රුව, නැණ, ගුණ යන සියල්ලෙන්ම ‍පොහොසත් ඇය නමින් නුවන්ධිකා සිරිවර්ධනයි. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය ගැන හැමෝම කතා කරන්නේ Miss British Empire තරගයේ කිරුළ හිමි කරගත් නිසයි. ඒ නිසාම මේ ඉඩ ඇය වෙනුවෙන් වෙන් කළා.

ජයග්‍රාහිකාව ලෙස ඔබේ නම කියැවෙද්දි මොකද හිතුණේ?
මේ තරගය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මට ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් කියලා. නවසීලන්තයේ, ඔස්ට්‍රේලියාවේ තරගකාරියෝ මාත් එක්ක කරට කර හිටපු නිසා ‍පොඩි චකිතයක් හිතේ තිබුණා. ඒත් ජයග්‍රාහිකාව මිස් ශ්‍රී ලංකා කියලා මගේ නම කියැවෙද්දි මට හිතාගන්න බැරිවුණා. ඒ වගේම කියාගන්න බැරි සතුටක් දැනුණේ. ඒ සතුට දරාගන්න බැරුව මට වේදිකාවේ හයියෙන් කෑගැහුණා.

ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන රූප රාජිනී තරගවලින් අපේ රටේ බොහොම අතලොස්සකට පමණයි කිරුළු පලඳින්න හැකිවෙලා තියෙන්නේ. ඒ අතරින් කෙනෙක් වීම ගැන මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?
1985 වර්ෂයේ තමයි රෝසි සේනානායක විවාහක රූ රැජින ලෙස කිරුළු පලඳින්නේ. ඊට පසුව රූ රැජිනක් ලෙස කිරුළු පැලඳුවේ මම කියලා මම හිතනවා. ඒක දුර්ලභ අවස්ථාවක්. ඒ ගැන නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් මට දැනෙනවා. අනෙක් අන්තර්ජාතික තරග වගේම රූපයම විතරක් ‍නෙවෙයි පෞරුෂත්වය කොලිටීස් යන හැමදේම බැලුවා. අන්තර්ජාතික තරගයක් ජයග්‍රහණය කිරීමම අමාරු දෙයක්. ලෝකයත් එක්ක බැලුවම අපි බොහොම පුංචි රටක්. සංවර්ධිත රටවල් එක්ක කරට කර තරග කරලා ජයග්‍රහණය කිරීමම ලොකු දෙයක්.

මුල ඉඳන්ම ඔබට ලොකු විශ්වාසයක් තිබුණද ඔබට කිරුළ ලැබේවි කියලා?
ඔව්. මම යම්කිසි තරගයකට තරග වදිද්දි අනෙක් අයත් එක්ක මාව සංසන්දනය කරන්නෙ නැහැ. මම නිතරම බලන්නේ උපරිමයෙන් මගේ දක්ෂතා පෙන්වන්න. තරග වට හතරක් තිබුණා. ඒ වට හතරෙදිම තේරුණා අනෙක් අයත් දක්ෂයෝ කියලා. මාත් එක්ක කරට කර තරගකාරියෝ දෙන්නෙක් හිටියා. ඉතින් මට විශ්වාසයක් තිබුණ රූ රැජින කිරුළ නැතත් මට ජයග්‍රහණයක් ලැබේවි කියලා. ප්‍රථම ස්ථානයට තමයි ලොකු තරගයක් තිබුණේ. ඒ තරගය ඇතුළත මට විශ්වාසයක් ඇතිවුණා මට ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා. මම හිතනවා මගේ හැකියාවන් උපරිමයෙන් ප්‍රදර්ශනය කළා කියලා.

මේ තරගය සඳහා රටවල් කීයක තරගකාරියන් සහභාගි වුණාද?
තරග වට කිහිපයකින් තරගකාරියන් තෝරලා තමයි අවසන් වටයට සහභාගි කළේ. ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අනූහතක තරගකාරියන්ට මේ සඳහා තරග කරන්න අවස්ථාව තිබුණා.

මේ තරගය අතරතුර සිදුවුණු විශේෂ සිදුවීම් ඇති?
නවසීලන්ත, ඔස්ට්‍රේලියානු තරගකාරියන් මට හරියට උදව් කළා. මම තමයි රෑම්ප් එකේ නම්බර් වන් හිටියේ. මම යන්න කලින් ඔවුන් මාව දිරිමත් කළා. මම ආපහු වේදිකාවෙන් බැහැලා ආවට පස්සේ ඔවුන් මාව වර්ණනා කළා. ඒ දේ අපේ රටේ වෙන්නෙ නැහැ. ඒ දේ විශේෂ අත්දැකීමක් වුණා. ඔවුන් කිසි කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව සුහදශීලීව උදව් කළා. ඒ දේ මට ලොකු හයියක් වුණා. ඒ හැම සිදුවීමක්ම මට විශේෂයි වගේම අමතක කරන්න බැහැ.

