නාගරික ප්‍රදේශවල පදිංචි බොහෝ දෙනෙකුට අද බරපතළ ගැටලුවක් වී ඇත්තේ සිය නිවස හෝ ගොඩනැගිල්‍ලේ යම් යම් සංවර්ධන කටයුතු කරන විටදී ඉවත් කෙරෙන ගඩොල්, කොන්ක්‍රීට් කැබලි ආදි අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්ථානයක් නොමැති වීමය. මේ නිසා බොහෝ දෙනෙකු මෙම කොටස් ප්‍රධාන මාර්ග අයිනකට හෝ කාණු පද්ධති, ඇළ මාර්ගවලට බැහැර  කිරීමට පුරුදුවී සිටිති. මෙම අවිධිමත් කටයුතු නිසා වර්ෂා දිනවලදී ඇළ මාර්ග ගොඩවී පහත් බිම්වලට ජලය ගලාගෙන ගොස් ගංවතුර තත්ත්වයන්ද නිරන්තරයෙන් උද්ගත වේ.

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල බොහෝ දෙනෙකු සිදු කරන්නේ මෙසේ ඉවත් කරනු ලබන කොන්ක්‍රීට්, ගඩොල් කැබලි ආදී කොටස් ගෝනිවලට පුරවා ඒවා කොහේ හෝ ගෙන ගොස් දමන ලෙසට පුද්ගලයින්ට භාර දීමය. මේ රැකියාවට විශාල ලෙස සම්බන්ධ වී සිටින්නේ හෙරොයින් පානයට දැඩි ලෙස ඇබ්බැහිවූවන්ය. ඔවුන්ට රුපියල් හාර පන්දහසක් ලබාදුන් පසු මේ ගොඩනැගිලි අපද්‍රව්‍ය කොහේට හෝ හොර රහසේ ගෙන ගොස් දමන්නේය. වැඩි වශයෙන්ම ගෙන ගොස් හලන්නේ කොළඹ නගරයේ ඇළ මාර්ගවලටය. මේ ඇළ මාර්ගවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලදී වැඩි වශයෙන් හමුවී ඇත්තේද ගොඩනැගිලි අපද්‍රව්‍යය. මේ තත්ත්වය මත නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගිලි අපද්‍රව්‍ය බැහැර කිරීමට විධිමත් වැඩපිළිවෙළක් එළිදක්වා හමාරය. ඒ අනුව කොළඹ නගරයේ ජනතාවට දැන් ගොඩනැගිලි අපද්‍රව්‍ය හොර රහසේ තැන් තැන්වල ඇළ මාර්ගවලට බැහැර කිරීමටවත්, ඒවා තැන් තැන්වලට ගෙන ගොස් දැමීම සඳහා පුද්ගලයින්ට මුදල් වැය කිරීමටවත් දැන් අවශ්‍යතාවක් නොවන්නේය. ඊට හේතුව නම් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ගොඩනැගිලි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ස්ථාන දෙකක් සකසා තිබිමය. මුතුරාජවෙල, කෙරවළපිටියේ සහ රාජගිරියේ කළපළුවාවේ අඹගහ හන්දියේ පිහිටා තිබෙන මෙම ස්ථානයන්ට සත පහක් වත් නොදී ගොඩනැගිලි අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නොමි‍ලේ බැහැර කිරීමේ හැකියාව පවතී. එමෙන්ම, එලෙස බැහැර කරනු ලබන ගොඩනැගිලි අපද්‍රව්‍ය සියල්ලම යොදා ගනු ලබන්නේ රටේ සංවර්ධන කටයුතු සඳහා වීමද විශේෂිත කාරණයකි. නමුත් මේ සම්බන්ධව බොහෝ දෙනෙකු තවමත් නොදන්නේය.

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව අප ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සමඟ කතා බහ කළෙමු.

ඇත්තෙන්ම අනවසර ගොඩකිරීම්වලට එක හේතුවක් ලෙස අප හඳුනාගෙන තියෙන්නේ සමහර වෙලාවට පරණ ගොඩනැගිලි කැඩුවට පස්සේ ඒ දේවල් දාන්න නිශ්චිත තැනක් නොමැති වීමයි. ඒ ගැන අපි සැලකිල්ලට භාජනය කරලා මීට මාස දහයකට පමණ ඉහතදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. මුතුරාජවෙල, කෙරවළපිටිය අංගනයත්, රාජගිරිය, කළපළුවාවේ, අඹගහ හන්දියේ පිහිටා තිබෙන අපේ විශේෂ අංගනයටත් නොමි‍ලේ කිසිදු අය කිරීමකින් තොරව, ඕනෑම කෙනෙකුගේ ඉවත් කරන ලද ගොඩනැගිලිවල ගල්, සිමෙන්ති, බදාම ආදී කොටස් ලොරි මගින් ගෙනනැවිත් බාරදිය හැකියි. යැයි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසන්නේය.

මෙම ස්ථාන දෙක සතියේ දින හතේම විවෘතය. සාමාන්‍යයෙන් සතියේ සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා මෙම ගොඩනැගිලි අපද්‍රව්‍ය කොටස් භාර ගනී. එම ස්ථාන දෙකට ගොඩනැගිලි අපද්‍රව්‍ය රැගෙන ආයුතු ප්‍රමාණය සම්බන්ධව සීමාවන් පනවා නැත.

