මොනවද මේ දවස්වල අලුත්ම කලා තොරතුරු?
මේ දවස්වල නම් නීල පබළු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරමින් තිබෙනවා. ඒ වගේම දවෛනි ඉනිම ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව අහස් කියලා අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍යය ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න පුළුවන් වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යයක් වේවි. නීල පබළු සහ දවෛනි ඉනිම මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය.

මේ නාට්‍යවල ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
නීල පබළු සහ දවෛනි ඉනිම කියන ටෙලිනාට්‍ය දෙකටම ඉතාම  හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. හැබැයි එකකට එකක් වෙනස් විදිහේ ප්‍රතිචාර කිව්වොත් නිවැරදියි. මොකද මේ ටෙලිනාට්‍ය දෙකේ මම නිරූපණය කරන චරිත දෙක හාත්පසින්ම වෙනස් නිසා.

දවෛනි ඉනිම පටන් අරගත්තේ නීල පබළුවලට කලින් නිසා ඊට හොඳ ප්‍රතිචාර මුල ඉඳලම ලැබුණා. නීල පබළු චරිතය පටන් ගත්තේ ළඟදී. ඒ වුණාට ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම ගොඩක් බැණුම් අහනවා.

නීල පබළු හි දුෂ්ට චරිතයක් නිරූපණය කරන්නේ පළමු වතාවට ද?
මේ තරම් සැර පරුෂ චරිතයක් මීට කලින් කරලා නැහැ. ඒත් මම ආසයි විවිධ චරිත කරලා චරිතාංග නිළියක්  වෙන්න. ඉතින්  දවෛනි ඉනිමෙ හොඳ අම්මා වගේම නීල පබළු හි සැර අම්මාගේ චරිතය නිරූපණය කරනවා. නීල පබළු චරිතයත් මට දැනෙන විදිහට හොඳ අම්මා කෙනෙක්. මොකද තමන්ගේ දුවට ලැබෙන්න තියෙන අයිතිවාසිකම් ලබා දෙන්න තමයි ඇය සැර පරුෂ වෙන්නේ. නමුත් තමන්ගේ දරුවා ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී දුෂ්ට චරිතයක් තමයි නීල පබළු නාට්‍යයේ දිවෙන්නේ.

මේ ආපු ගමනේ හිතට දැනෙන වැඩිපුරම මතක හිටින චරිතය කුමක්ද?
මම ගොඩක්ම ආසාවෙන් කරපු මතක හිටිනම චරිතයක් තමයි ස්වර්ණ වාහිනියෙන් විකාශනය වූ හිම කඳුළු නාට්‍යය. එහි සඳමිණි කියන චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ඒ වගේම අද වෙනකන් මම කරපු චරිතවලට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණා. ඒ හැම එකක්ම මම ගොඩක් කැමැත්තෙන් කළේ.

දවෛනි ඉනිමේ අනූෂා කියන චරිතය තුළින් තමයි මම වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට ගියේ සහ මේ කාලයේදී මට වැඩිපුර ජනප්‍රියත්වයක් ලැබුණේ අනූෂා කියන චරිතය තුළින් කියලා මම හිතනවා.

දවෛනි ඉනිම ටෙලිනාට්‍යය ඉතාම  තරුණ පිරිසක් සමගයි වැඩ කරන්නේ. කොහොමද ලැබෙන සහයෝගය?
මම හිතන්නේ සාරංග මෙන්ඩිස් කියන්නේ ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ඉතාම නිහතමානියි. රංගන ශිල්පී ශිල්පිනියන්ට තමන්ගේ චරිතය නිරූපණය කරන්න, හැඩගස්වාගන්න ඔහුගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා.
ඒ වගේම නිෂ්පාදිකාවගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. අද කා‍ලේ විදිහට හැමදේම හරි විදිහට ලැබෙන ටෙලි නිෂ්පාදන ගොඩක් අඩුයි. නමුත් දවෛනි ඉනිම කියන්නේ අපි හැමෝම ඉතාම කැමැත්තෙන් සහභාගි වන ටෙලිනාට්‍යයක්.

දැන් අපි එක පවුලක් වගේ. මොකද දැන් අවුරුදු එකහමාරක් පුරා අපි දවෛනි ඉනිම රූගත කරනවා. හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් තමා ඒ රූගත කරන කාලය ගත කරන්නේ.

ඒ වගේම සමන් ඉදිරිමුණි මහතාගේ පිටපතේ ප්‍රබලත්වය නිසා තමයි අපිවත් මේ තරම් ප්‍රේක්ෂකයෝ අතරට ගිහිල්ලා තියෙන්නේ.

ටෙලිනාට්‍ය කලාවෙන් ඔබ්බට ගියොත් අනෙකුත් කලා කටයුතු මොනවගේද?
චිත්‍රපට  නම් ගොඩක් අඩුවෙන් තමයි මම කරලා තියෙන්නේ. ඉදිරියට එන්න තියෙනවා  නිහාල් ප්‍රනාන්දු මහතාගේ අලුත් ළමා චිත්‍රපටයක්. ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ නැහැ.

ජැක්සන් ඇන්තනී මහත්තයාගෙ ඇඩ්‍රස් නැහැ චිත්‍රපටයට දායක වෙන්න ලැබුණා. ආදරණීය  කතාවක් චිත්‍රපටයෙත් රඟපෑවා.

මේ හැම දෙයක්ම අතරේ පෞද්ගලික ජීවිතේ ගතවෙන්නේ කොහොමද?
මම ගොඩක් කාර්ය බහුල වෙන්න කැමති නැහැ. හැම ටෙලිනාට්‍යම භාර ගන්නවා වෙනුවට තෝරගත්ත හොඳ නාට්‍ය කිහිපයක් තමයි කරගෙන යන්නේ. එක වරකට උපරිම ටෙලිනාට්‍යයක් හෝ දෙකක් තමයි භාර ගන්නේ. එහෙම නොවුණොත් ඒ නිර්මාණයටත් මගේ චරිතයටත් නිසි පරිදි සාධාරණයක් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ.

මගේ පවුල් ජීවිතේ නිදහස මට ගොඩක් වටිනවා.  ඒකට තමයි පළමු ස්ථානය ලැබෙන්නේ.  ටෙලි නිර්මාණවලට දවෛනි ස්ථානය දීලා ලොකු කාර්ය බහුලත්වයක් නැතුව  කූල් එකේ ඉන්නවා.

නෙරංජලා වික්‍රමසිංහ

Untitled-15