ඔබට කුඩා කාලයේ ඉඳන් හීනයක් තිබුණද රූ රැජිනක් වෙන්න?
මම නිරූපණයටත් හරි කැමැතියි. මම හැම පැත්තක් ගැනම ඉගෙන ගන්න ආසයි. මම තව අවුරුදු දෙසිය විස්සක් ජීවත් වුණත් මම කැමැතියි හැමදේම ඉගෙන ගන්න. මම ඉගෙන ගන්න දේ අන්තෙටම ගිහින් ඉගෙන ගන්න ආසයි. වෛද්‍යවරියක් වෙන්න අධ්‍යාපනය ලබන කා‍ලේ මට බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. රූ රැජිනක් වීමේ කතාන්දරය පිටිපස්සේ ‍පොඩි කතාවක් තියෙනවා. මගේ අයියා කෙනෙක් හිටියා. අපි දෙන්නා එකටමයි හැදුණේ. නිවුන් සහෝදරයන් වගේ. අම්මටයි තාත්තටත් වඩා ඔහු මට ආදරය කළා. ඔහු නිතරම මගේ රූපය වර්ණනා කරනවා. එයා නිතරම කියනවා ලෝක රූ රැජින තරගයට ගියොත් මට දිනන්න පුළුවන් කියලා. නමුත් මගේ අවාසනාවකට මාව කැම්පස් එකට දාලා යද්දි ඔහු රිය අනතුරකින් මිය යනවා. එයාගේ ජීවිතේ මම ගැන ලොකු බලා‍පොරොත්තු ගොඩක් තිබුණා. ඒ එක හීනයක්වත් එයා ඉටුකර ගන්නවා බලන්න බැරිවුණා. එයා කැමති වුණේ මම වෛද්‍යවරියක් වෙලා ඩිග්‍රිය ගන්න දවස. එදා මට ගොඩක් ඇඬුණා. එයා මගේ ළඟ නොහිටපු නිසා. මේකත් මගේ සහෝදරයාගේ හීනයක් ලෙස තමයි මම දකින්නේ.

මේ තරගයට සහභාගි වෙන්න පෙර සිටම සමාජ සුබසාධන කටයුතුවලට දායකත්වයක් ලබාදුන්නා. මේ කිරුළ ඒ සඳහා ආභරණයක් කරගන්න පුළුවන් වුණා නේද?
ඔව්. මම ඒක මගේ මේ සුබසාධන වැඩකටයුතුවලට ආභරණයක් කරගන්න කැමතියි. මගේ ආසාවක් තියෙනවා ටොප් මොඩ්ල් කෙනෙක් වෙන්න. මම මේ තරගයත් එක්ක ගැටෙන්නේ සමාජ සේවාවක් කරන්නයි. සමාජ සේවාවක් කරන්න දේශපාලකයෙක් හරි යම්කිසි ප්‍රසිද්ධියක් අවශ්‍යයි. නැත්නම් මිනිස්සුන්ගෙන් උදව් ගන්න හරි අමාරුයි. මේ තරගය නිසා මිනිස්සු මම ගැන දන්නවා. මම මේ දවස්වල පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. ඒක අන්තර්ජාතික සංවිධානයක් කරලා ලෝකයේම මිනිස්සුන්ට උදව් කරන්න ලොකු අරමුණක් තියෙනවා. මේ හැමදේටම තියෙන කැපවීම නිසයි පුදුම විදිහට මේ කිරුළ වෙනුවෙන් කැපවෙලා වැඩ කළේ.

රූ රැජිනක් ලෙස කිරුළු පලඳින්න කලින්ම ඔබට රංගනයට ආරාධනා ලැබුණ. අදහසක් නැද්ද රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්න?
ආරාධනා ගොඩක්ම ලැබෙනවා. මියුසික් වීඩියෝවලටත් කතා කරනවා. මම හරියට තෝරා බේරාගෙනයි වැඩ කරන්නේ. මම මුදල් පස්සේ යන්නේ නැහැ. මම ඉදිරියේදිත් සීමාසහිත ලෙස කලා වැඩකටයුතුවලට දායකත්වයක් ලබාදෙන්නයි තීරණය කරලා තියෙන්නේ.

මොනවද ඉදිරි වැඩ කටයුතු?
මම ‍පොතක් ලියනවා රූපලාවණ්‍ය හා සම රැක ගැනීම පිළිබඳව. ඒ වගේම මම නර්තනයටත් ආදරය කරන කෙනෙක්. ඉදිරියේදී නර්තනය පැත්තෙන් විශේෂ දෙයක් කරන්න අදහසක් තියෙනවා.

සේවා ස්ථානයෙන් මේ වැඩකටයුතුවලට මොන වගේ සහායක්ද ලැබුණේ?
මගේ රාජකාරි ස්ථානයේ සියලුම දෙනා මට ලොකු සහායක් දුන්නා. මගේ රසික රසිකාවියෝ  මගේ තොරතුරු බෙදාගෙන තිබුණ නිසා මම සෝෂල් මීඩියා ජයග්‍රහණයත් මට ලැබුණා. මාධ්‍යවේදී මහත්ම මහත්මීන් මට ගොඩක් උදව් කළා. එංගලන්තයේ පවත්වපු තරගයකින් පළවැනි තැන ලබාගැනීම මගේ රටම ලබපු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. සියලුම ශ්‍රී ලාංකිකයන්ට මම ස්තුති වෙනවා මට දීපු සහයෝගයට.

තිළිණි කරුණාරත්න
Untitled-17