බණ්ඩාරවෙල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක ඉපදී අධ්‍යාපනයෙක් ඉහළටම ගොස් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වුවත්, වේදනාවෙන් පිරුණු පුද්ගලික ජීවිතය නිසා මානසික අසහනයට ඇදවැටුණු සම්පත් නම් චරිතය කේන්ද්‍ර කරගෙන ‘සිතිජය නොදුටු අහස’ නිර්මාණය කර තිබේ. මෙහි කතුවරයා විජේසේකර කරුණාආරච්චිය.

මහන්සියෙන් ඉගෙනගෙන උසස් තත්ත්වයට පා නගන ගැමි තරුණයෙකි, සම්පත්. ඔහු පාසල් යන කාලයේම අසල්වැසි තරුණියක හා පෙමින් බැඳේ. සම්පත්-මේනකා ආදරය වැඩිකල් නොපවතී. ඇය සම්පත්ගේ බාප්පාගේ අනියම් බිරිඳගේ දියණියකි. ඒ නිසා සම්පත්ට ඇය අත්හරින්නට සිදු වේ. ඔහුට සරසවියේදී සෙව්වන්දි හමු වේ. ඒ සම්බන්ධය විවාහයෙන්

කෙළවර වේ. එහෙත් ඇයට දරුවන් නැත. සම්පත්ගේ මව ඇයට වඳ ගැහැනිය යැයි පරිභව කරයි. ඇය ජීවිතය ගැන කලකිරී මෙහෙණින් වහන්සේනමක් වේ. මවට පරම්පරාව රැකීමට දරුවකු ඕනෑ වේ. මවට පිටුපෑමට නොහැකි සම්පත් මව්පියන්ගේ යෝජනාවකට එකඟ වේ. එහෙත් ඔහුට වන්නේ තව තවත් ප්‍රශ්නවලට යටවීමටය. ‘සිතිජය නොදුටු අහස’ පාඨකයා ඇදබැඳ තබා ගන්නා නවකතාවකි. සතුට යැයි කියා අප හැම තිස්සේම වැලඳ ගන්නේ දුක බව මේ නවකතාවේ චරිත තුළින් කතුවරයා මතු කරයි.

කතුවරයා ගැන පසු පිටේ මෙසේ සඳහන් වේ.
“ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පුරවරයේ පදිංචිව සිටින මෙම ‍පොතේ කතුවරයා වන විජේසේකර කරුණාආරච්චි මහතා වසර තිස්පහක් පමණ කාලයක් මහජන බැංකුවේ සේවය කර ඇති අතර, ඒ මහතා බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක තනතුර දක්වා උසස්වීම් ලබා සේවය කර විශ්‍රාම ගිය බැංකු නිලධාරියෙකි.

විජේසේකර මහතා විසින් ‘දිරිය මග‘ නමින් ඔහුගේ ජීවිත විත්ති අළලා කෘතියක් ලියා තබේ. සිතිජය නොදුටු අහස ගොඩගේ ප්‍රකාශනයකි.