වේදිකාව ඇගේ ජීවය ආදරය පිරුණු තැනයි. දී කිරි දී කිරි ගීතය සවන් වැකුණු සැණින් අපේ මතකයට නැගෙන්නේ අපූර්ව ලෙස ගායනයේ යෙදෙමින් නර්තනයක් ඉදිරිපත් කරන ඇයයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අනුලා බුලත්සිංහලයන් සමග සොඳුරු කතාබහකට මුල පිරුවේ ඇගේ තොරතුරු දැන ගන්නයි.

අලුත් තොරතුරු?
රංජිත් ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි චිත්‍රපයට රංගනයෙන් දායක වුණා. ඒ ඇරෙන්න නිර්මාණවලට දායක වුණේ නෑ අසනීප වුණ නිසා.

පුංචි තිරයේ නිතරම දකින්න නොලැබෙන්නේ රංගනයෙන් ඈත්වෙලා නිසාද?
ටෙලි නාට්‍යවලට නිතරම ආරාධනා ලැබෙනවා. නමුත් මම යන්නෙ නැහැ. වර්තමානයේ ටෙලි නාට්‍යවල රඟපානවා කියන්නේ කොන්ත්‍රාත් කම්කරුවෝ වගේ වැඩ කරන්න වෙනවා කියන එකයි. නිර්මාණවලට කිසි ප්‍රමිතියක් නැහැ. ඒ අතරින් හොඳ නිර්මාණත් බිහිවෙනවා. කලාව කියන්නේ සිත මනස සුවපත් කරන දෙයක්. නමුත් අද එවැනි සුවපත් කිරීමක් වෙන්නෙ නැහැ. ඒ වගේම කතා කරන නිර්මාණවලට පිටපතක් ලැබෙන්නෙත් නැහැ.

ක්ෂේත්‍රය ගැන කලකිරීමකින්ද ඔබ ඉන්නේ?
ඔව්. ලොකු කලකිරීමකින් ඉන්නේ. 1960 වර්ෂයේ ඉඳන් 1980 වර්ෂවලට මම ඉතාමත්ම කැමතියි. මොකද මම ක්ෂේත්‍රයට එන්නේ 1968 වර්ෂයේ ආර්.ආර්. සමරකෝන්ගේ ලෙඩෙක් නැති ලෙඩෙක් වේදිකා නාට්‍යයෙන්. ආර්. ආරුත් ඒ දිනවල ආධුනිකයෙක්. ඔහුත් මම සේවය කළ තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේමයි වැඩ කළේ.

අපි කලා පවුලක් පිහිටුවලා ඔහු නාට්‍යයක් කළා. මාව විශ්වාස කරලා ඔහු ඒ නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තා. ඊට පසුව බර්ටි ගලහිටියාව, හෙන්රි ජයසේන, ඩොක්ටර් සරච්චන්ද්‍ර, ප්‍රේම රංජිත් තිලකරත්න, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද, ලූෂන් බුලත්සිංහලයන් යන දැවැන්ත චරිත එක්ක වැඩ කරන්න ලැබුණා. වේදිකාවේ අපේ රටේ සුවිශේෂී කාන්තා චරිත හැම එකක්ම වගේ රඟපෑවා. නමුත් අද ඒ වගේ වේදිකා නාට්‍ය බිහිවෙන්නේ හරිම අඩුවෙන්. ආරාධනා ලැබෙන්නෙත් නැහැ.

නිර්මාණ තෝරා බේරා ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන්නේ තිරපිටපතද අධ්‍යක්ෂවරයාටද?
හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ පිටපතක් වෙන්න ඕන. අධ්‍යක්ෂවරයා හොඳවෙලා පිටපත සවුත්තු නම් එතැන හොඳ නිර්මාණයක් බිහිවෙන්නෙ නැහැ. ඒ නිසා ඒ දෙපැත්තම බලන්න වෙනවා. අද අපේ රටේ වෘත්තීමය කලාවක් නැහැ. වෘත්තීය කලාව තියෙන්නේ ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල. මේ කලාව රැකගන්න ඕන නම් මුලින්ම තමුන්ගෙ ආත්ම ගරුත්වය රැකගන්න ඕන කියලයි මම හිතන්නේ. මුලින්ම වැඩකට කතා කරල මගේ වටිනාකම කීවහම නිෂ්පාදකතුමා එක්ක කතා කරලා කියන්නම් කියනවා. ඊට පස්සේ කතා කරන්නෙ නැහැ. ඊට පස්සේ මට කතා කරපු නාට්‍යය රූපවාහිනියේ විකාශය වෙනවා. මම ඒ චරිතයට අවශ්‍ය නම් එතැනට කොහොමද වෙන කෙනෙක් යන්නේ. අද වෙන කෙනෙක්ගෙ තැන උදුරගෙන වැඩ කරන පිරිසක් ඉන්නවා. අද ගොඩක් දෙනෙක් එහෙමයි. මම කාගෙවත් පස්සෙ පාරෙන් ගිහින් මට නිර්මාණ ඉල්ලාගෙන නැහැ. එහෙම කරන්න මට ඕනකමක් නැහැ. මාව චරිතයකට අවශ්‍ය නම් මාව ගනීවි.