ඉඩම් ගොඩ කිරීමේ  හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය අංගනය ආසන්නයෙන් අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව ඉඳිවෙනවා. ඒ දොරටුව අසලට පැමිණි පසු සංස්ථාවට අයත් අංගණය දැකබලා ගන්න පුළුවන්. මේ ස්ථානයට ඉවතලන ගොඩනැගිලි ද්‍රව්‍ය ඕනෑම ප්‍රමාණයක් භාර ගැනීමේ හැකියාව පවතිනවා. මොකද කියනවානම් එම ස්ථානය විශාලයි. යැයිද සභාපතිවරයා කීවේය.

කළපළුවාව අංගණයද අක්කර භාගයක පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතී. එම ස්ථානයේ  යම් කිසි ආකාරයකින් එහි ඉඩ ප්‍රමාණයේ මදිකමක් පැවතියහොත් ඉවත් කරන කොටස් කෙරවළපිටිය අංගණයට බැහැර කිරීමේ හැකියාව තිබෙන බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කරයි. ගොඩනැගිලි අපද්‍රව්‍ය  බැහැර කිරීම සඳහා කල් ඇතිව අවසරයක් ලබා ගැනීමටද අවශ්‍ය නොවන්නේය.

මෙලෙස එකතු කරනු ලබන ගොඩනැගිලි අපද්‍රව්‍ය විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනෙන්නේය. ප්‍රධාන වශයෙන් යම් වගුරු බිමකට යන්ත්‍රයක් යෙදවීමට අවශ්‍ය නම්, ඒ සඳහා තාවකාලික මාර්ගය සකස් කර ගැනීමට මෙම ගොඩනැගිලි අපද්‍රව්‍ය යොදා ගැනේ.

අපි මෙලෙස බාර ගන්නා දේවල් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගනු ලබනවා. මාර්ග ඉදිකිරීමේ කටයුතු, පිවිසුම් මාර්ග සකස් කිරීමේ කටයුතුවලට මේ දේවල් කුඩු කරලා යොදා ගන්නවා. විශේෂයෙන් තාවකාලික ඉඳිකිරීම් සඳහා තමයි අපි මේවා භාවිත කරන්නේ. සාමාන්‍යයෙන් අලුත් පාරවල්වලට වඩා යම් සංවර්ධන ස්ථානයකට පිවිසීමේ මූලික මාර්ගය සැකසීම සඳහා ඒජජඥඵඵ අධචඤසඳහා යොදා ගැනීමට. උදාහරණයක් ලෙස කියනවා නම් යම් වගුරක් සහිත ස්ථානයකට අපිට යන්ත්‍රයක් ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා තාවකාලික මාර්ගයක් සකස් කර ගැනීමටයි අපි මේ කොටස් යොදා ගන්නේ. අලුතෙන් හදන පාරවල්වලට අපි මේ කොටස් කිසි ලෙසකින් වත් යොදා ගන්නේ නෑ. අපිට ලැබෙන මේ කොටස් වෙන් කිරීමක් සිදු කරන්නේ නෑ. යකඩවල මිල අද ඉතාමත් අධික නිසා කවුරුත් කොන්ක්‍රීට් භාර දෙන්නේ නෑ යකඩ සමඟ. කොන්ක්‍රීට් කුඩු කරලා යකඩ ටික අරගෙන කොන්ක්‍රීට් කුඩා කැබලි ලෙසයි අපිට භාර දෙන්නේ. එය අපිට කිසිම බාධාවක් නෑ අපේ සංවර්ධන කටයුතුවලට. යැයි සභාපතිවරයා පවසන්නේය.

ඇළ මාර්ගවලට ගොඩනැගිලි අපද්‍රව්‍ය දැමීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා මෙවැනි මෙවලම් භාවිත කරන බව සභාපතිවරයා කියන්නේය. ඉකුත් මාස දහයක පමණ කාලය තුළදී කෙරවළපිටිය සහ අඹගහ හන්දියේ පිහිටි ගොඩනැගිලි අපද්‍රව්‍ය ඒකරාශී කරන ස්ථාන දෙකට ගොඩනැගිලි අපද්‍රව්‍ය කියුබ් දහසකට අධික ප්‍රමාණයක් ලැබි ඇත.
සමහර වෙලාවට මේ කොටස් ඇළ දොල සහ පහත් බිම් වලට මහජනතාව බැහැර කරන්නේ කැමැත්තෙන් නොවෙයි.

සමහර වෙලාවට නොදැනුවත්කම හෝ වෙනත් විකල්පයක් නොමැති නිසායි මේ කටයුතු සිදුකරන්නේ. එය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි අපි මේ අලුත් ස්ථාන දෙකම ස්ථාපිත කරලා තිබෙන්නේ. ඕනෑම කෙනෙකුගේ ගොඩනැගිලි කඩා ඉවත් කරන කොටස් අපි භාර ගන්නවා. දුර බැහැර ප්‍රදේශවල අයත් සමහර අවස්ථාවන්හිදී රැගෙන එනවා. යැයි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා කියන්නේය.

පහත් බිමකට අපද්‍රව්‍ය බැහැරලීම නීතිමය වශයෙන් පියවර ගත හැකි කටයුත්තක් බව ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. එහි බලතල පැවරී ඇත්තේ එම සංස්ථාවට හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටය.

පහත් බිමක් පස් හෝ වෙනත් අබලි  ද්‍රව්‍යයක් යොදවාගෙන පිරෙව්වොත් ඊට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පහත් බිමක්, කුඹුරක්, ඕවිටක්, දෙනියක් අනවසරයෙන් ගොඩ කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට එවැනි පැමිණිල්ලක්
ලද වහාම ඒ

පිළිබඳව පරීක්ෂණ සිදුකර සොයා බලනවා. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවත් ඒ සම්බන්ධයෙන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. යැයි ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com

Untitled-10