මම ඔහේ ඇවිදගෙන යමි. පිටකොටුවේ මල්වත්ත පාරේ විවිධ මිනිසුන් පසුපස  හඹා යමි.  නාටාමිලාගේ වෙහෙසකර මුහුණු,කොට කලිසම්, ඩෙනිම්, කමිස ලාබෙට විකුණන ඇඳුම් වෙළෙන්දන්ගේ  ජංගම දුරකථන විදුලි උපකරණ සහ අවශේෂ  බඩු භාණ්ඩ  විකුණන වෙළෙන්දන්ගේ ඝෝෂාව මැද්දෙන් මම ඉදිරියටම යමි. අව්කාස්ටකේ පිච්චෙන මම ටික වේලාවක් විඩා හැරීම සඳහා කොටුවේ බස්නැවතුමට ගොඩවුණෙමි.

තිබහක් දැනුණු හෙයින්  භාගයක් හිස්වී ඇති වතුර බෝතලය  මල්ලෙන් ගෙන සම්පූර්ණයෙන්ම හිස් කළෙමි. එය පිරිනැමුයේ මා හැරගිය  පෙම්වතියයි. මා වාඩිවී  සිටි තැනින් තරමක් එහාට කොළ පාට තරමක් ‍පොඩි ඇපල් කපන මිනිසෙකි. කොට කලිසමක් සහ කමිසයක් ඇඳ  ඇපල් වට්ටියක් ළඟ තබාගෙන  ඉන්නා මේ මිනිසා වෙළෙන්දෙක් බව වටහා ගත්තෙමි. ඉතින් ‍පොඩි බඩගින්න ඇපල් ගෙඩියකින් පුරවා ගැනීමට මම ඔහු සමීපයට පැමිණියෙමි.  කතාවට වැටුණෙමි. තවත් ඔහුගේ කතාව පුරාවට දකින්න ලැබුණේ සිය රැකියාවට සමාජයෙන් ලබාදී ඇති සහතිකය ගැන  ඇති පශ්චාත්තාපයකි.

මොන රජයකින්වත් අපිව ගණන් ගන්නේ නෑ. මගියා වුණත් අපිව සැහැල්ලුවට ගණන් ගන්නේ  අපි  බස්එකට නැඟලා ඇපල් ගෙඩියක් විකුණද්දී කවුරුත් අපිව ගණන් ගන්නේ නෑ

අයියාගේ නම මොකක්ද?
මගේ නම ඉන්ද්‍රජිත්. 1978 තමා මං බස්වලට නැගලා ටොෆි වික්කේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. දුව තාම ඉස්කො‍ලේ යනවා. පුතා දැන් මෝටර් සයිකල් කොම්පැණියක වැඩ. මේකෙන් තමා මගේ පවුල ගෙනියන්නේ.

අයියාගේ ගම කොහෙද?
මම ගුණසිංහපුරේ

අයියා කොච්චරක් දුර ඉගෙන ගත්තද?
මට හතර වසර වෙනකල් විතරයි ඉගෙනගන්න පුළුවන් වුණේ. මම මේ පිටකොටුවේ සමාජයෙන්ම තමයි ඉගෙනගත්තේ. මම සිගරට් එකක් බොන්නේ නෑ. අරක්කු ටිකක් බොන්නේ නෑ. හැබැයි මට ඉන්න ගෙයක්වත් නෑ.

ඒ කියන්නේ?
මම කුලියට ගෙයක් අරන් ඉන්නේ වැලිසර. මට ළමයි දෙන්නා මෙහේ තියාගන්න බෑ. මෙහෙ හිටියොත් එයා වැරදි දේවල්වලට යොමුවෙනවා. අනික මං මෙතනට එන්න හොරකම් කළේ නෑ. කාගෙන්වත් අත පෑවේ නෑ.