දී කිරි දී කිරි කියූ පමණින් මතකයට නැගෙන්නේ ඔබව. මිනිසුන්ගේ සිත්වල රැඳිච්ච ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතෙන්නේ?
රසිකයන්ගේ ආදරය, ගෞරවය හරිම පුදුමයි. කොතැනදි දැක්කත් කතා කරලා කියනවා අපේ ආයුෂත් අරගෙන ඉන්න ඕන කියලා. එහෙම ඔවුන් කියන්නේ අපි මතකයේ හිටින නිර්මාණ කරපු නිසයි. මට හොඳ චරිතවලට රංගනයෙන් දායක වෙන්න ලැබුණු නිසයි මේ තරම් ආදරයක් මිනිස්සුන්ගේ තියෙන්නේ. ඇත්තටම මට ඒ ගැන ලොකු තෘප්තියක් තියෙන්නේ.

ඔබ බොහොම අතලොස්සක් පමණයි නිර්මාණවලට දායක වෙලා තියෙන්නේ. ඒ නිර්මාණ තෝරා බේරා ගැනීමක් කළ නිසාද?
මට චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් ගෙදරින් යන්න අවසර දුන්නෙ නැහැ. ලූෂන් කැමති වුණේ නැහැ. එහෙම අවසර නොදුන්නා කියලා කනගාටුවකුත් නැහැ. මොකද තවම මාව මිනිස්සුන්ට මතකයි. ඒ මම නිර්මාණවලට සාධාරණය ඉටු කරපු නිසයි. ඒ අයට ලබාදීලා තියෙන සතුට මට හැමදාම ලැබෙනවා.

වසර කීයක් වෙනවද රංගන ක්ෂේත්‍රයට එකතුවෙලා?
1968 වර්ෂයේ තමයි වේදිකාවට එකතු වෙන්නේ. දැන් වසර පනහක් සම්පූර්ණ වෙලා තියෙනවා. මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්. ලක්නව් භාත් කණ්ඩ විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ඒ ශ්‍රේණියේ ඩිප්ලෝමාවක් තියෙනවා මට.

ආපස්සට හැරිල බලද්දි මොකද හිතෙන්නේ?
ආපස්සට හැරිලා බලද්දි විතරයි ඇත්තටම කලා ජීවිතය ගැන සතුටක් තියෙන්නේ. අද වන විට එහෙම නිර්මාණ බිහිවෙන්නෙත් නැහැ. ඒ නිසා අතීතය තමයි අපේ මතකයේ රැඳිලා තියෙන්නේ.

ඉඩ ලැබෙන හැම වෙලාවකම නිර්මාණ රසවිඳිනවාද?
නැහැ. ටෙලි නාට්‍ය හොඳම එකක් තිබුණොත් බලනවා. මියුසික් ඩාන්සින් වැඩසටහන් බලනවා. හැබැයි ලංකාවේ ‍නෙවෙයි.

ගෙදර තිබුණු ආභාසය නිසාද රංගනයට එකතු වෙන්නේ?
ඔව්. මගේ තාත්තා ටීටර් නළුවෙක්. ඔහු තමයි අපිට හොඳට සින්දු කියන්න පුරුදු කළේ. පවු‍ලේ පස්දෙනා බුදුන් වැඳලා ‍පොත්වල වැඩ කරලා ඉවර වුණාම අපේ තාත්තා අපිත් එක්ක සින්දු කියනවා. තාත්තගේ ආභාසය නිසයි අපිට හොඳට ගායනා කරන්න පුළුවන් වෙන්නේ. තාත්තා අපිව රූකඩ දර්ශන බලන්න එක්කන් යනවා. ගෙදර ඇවිත් මම අම්මගේ සාරි ඇඳලා ආපහු මම ඒ විදිහට රඟ දක්වලා පෙන්වනවා.

පාස‍ලේදි ඔබ නර්තනයට ගායනයට ලබාදුන් දායකත්වය මොන වගේද?
මම පාස‍ලේ සියලුම කලා වැඩවලට සම්බන්ධ වුණා. මගේ විෂය වුණේ උඩරට නැටුම්. පාසල් යන කා‍ලේදීමයි මට නර්තනයට ඩිප්ලෝමාව ලැබුණේ. මට ගාන්ධර්ව කරන්න බැරිවුණේ මට උසස් පෙළ ඉවර වුණු ගමන්ම රජයේ රැකියාවක් ලැබුණු නිසයි.

