මීට කලකට ඉහතදී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අපට නිරන්තරව මුණගැහෙන චරිතයක්. නමුත් දැන් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ රංගනයත් බොහෝ දුරට සීමාවෙලා. නමින් ඩී.බි. ගංගොඩතැන්න වන ඔහු ඔබට, මට වඩාත් සමීප ඒ අමතක නොවන ඔහුටම ආවේණික රංගනය හා රූපය හරහා. මෙවර රිවිසරසි අපි ඔහු වෙනුවෙන් ඉඩක් වෙන් කළේ ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙනුයි.

කොහොමද ඉතින් ඔබට?
මම දැන් ජීවිතේ සැඳෑ සමය ගෙවන නළුවෙක්. රංගනයත් තරමක් දුරට සීමාවෙලා කීවොත් හරි. ඒත් ඉඩක් ලැබුණම නිර්මාණවලටත් සම්බන්ධ වෙලා විවේකීව ජීවිතේ ගත කරනවා.

අලුතින් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණද?
මේ දිනවල බ්‍රිතාන්‍ය කණ්ඩායමක් එක්ක එකතුවෙලා කෙරෙන නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ඔබව දැන් නිරන්තරයෙන් ඇහැ නොගැටෙන්නේ ඇයි?
දැන් දැන් අපේ ටීවී චැනල් දේශීය දේට වඩා පිටරටට ආවඩන නිසාම පුංචි තිරයෙන් නම් මාව දකින්න ලැබෙන්නෙම නැති තරම්. සිනමා නිර්මාණවලට නම් සම්බන්ධ වෙනවා. ඒ වගේම දැන් මම 75 වැනි වියේ පසුවන කෙනෙක්. ඉතින් ඒ නිසා රංගන කටයුතු බොහෝදුරට සීමාවෙලයි තියෙන්නේ. වයස නිසාම වෙන්න ඇති ඉස්සර වගේ ආරාධනා ලැබෙනවත් අඩුයි දැන්.

ඔබ රංගනයට පිවිසෙන්නේ කොයි කාලෙද?
මම රංගනයට පිවිසෙන්නේ 1980 ගණන්වලදී. ඇල්ල ළඟ වලව්ව ටෙලි නිර්මාණය හරහා තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ.

කොහොමද ඔබට රඟපාන්න අවස්ථාව ලැබුණේ?
ධර්මසේන පතිරාජයන් කියන්නේ මගේ පාසල් මිත්‍රයෙක්. ඉතින් ඔහු මගේ උපන් ගම් ප්‍රදේශය වන මාවනැල්ල, කෑගල්ල මුල් කරගෙන තමයි ඇල්ල ළඟ වලව්ව නිර්මාණයේ රූගත කිරීම් සිදු කළේ. එහිදී ඔහු මට හාමුදුරුනමකගේ චරිතයක් රඟපාන්න ආරාධනා කළා. ඒ හරහා ආපු ගමන මේ වෙනකොට අධ්‍යක්ෂවරු 60ක් 70ක් වගේ පිරිසක් එක්ක දේශීය සහ විදේශීය නිර්මාණවල රඟපාලා තියෙනවා.

දැනට ඔබ නිර්මාණ කීයක විතර රඟපාලා තියෙනවාද?
සිනමා නිර්මාණ නම් ගණනින් 40ක් 50ක් අතර ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍ය නම් 200ක් 300ක් වගේ ප්‍රමාණයකට මම මගේ රංගනය ලබාදීලා තියෙනවා.

ඒ අතරින් ඔබ වඩාත් කැමති චරිතයක් එහෙම තියෙනවද?
වඩාත්ම කැමති මම මේ චරිතයට කියලා චරිත විශේෂ කරන්න මම කැමති නැහැ. මට ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණත්වයක් කළා කියලා මම සෑහීමකට පත්වෙනවා.

ඔබ පැවත එන්නේ කලා පවුලකින්ද?
ඇත්තටම නැහැ. මගේ පවු‍ලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මගේ පියා සේවය කළෙත් ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට. පවුල් පසුබිම මත ‍නෙවෙයි මම කලාවට ආවේ. මම දකින්නේ ඒක මගේ සහජ දක්ෂතාව හැටියට.