ඇපල් බිස්නස් එක පටන් ගත්තේ මොන කා‍ලේ වගේද?
1990 පටන්ගත්තේ. බිස්නස් එකෙන් ලාභයක් තියෙනවා. මම මිනිසුන්ට හොඳ බඩු තමයි දෙන්නේ. ඔය ටීවී එකේ පෙන්වනවා  ජරාව දෙනවා කියල මිනිස්සුන්ට කපලා කන්න දීලා තමා අපි සල්ලි ගන්නේ. ඔය ටීවී එකෙන් පෙන්නනවා. එහෙම දෙනවා කියලා මිනිස්සුන්ට ඒත් අපි දෙන්නේ නෑ.

බිස්නස් එකේදී අත්දකින්නට ලැබුණු හොඳම අත්දැකීම මොකක්ද?
එක එක අත්දැකීම් තියෙනවා.  මම ‍පොඩි කා‍ලේ වෙළෙඳාම් කරන කොට දහනායක මහත්තයා බස්එකේ ඉද්දි. රුපියල් දෙකක් දීලා  ‍පොඩි එකෝ ටොෆි කෑලි අටක් දීපන් කියලා කිව්වා.  පිටිපස්සේ සීට් එකේ හිටපු මනුස්සයෙක් ඇහුවා ‍පොඩි එකෝ මේ මහත්තයව දන්නවද? කියලා. මං එතකොට දන්නේ නෑ.  මේ දහනායක මහත්තයා කියලා අද ඇමැතිවරු දහනායක මහත්තයා වගේ බැට්රි පෙට්ටියේ ඉඳගෙන යන්නේ නෑනේ

මිනිස්සු ඉන්ද්‍රජිත්ට වංචා කරලා තියෙනවාද?
මිනිස්සු මට වංචා කරලා නෑ. ඒත් මිනිස්සු මට සලකන්නේ අඩු කුලයට, ‍පොලිසියත් එහෙමයි.

බිස්නස් එකේ චර්යාව කොහොමද?
මම සල්ලි දීලා බඩු ගන්නවා. කඩේ මට වඩා කොයිද රුපියල් 100ක් අඩු මම එතැනින්  බඩු ගන්නවා. අගෙන මම මෙතැනට ගෙනල්ලා තියාගෙන විකුණනවා.
අප දෙදෙනාගේ කතාව අතර මැද කොන්දොස්තර මහත්වරු තුන්දෙනෙක් ඉන්ද්‍රජිත් ළඟට පැමිණ  ඇපල් ගෙඩියක් දෙකක් මිලදී ගත්තේය. ‍පොඩි ඇපල් ගෙඩිය අටකට කපා ලුණු මිරිස් බෝතලයෙන් ස්වල්පයක් ඒ මැද්දට තබා ඉන්ද්‍රජිත් ඔවුන්ගේ අතට දෙයි. ඇපල් ගෙඩියට අමතරව ඔහු අව්‍යාජ සිනහවක්ද ඔවුනට ලබාදෙයි.

ඔයාට ඕන තැනක ඇපල් විකුණන්න පුළුවන්?
ඔව්. ඕන තැනක පුළුවන් කවුරුත් මුකුත් කියන්නේ නෑ. බස් ස්ටෑන්ඩ් එකේ මට ලයිසන් එකකුත් දීලා තියෙනවා. ඩ්‍රයිවර් කොන්දොස්තර මහත්තුරු මට  එකමුතුයි. නිලධාරි මහත්තුරුත් අපිට උදව් කරනවා. ඒ කාලෙ හිටපු මහත්තුරු දැන් ලොකු මහත්තුරු වුණාට මම උදව් කරලා තියෙනවා. සමහරක් අය පැන්ෂන් ගිහිල්ලත් මෙහෙට ගොඩ වුණාම ඇවිල්ලා කතා කරලා යනවා. ඒ අපි මිනිස්සු එක්ක හොඳට හිටපු නිසා.