නිර්මාණකරණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
එහෙම හිතලා නැහැ මට. ඕනම දෙයක් මාත් අනෙක් අය වගේ කරන්න ඕන කියලා. මම හිතන්නේ නැහැ. මහත්තයා හරියට සින්දු ලිව්වා. ඉතින් මට සින්දු ලියන්න තිබ්බනේ. මම කවදාවත් එහෙම කරන්න ගියේ නැහැ. මට රඟපාන්න, නර්තනයට, ගායනයට දක්ෂකම තියෙන නිසා ඒ ක්ෂේත්‍රයන් විතරයි නියෝජනය කළේ. මම හිතන්නෙ රංගන ශිල්පිනියක් වෙනව නම් ඒ තුන් වැදෑරුම් ක්ෂේත්‍රයේ දක්ෂතා තියෙන්න ඕන කියලයි. මට ඒ තුනම ලැබිලා තියෙන්නේ වාසනාවටයි.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මට වේදිකාවේ ඉන්න දැවැන්තයෝ එක්ක වැඩ කරන්න ලැබුණා. අද නම් එහෙම සතුටක් නැහැ. ඒ කා‍ලේ හැමෝටම දක්ෂයෝ එක්ක වැඩ කරන්න ලැබුණ නිසා ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. අද වගේ ‍නෙවෙයි ඒ කා‍ලේ නළු නිළියෝ හරිම එකමුතුයි. වේදිකාවට ලොකු ගෞරවයක් ආදරයක් තිබුණා.

ලූෂන් බුලත්සිංහලයන් මුණගැහෙන්නෙත් ඔබ පෙම් බැඳි වේදිකාව නිසා නේද?
එයත් වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළා, රඟපෑවා. ප්‍රේම රංජිත් තිලකරත්න මහත්තයා කෝන්තරය කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයට මාව තෝරගෙන තිබුණා. එතැනදි තමයි ලූෂන්ව මුණගැහෙන්නේ. 1969 වර්ෂයේදී අපි දැන හඳුනා ගත්තට පස්සේ අපි 1970 වර්ෂයේ විවාහ වුණා.

දරුවන් කලාවට යොමුවෙන්නේ ගෙදරින් ලැබුණු ආභාෂය නිසාද?
අපි ඔවුන්ව බලෙන් ඇදගෙන ගියේ නැහැ. ඒ අය හොඳ අධ්‍යාපනයක් ලැබුවා. අපි කාටවත් ඔවුන් ගැන වර්ණනා කළේ නැහැ. අපේ දුව කේමදාස මාස්ටර්ගේ හොඳම ගෝලයා වුණේ. ඇය වියානාවල ඉන්න ඔපෙරා ගායිකාවක්. පුතාත් වේදිකා නාට්‍ය වැඩකටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා. ඔවුන්ට අපි කිව්වේ උඹලට ඕන නම් පලයල්ලා කියලා විතරයි. කාටවත් කියලා ඔවුන්ට අවස්ථාව ඉල්ලා දීලා නැහැ. එහෙම කිරීම අපට මදිකමක්.

දෙදෙනාම එකම ක්ෂේත්‍රයක නියැළීම නිසා පුද්ගලික ජීවිතය මගහැරුණේ නැද්ද?
අපි දෙන්නම රැකියාවක් කළා. කලා කටයුතුත් කළා. අපි දෙන්නම ගොඩක් මහන්සි වුණා. උදේ 8.30ට රාජකාරි ස්ථානයට ගිහින් වැඩ ඉවරවුණු ගමන් යනව. වේදිකා නාට්‍යවල පුහුණුවීම්වලට. ඒ වැඩ ඉවරවෙලා ගෙදර එද්දි රෑ 10.00-12.00 වුණා. මගේ බබාලා දෙන්නම බලාගත්තේ අම්මා වගේ මගේ නංගි. ඒ නිසා මට කිසි ගැටලුවක් ඇතිවුණේ නැහැ.

අදහසක් නැද්ද ඔබේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන්න?
එහෙම අදහසක් තිබුණත් කොහොමද අද එවැනි ප්‍රසංගයක් පවත්වන්නේ? අද ගායක ගායිකාවෝ විශාල ලෙස බිහිවෙලා ඉන්නවානේ. එවැනි ප්‍රසංගයක් කරන්න අද මුදල් අවශ්‍ය වෙනවා. අපට වියදම් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා කොහොමද එවැනි ප්‍රසංගයක් පවත්වන්නේ?

තිළිණි කරුණාරත්න

Untitled-11 Untitled-12 Untitled-13