නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ ව්‍යාපාර අධ්‍යයන හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ 29 හැවිරිදි නඩරාසා ‍පොතනායගී ගුප්ත චරිතයක් වූවාය. ඒ ඇය වැඩි කතාබහක් නොමැති නිහඬ චරිතයක් වූ බැවිනි.

නඩරාසා ‍පොතනායගී වව්නියාව, ආසිකුලම්, කටීකුලම් ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූවාය. ඇය විවාහ වී සිටියේ එස්. සෙන්දුරන් නමැති අය සමගය. විශ්වවිද්‍යාලයයේ සේවය කරද්දී ඇය ගැබිනියක වී සිටියාය. කුමන හෝ කාරණයක් මත ඇය පසුගිය දින කීපයේ ගත කළේ යමක් ගැන කල්පනා කරමිනි. ඒ කුමන කාරණයක් නිසාදැයි යන්න සිය මිතුරියන්ටවත් නොපැවසීමට ඇය වග බලා ගත්තාය. මිතුරියන්ටත් නඩරාසාගේ වෙනස්වීම ප්‍රහේලිකාවක් විය. ඇය සකස් කළ ප්‍රශ්න පත්‍රයක යම් ගැටලුවක් නිසා ඇය සිත්තැවුලින් සිටි බවද පැවසේ. නමුත්, ඇය ඒ වගක් කිසිවකුට හෝ නොකීවාය.

නඩරාසා ‍පොතනායගී සුපුරුදු පරිදි ඉකුත් 21 ඇය සහ සැමියා නවාතැන් ගෙන සිටි නිවසින් පිටත් වූවාය. ඇය විශ්වවිද්‍යාලයේ දොරටුවෙන් ඇතුළු වූයේ සිය රාජකාරි කටයුතු කිරීමටය.

ඊට පැය කිහිපයකට පසු ත්‍රිකුණාමලය වෙරළින් හමුවන්නේ ඇගේ අත්බෑගය හා පාවහන් යුගළය. ඉකුත් 21 වනදා උදෑසන ශාරීරික අභ්‍යාස සඳහා වෙරළට පැමිණි පුද්ගලයකුටය. ඔහු ඒ බව කියන්නේ ඒ ආසන්නයේ රාජකාරි කළ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයටය. ඒ අනුව එම අත්බෑගය ගැන පරීක්ෂණ ආරම්භ විය. එහි තිබූ හැඳුනුම්පත්වලින් ඇය කථිකාචාර්යවරියක් බව හඳුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එස්. ලලිත් කුමාර මහතා ඒ බව විශ්වවිද්‍යාලයට දැනුම් දුන්නේය. ඇය අතුරුදන් වී ඇති බවට නිලාවේලි පොලිසියට ඒ වන විටත් පැමිණල්ලක් ලැබී තිබුණේය.

ඊට පැය කිහිපයට පසුව ඇයගේ මළ සිරුර කොටුව වෙරළේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබීය.
මළ සිරුර නිරීක්ෂණයට එම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් හා කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරමින් පවුලේ ළඟම ඥාතීන් සිටීදැයි විමසුවාය.
එම අවස්ථාවේ මිය ගිය අයගේ සැමියා වන එස්. සෙන්දුරන් යන අය ඉදිරිපත් විය. අතර ඔහු එම ස්ථානයේ තිබූ සිරුර තම බිරිඳගේ බවට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී හඳුනා ගනු ලැබීය. නමුත් යමක් කීමට ඇත්දැයි මහෙස්ත්‍රාත්වරිය ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකළේය.

අනතුරුව මළ සිරුර වෙරළට පාවෙමින් එනු දැක තිබූ එම ස්ථානයේ පිහිටි යුද හමුදා නිලධාරි නිවස්නයේ සේවයේ නියුතු සාමාන්‍ය සෙබළ ප්‍රදීප් ප්‍රසන්න යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගත්තාය.
“මම නිලධාරි නිවස්නයේ ඉඳලා එළියට ඇවිත් වෙරළ දිහාව බලමින් සිටියදී වෙරළින් මීටර් 10ක් පමණ මුහුදේ යමක් පාවෙනවා වගේ දැක්කා. පස්සේ මොකක්ද කියලා බලන්න ටිකක් ළඟට ගියාම එය මළ සිරුරක් බව දුටුවා” ඔහු කීවේ එවැන්නකි.

අනතුරුව සිරුර නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරිය මිය ගිය අය ගැබිනියක් වන හෙයින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් යටතේ මෙම මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදු නොකර මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට යවන ලෙසට නියෝග කළේය.
ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලට යවනු ලැබු මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉකුත් 22 වැනිදා සිදු කර තිබූ අතර එය දියේ ගිලීමෙන් හුස්ම සිරවීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය කර ඇති බව පොලිසිය පැවැසීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව භාර ගන්නා දේහය ආදාහනය නොකර මිහිදන් කරන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝගයක් කරන්නේ ඇගේ මරණය දියේ ගිලීමෙන් සිදු වුවත් ඇය දියේ ගිලුණේ සියදිවි නසා ගැනීමට මුහුදට පැනීමෙන්ද, අහඹු ලෙස මුහුදට වැටීමෙන්ද, නැතිනම් කිසිවෙක් විසින් මුහුදට තල්ලු කර කළ ඝාතනය කළේද යන්න පිළිබඳව අබිරහසක් ඇති බැවිනි.

සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කේ.බි.ලක්මාල් – ත්‍රිකුණාමලය