ඇයි මේ රස්සාව සමාජෙන් පිළිගන්නේ නැත්තේ?
අපි බස් එකට නැගලා කෑගහලා බඩු විකුණලා බහිනවානේ. දැන් යාචකයොත් කොළයක් දීලා සල්ලි ගන්නවානේ. අපි නම් බඩු දීලා එහෙම සදල්ලි ගන්නේ නෑ.  කවුරු හරි ඉල්ලුවොත් විතරයි බඩු දෙන්නේ මං මහ වැදගත් විදිහට නැතුව අම්මාට සනීප නෑ දරුවන්ට කන්න නෑ කියලා අපි වෙළෙඳාම් කරන්නේ නෑ.

දරුවෝ  කියලා  නැද්ද රස්සාව නවත්නන්න කියලා?
මං එයාලට පෙන්නලා තියෙන්නේ උඹලා  ඉගෙන ගන්නේ නැත්නම් මේ දේත් උඹලාට වෙනවා කියලා. ඒ නිසා  එයාලත් මාව හොඳට තේරුම් අරන් ඉන්නේ?

නෝනා
නෝනා මගෙන් ඩිවොස් වුණා.  එයාට මදිකමක් වුණා මගේ රස්සාව. එයා මට වඩා  හොඳට ඉගෙනගත්ත කෙනෙක්.  විභාග දෙක තුනක් පාස්කරපු මං පස්සේ උසාවියේ නඩු කියලා දරුවෝ දෙන්නා මං ගාවට ගත්තා. මේ රස්සාව එයාට ලැජ්ජාවක් වුණා.  එයා දැන් පසුතැවෙනවා. වෙන්වුණ එක ගැන.  එයා දැන් වෙනත් විවාහයක් කරගෙන ඉන්නවා.

වැඩිපුරම ගරු කරන පුද්ගලයා කවුද?
ප්‍රේමදාස මහත්තයා. මං දෙවියෙක් වගේ අදහන මනුස්සයෙක්.ප්‍රේමදාස මහත්තයා එක්ක මං කතා කරලත්  තියෙනවා.  ප්‍රේමදාස මහත්තයාගෙන් ගෙයක් ඉල්ලුවාම එයා කිව්ව කසාද බැඳලා වරෙන් මම ගෙයක් දෙන්නම් නැත්නම් මට හිරේ යන්න වෙයි කිව්වා. නමුත් අපේ කාලකණ්නිකමට  එතුමා ගියා.  හිටියා නම් ගෙයක්  දෙනවා.

හැබැයි සමහර මිනිස්සු ප්‍රේමදාස මහත්තයාට කැමති නෑ නේද?
මේකනේ. මිනිස්සුන්ට බලය එනකොට මොළේ නෑ.  මොළේ එනකොට බ‍ලේ නෑ. දැන් මිනිස්සුන්ට කෙරෙන්නේ නෑ. ඒ වගේම මනුස්සයෙක් බිහිවෙන්නේ නෑ ආයේ.  මම උදේ හවා වඳින්නේ ප්‍රේමදාස මහත්තයාට.

‍පොඩි කා‍ලේ කොහොමද ගෙවුණේ?
‍පොඩි කාලෙම අම්මා, තාත්තා දෙන්නා මියගියා. පස්සේ මං හැදුණේ සෝන්ඩස් කියන පාපන්දු කණ්ඩායමක් ළඟ මං පාපන්දු සෙල්ලම් කළා. නමුත් ඉහළට එන්න අපිට වත්කමක් තිබුණේ නෑ. එතනින් තමා මං සිගරට් එකක්වත්, අඩියක්වත් බොන්න පුරුදුවුණේ නැත්තේ.

ඇපල් ගෙඩියක් කීය ගානේ දෙනවද?
රුපියල් 20 ගාණේ දෙනවා. ගෙඩි 600ක් විතර විකිණෙනවා.
අද ගත්තු බඩු මම හෙට විකුණන්නේ නෑ. මිනිස්සුන්ගෙන් දෙස් ඉල්ලගන්න මං කැමති නෑ. මේ නිසා පාරිභෝගිකයාට දෙන්නේ හොඳම බඩු.   ඔය ගෙනියන්නේ සමහරක් විට ‍පොඩි ළමයෙක්ට වෙන්නැති. අපි කරපු පාපකර්ම හින්දා දැන් දුක් විඳින්නේ. ඒකෙන් මිදෙන්න තමා මේ දේවල් කරන්නේ.