ඔබේ හැකියාවට ඇගයීම් ලැබිලා තියෙනවාද?
අපේ රටේ පවත්වන ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල්වලදි නම් ඇගයීම් ලැබිලා නැහැ. නමුත් විවිධ සාහිත්‍ය සංගම් සහ ප්‍රාදේශීය මට්ටමින් පවත්වන උළෙලවලදී සම්මාන ප්‍රදානයන් ලබලා තියෙනවා.

ඇයි ඔබේ දරුවෝ කලාවට සම්බන්ධ නොවුණේ?
මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දුවලා දෙන්නා නම් ලංකාවේ ඉන්නේ. නමුත් මේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ වුණේ නැහැ. කලාව තුළ සිද්ධ වෙන සමහර දේවල් දැක්ක නිසාම ඔවුන්ව කලාවට යොමු කරවන්න මමත් උත්සාහ ගත්තෙ නැහැ.

අද කලා ක්ෂේත්‍රය දකිනකොට ඔබට මොකද හිතෙන්නේ?
අද දකින්න තියෙන්නේ පාඩු ලබන කලාවක්. ටෙලි නාට්‍ය නම් තනිකරම පිටරටට ආවඩන තත්ත්වයකයි තියෙන්නේ. සිනමාවත් ඩීවීඩී තැටියකට එනකම් බලන් ඉන්න ප්‍රේක්ෂක සමූහයක් අද ඉන්නේ. ලාංකීය කලාවේ ඉදිරිය ගැන මට නම් පැහැදීමක් නැහැ. තියෙන්නේ කනගාටුවක් විතරයි.

රංගනයේදී ඔබ කැමති, ඔබ කුමන වර්ගයේ නළුවෙක් හැටියට හඳුන්වනවටද?
මම විවිධ චරිත රඟපාපු නළුවෙක්. ඒ වගේම ඉදිරියේදිත් කරන එකක් දෙකක් හෝ නිර්මාණ විවිධත්වයකින් යුක්තයි. හාස්‍ය උත්පාදක චරිතත් මම බොහොමයක් කරලා තියෙනවා. ඉතින් මම මේ ගණයේ නළුවෙක් කියලා ලඝු වෙන්න කැමති නැහැ.

ඔබ නව පරපුර එක්ක වැඩ කරන කෙනෙක්. ඔවුන්ගේ හැකියාව ගැන මොනවද කියන්න තියෙන්නේ?
නව පරපුරේ ඉන්න දරුවෝ හරි දක්ෂයි. නමුත් ඔවුන්ට ලැබෙන චරිත එක්ක හැමදාම ඔවුන් ආදර සබඳතා මතම හිරවෙලා වගේ මම දකින්නේ. ඔවුන්ගේ දක්ෂතා හරියට එළියට ගන්න එක අධ්‍යක්ෂවරුන්ගේ අනිවාර්ය වගකීමක්.

අද කා‍ලේ තරුණ පිරිස ප්‍රවීණ ඔබ වැනි අයට ගරු කරනවාද?
ඉස්සර අපිට හිටපු ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වගේ පිරිස්, ඒ වගේම මෑතක බිහිවුණු ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි පිරිස් දැන් දැන් අපට බලා‍පොරොත්තු වෙන්න අමාරුයි. දැන් ඉන්නේ ජංගම දුරකථනයකට කොටුවෙලා ඉන්න, කතා නොකරන සමාජ ක්‍රමයකට හුරු වෙච්ච පිරිසක්. ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න හෝ ප්‍රවීණයන්ගේ රංගනයන් දිහා බලලා දෙයක් ඉගෙන ගන්න යොමුවුණු පිරිස් ඇත්තටම අද නැති තරම්.

ජීවිතේ ඉදිරි සැලසුම් මොනවාද?
ජීවිතේ ගැන සැලසුම් කරලා බලා‍පොරොත්තු තියාගන්න පුළුවන් වයසක හෝ සෞඛ්‍ය තත්ත්වයක ‍නෙවෙයි දැන් මම ඉන්නේ. ලැබෙන නිර්මාණවලට විවේකීව සම්බන්ධ වෙලා වැඩ කරනවා. නමුත් ගොඩක් ඇඟ මහන්සි කරන නිර්මාණ නම් මම දැන් භාරගන්නේ නැහැ.

නඳුනි ආරියවංශ