ. ගෝනාපීනූවල සිව්මංසල පියමං කොට තවත් මීටර් දෙසීයක් විතර ඉස්සරහට ගිය මා මාජුවාන පාරට හැරෙන හන්දියේ දී කිසිවකුගෙන් මළගෙදර ඇත්තේ කොයිබකදැයි විමසන්නට පාපැදියෙන් බැස්සෙමි.

අවට විපරම් බැලූම් යොමු කළෙමි. මිනිස් පුළුටක් පාරේ කොතැනකවත් දකින්නට නැත. මසිත සැකයේ නාගයාගෙන් වෙළෙන්නට වූයේ මොහොතින් මොහොතය. ඒ සැකය වඩ වඩාත් තීව‍්‍ර වන්නට මහවෙලාවක් ගියේ නැත.
ගෝනාපීනූවල අරක්කු තැබෑරුම අසල හුන් තරුණයෙකි. මා ඔහුගෙන් ඉන්ද්‍රානිගේ ගෙදර කොයිබදැයි ඇහුවේ ඒ නිවස ඇති තැන නොදැන නොවේ.

හේ මා දිහාත් මා දියණිය දිහාත් හොඳින් විපරම් බැල්මක් එල්ල කළේය. ලොකු දුව ඇඳ සිටින්නේ පාසල් නිල ඇඳුමකි. හේ එහි දිස්වන පාසල් ලංඡුනය කෙරෙහි විමසිලිමත් වන වගක් මට සිතිණි. කොහොම වුණත් ඔහු මට කීවේ තව ටිකක් ඉස්සරහ…. අර බේත් සාප්පුවක් තියෙන්නෙ. ආන්න ඒ බේත් සාප්පුව ඉස්සරහ යි’’. ඔහු ගෙන් දැකගත හැකි වූයේ සුහද බවෙක් නොවේ.’’
මා ඔහුට තුති පුදා ඊළඟට දියණියන් ඇමතුවේ අර තරුණයාට අප කවුරුන්දැයි ඇඟවීමේ අරමුණ හිත දරා ගෙනය.
‘‘දැන් පුතේ පත්තරේ කට්ටියට කියන්න එපා යැ…. කොයි හරියෙද කියා මළ ගෙදර තියෙන්නෙ නේද…..?’’
ලොකු දියණි කිසිවක් කීවේ නැත. ඇයට ද අප දෙන්නා මුහුණ පා ඇති අවදානම් තත්ත්වය හොඳින් දැනිලාය.

මා ඉන්ද්‍රානිලාගේ නිවහන හෙවත් මහින්දපාලගේ මළ ගෙදර අබියසය. ඒත් අවමඟුලක කිසිදු සේයාවක්, ස්වභාවයක් දක්නට නැත. නිවසේ දොර ජනෙල් සියල්ල වසා ඇත්තේ එය පාළුවට හැර ඇති අයුරකිනි. ඒ නිවසට ඉස්සරහ අල්ලපු මායිමේ ගොඩනැගිල්ල වෙළඳසලකි. එහි මුදලාලි හා ඔහුගේ පුතකු යැ යි සිතිය හැකි තරුණයකු මනෙත ගැටිණි.
‘‘අර දිවයින පත්තරේ ඉන්ද්‍රාණිලගෙ ගෙදර?’’ සුහද වතක් පාමින් මම ඔවුන් ගෙන් විමසුවෙමි. ඔවුන් උත්තර බැන්දේ හිස සොලවමින් පමණකි.

‘‘මහින්දගෙ මළ ගෙදර මෙහේ ද?’’
තාත්තගෙන් හෝ පුතාගෙන් හෝ පිළිතුරක් අපේක්ෂාවෙන් මා නැඟූ දෙවන පැනයයි. ඔවුන් හිස් පමණක් වනා දෙවන වරටත් හුන්නේ ගොළුවන් දෙදෙනකු පරිද්දෙනි. අප තවමත් බලා හිටින්නේ ඔහුන් දිහාය.  ඕන්න ඔය අතරේ මගේ පිටුපසින් ම ඇසුණේ වාහනයක් තදින් තිරිංග තද කොට නතර කරන ලද හඬකි. තිගැස්සෙමින් මම හැරී බැලූවෙමි. පපුවේ ගැස්ම වේගවත් වෙද්දී මෝටර් රියෙන් කීප දෙනෙක් බටහ.

‘‘හ්ඃ සුගත් අයියා…..’’ ඉන්ද්‍රානි නංගි මා වෙත ආවාය.
‘‘එන්න එන්න අයියේ ඇතුළට…..’’

මම දියණියන් සමග ඔවුන්ගේ උළුවස්ස පියමං කළෙමි. ඈ අප දෙදෙනාට ආගන්තුක සත්කාර කරන්නට යුහුසුළු වෙයි. සොහොයුරියකට අප හඳුන්වා දෙමින් කීවේ බොන්න මොනව හරි ගේන්න කියායි.

මගේ දිව කට පැටළේ. කිසිවක් හිතා ගන්නට නො හැකිය. මම මහින්දගේ අවසන් කටයුතු කරන්නේ කවදාදැයි ඇහුවේ ඔහුගේ මිනී පෙට්ටිය නිවසේ නැති බව දැක දැකය.

‘‘අනේ අයියේ අපෙ අයියගෙ මරණෙ අවසන් කටයුතු කළා. මේ ගේ පිටිපස්සෙම. දවල් අද දොළහට..’’ යැයි කියමින් ඉන්ද්‍රානි හඬන්නට වූවාය.

‘‘අපේ අයියා ගැන සුගත් අයියා හොඳට දන්නව නේ….. මේ යක්කු මරණෙ වැඩ කරන හැටි පෝස්ටර් එකක ලියල දමල තිබුණා නේ.

”පාංශුකූලය දීම තහනම්
බෙර වාදනය තහනම්
සුදු මලින් සැරසීම තහනම්
අඬන්න වැළපෙන්න තහනම්

සහභාගි විය හැක්කේ පවුලේ උදවියට පමණයි
දණහිසෙන් පහළට සිටින සේ මිනී පෙට්ටිය ලණු දමා එල්ලා ගෙන යා යුතුයි.”

ජවිපෙ පනවන ලද කොන්දේසි මාලාව ගැන සඳහන් කළ ඉන්ද්‍රානිත් ඇගේ මාපියනුත් මා හා මදියණියන් වටා වළල්ලක් සේ සිට ගත්හ.

‘‘එහෙනං නංගි අපි යනවා මං දැන් එඩිටෝරියල් එකට කියන්න එපායැ…. එන්න එපාය කියා…’’
‘‘අනේ ඔව්… ඔව්… අයියෙ ඒ ගොල්ලන්ට කියන්නකෝ අපෙ අයියගෙ මරණෙ වැඩ අද කළ බව. අයියයි දුවයිත් ඉක්මනට පරිස්සමෙන් යන්න… අයියයි මේ දුවයි ආවට අනේ බොහොමත්ම ස්තුතියි අයියේ’’

සුගතපාල මැන්දිස්
sugathapalamnendis@gmail.com