යුද්දෙ කාලෙත් බිස්නස් කළා ද?
ඔව්. යුද්දෙ  කාලෙදි හුඟක් හිරිහැර ආවා. බස්වල මගීන්ගේ ගමන් මලු සොයා බලන්න, ආරක්ෂා කරන්න වුණා. උඩ රාක්කවලට බඩු දාන්න එපා මහත්තයෝ කිව්වාම මිනිස්සු අපේ ඇඟට ආවා.

ඒ ආණ්ඩුව ද හොඳ? මේ ආණ්ඩුවද හොඳ?
දෙකම එකයි. දෙගොල්ලෝම එකම බෝ‍ලේ ගහන්නේ.  ඉස්කොලෙන් දුන් රුපියල් 750ක වවුචරයක්. ඒත් කලිසමයි, කමිසයයි මහන්න 1500ක් යනවා. ඒ කො‍ලේ එහෙම්ම තිබ්බා. කවුරු හරි ආපු වෙලාවක දෙන්න. රජයකින් සත පහක දෙයක් අපිට ලැබිලා නෑ.

ඇපල් බිස්නස් කරන හැමෝටම තියෙන්නේ ‍පොදු ප්‍රශ්නද?
සාමාන්‍යයෙන් ප්‍රශ්න  තියෙන අයත් ඉන්නවා.  ප්‍රශ්න නැති අයත් ඉන්නවා.  මේ රස්සාවෙන් කිසිම ලෙඩක් දුක්ක නෑ. දවසෙම ක්‍රියාශීලීව තමා ජීවිතය ගවෛන්නේ.

දැන් තරුණ කට්ටිය බිස්නස් එකට එන්නෑ නේද?
මේ රස්සාව කවුරුත් පිළිගන්නේ නෑ. මං වුණත්  කැමති නෑ මගේ දරුවෝ මේක කරනවාට. ගණන් ගැනීමක් නෑ. එක එක දේවල්වලට පුරුදු වෙනවා. මගේ උත්සාහයයි දැනුමයි හින්දයි අද මම මෙතැන ඉන්නේ. සමහරක් අය ඉන්නවා යන්න එන්න තැනක් නැතුව මෙතැනම කාලා, මෙතනම බුදියන. එතැනම මැරිලා යනවා.

දින චරියාව කොහොමද ගවෛන්නේ?
මම නැගිටින්නේ  උදේ 4ට. ප්‍රේමදාස මහත්තයාත් නැගිටින්නේ ඒ වෙලාවට. නැගිටලා බුදුන් වැඳලා පහට පහහමාරට එළියට  එනවා. ඇවිල්ලා බෝධිය ළඟටවෙලා ටිකක් ඉඳගෙන ඉඳලා වෙළෙඳාම පටන්ගන්නවා. බිස්නස් එක 6-7 වෙද්දි ඉවර කරනවා. 8 වෙනකොට නිදාගන්නවා. ඉරිදාට මං බිස්නස් කරන්නේ නෑ. හැමදාම වැඩ.

මෙහේ විතරද බිස්නස් කරන්නේ?
ඉස්සර බස් නැති කාලෙ උත්සවවල එහෙම  රැස්වීම්වල පත්තර විකුණනවා. මට රුපියල් පහක් හයක් එහෙම දුන්නා.

ඒ මොන කාලෙද?
ඒ දෙහස් පහේදි සජිත් මහත්තයාගේ වැඩ කටයුතුවලට මං උදව් කළා. මැඩම් මාව දන්නවා.
දේශපාලනේදි මොන පැත්තද ගන්නේ?
මම දේශපාලනයේදී කිසිම පැත්තක් ගන්නේ නෑ. මං සජිත් ප්‍රේමදාසවාදියෙක්. හැබැයි මං යූඑන්පී ‍නෙවෙයි.

දරුවෝ දෙන්නාගේ ආදරේ කොහොමද ලැබෙන්නේ?
මගේ දරුවෝ දෙන්නා දිහා හැරිලා බලනකොට මට සන්තෝසයි. සිගරට් එකක් බොන්නේ නෑ. මං ගෙදර ගියාම මගේ ඔළුව අතගාලා කකුල් අතගාලා සාත්තු කරනවා. අවුරුදු 20ක කොල්ලෙක් එහෙම කරනවා කියන්නේ මං හිත යටිනුත් කියන්නේ උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ කියලා.

‍පොත්පත් එහෙම කියවනවාද?
මට ‍පොත්පත් කියවන්න තරම් අධ්‍යාපනයක් නෑ හැබැයි උගතුන් කියන  කතා අහලා ඒ අයගේ දැනුම ගන්නවා හොඳම ඉස්කෝ‍ලේ තමා මෙතන. ඔයා මෙතන පැය දෙකක් වාඩිවෙලා ඉන්න  ඔයාගෙන් අහයි කොහෙද යන්නේ ගන් එකක් ගමුද? සිගරට් එකක් බොමුද? කියලා. බඩගිනිද අහලා රුපියල් දෙසීයක් දෙන්නේ නෑ.

ඒ වගේ දේවල් ඇස්දෙකට දැකලා තියෙනවද?
ඕවා විතරක් ‍නෙවෙයි එක ගැහැනු ළමයෙක් ඇවිල්ලා හිටියා. එයා ගැහැනුත් නමෛයි. කොල්ලෙක් වගෙයි. එයාට ඉන්න තැනක් නෑ. ඇඳුම් බෑග් එකකුත් අරන් ඇවිදින්. නුවරඑළියේ පැත්තේ. කාත්කවුරුත්  නැතිලු. මං අතින් 1000ක්දුන්නා.  ඒ ළමයාව දන්නෙත් නෑනේ.

අප විනාඩි 43ක පමණ කාලයක් කතාකළෙමු.  ඒ කතාබහ අතරතුර ගැනුම්කරුවන් කිහිප දෙනෙක් ඔහු දෙසට ආවෝය. සෑම හමුවීමකම වෙන්වීමක් ඇති මුත් නැවත ඔහු හමුවීමට පිළිණදී මම මිනිසුන් සොයා ඇදුණෙමි. මගේ අතේ ඇපල් ගෙඩියක් ද විය.

අයු ප්‍රනාන්දු

SHARE

1 COMMENT

  1. මේ වගේ තමන්ගේ උත්සාහයෙන් ජීවත් වෙන දිරිය මිනිස්සුන්ගේ කතා අහන්න මම හරි ආසයි. මේවගෙන් අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක් ලැබෙනවා.
    හලෝ නිවස ඇමතිතුමා වේදිකාවේ පුරසාරම් කියව කියව ඉන්නේ. මහන්සි වෙලා අවංකව තමන්ගේම උත්සාහයෙන් සුළු රැකියාවක් කරලා ජීවත් වෙන, තමන්ගේම කියලා හිසට වහලක් නැති, ඉන්ද්‍රජිත්ට නිවසක් දෙන්න.
    හලෝ මුදල් ඇමතිතුමා, “Enterprise Sri Lanka” කාටද? මේ ඉන්නේ මිනිස්සු. ඉන්ද්‍රජිත්ට තමන්ගේ සුළු රැකියාව මීට වඩා සාර්ථකව කරගන්න උදව්වක් දෙන්න බැරිද?

LEAVE A REPLY

Previous articleපිදුරංගල පින් බිමේ ඉඳන් රටටම පස්ස පෙන්නපු කොල්ලන්ගෙ කතාව
Next articleස්වාමි-සේවක දෙගොල්ලම දැනගත යුතු Gratuity (පාරිතෝෂික)