ප්‍රියංගිකා කුමාරි යන නම ඔබට නුපුරුදු වුණත් අද අපි ඇය වෙනුවෙන් මේ ඉඩ වෙන් කරන්න හිතුවා. ඒ, මෙවර ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උළෙ‍ලේ ඇය අපේ රටට ලබා දුන් කීර්තිය නිසයි. එහි යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා. මේ ඇගේ තොරතුරුයි.
* ප්‍රියංගිකා ලබපු කීවෙනි ජයග්‍රහණයද මේ?
‍පොලිසියේ ‍පොලිස් වාර්තා එකොළහක් පිහිටුවලා තියෙනවා. එයින් යගුලිය විසි කිරීම ඉසව්වෙන් වාර්තා නවයක් තියෙන්නේ මගේ නමට. කවපෙත්ත විසි කිරීමෙන් වාර්තා තුනක් පිහිටුවලා තියෙනවා.

* මේ පළවෙනි අන්තර්ජාතික ජයග්‍රහණයද?
මේ යගුලිය විවෘත තරගාවලියේ ලබපු පළවෙනි ජයග්‍රහණය. මේ ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙල. මගේ ඉසව්වට රටවල් පහළොවක් සහභාගි වුණා. ඒ අතර වයස අවුරුදු හතළිහ හතළිස් හතර වයස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගන්න පුළුවන් වුණා.

* පාසල් යන කාලයේ ඉඳන්ම ඔබ මලල ක්‍රීඩාවලට සහභාගි වුණාද?
මිනුවන්දෙණිය කනිටු විද්‍යාලයේ තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. ඉන් අනතුරුව යක්කලමුල්‍ලේ ‍පොල්පාගොඩ ධර්මපාල විද්‍යාලයට ගියා. ඒ කා‍ලේ ඉඳන්ම යගුලිය, කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගි වුණා. තවමත් දකුණු පළාතේ යගුලිය, කවපෙත්ත පළවෙනි ස්ථානයේ ඉන්නවා. ජාතික මට්ටමේ දවෛනි තුන්වෙනියා වෙලා ඉන්නවා. මේ අවුරුද්දේ ‍පොලිස් ක්‍රීඩා උළෙ‍ලේ නව තරග වාර්තාවක් තිබ්බා.

* කොහොමද ඔබ ‍පොලිස් සේවයට එකතු වෙන්නෙ?
මම තරුණ සේවා සභාවේ මලල ක්‍රීඩා සංචිතයේ හිටියා. එතැනදී තමයි ‍පොලිසියට බැඳෙන්න අයැදුම් කරන්නේ. උප ‍පොලිස් සේවා මූලස්ථානයට මුලින්ම එන්නේ. මහියංගණ ‍පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීම් ලැබුවේ. ඒ අතරතුර ක්‍රීඩා උළෙ‍ලේ එහි වසර දහතුනක් පරණ වාර්තාවක් මම බිඳ හෙළනවා.

* රැකියා ස්ථානයෙන් ලබා දෙන්නේ මොන වගේ සහායක්ද?
මම දැන් අනුයුක්ත කරලා ඉන්නේ අගමැති ආරක්ෂක අංශයට ඔවුන් මට මගේ පුහුණුවීම් කරන්න උපරිම නිදහසක් දීලා තියෙන්නේ. ‍පොලිස් මලල ක්‍රීඩා කණ්ඩායමේ වසර තුනක් එක දිගටම මම තමයි නායිකාව ලෙස වැඩ කරන්නේ.

අගමැති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ‍පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතා, අධ්‍යක්ෂ අසංක කරලියද්ද මහතා, ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගුරුගේ මහතා, ධම්මික මහතා මට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ‍පොලිස් පරීක්ෂක හර්ෂ ප්‍රසාද් මම මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි.

* මේ ක්‍රීඩාවලට අමතරව වෙනත් ක්‍රීඩාවලටත් ඔබ දායකත්වය ලබා දෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. මම කබඩි, කරාටේ ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබලා තියෙනවා. සර්කල් කබඩි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ මම. නමුත් මෙවර තරගයට සහභාගි වෙන්න බැරි වෙනවා අපට වීසා ලැබුණේ නැති නිසා.

* මේ ජයග්‍රහණයත් එක්ක ඔබට ඇගයීමක් ලැබුණද?
මම මෙ ජයග්‍රහණය ලැබුණාම මගේ ආයතනයට විතරයි මේ බව දැනුම් දුන්නේ. මේ ගමනට යන්න ටිකට් එක ගන්න සල්ලි දුන්නේ අගමැති ආරක්ෂක කාර්යාලයෙන්.

* පුද්ගලික විස්තර මතක් කළොත්?
මට අම්මයි තාත්තයි අයියයි අක්කයි නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම විවාහකයි. මගේ සැමියා විදේශගත වෙලා ඉන්නේ.

* මොන වගේ සහායක්ද ඔහුගෙන් ලැබෙන්නෙ?
ඔහු තමයි මාව නිතරම දිරිගන්වන්නේ. ඔහු තමයි මගේ ජය පරාජයේ සතුට දුක බෙදා ගන්න ඉන්නේ.

* මොනවද ඉදිරි බලා‍පොරොත්තු?
2020 පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා තරගයේ රන් පදක්කම ලබා ගන්න තමයි මගේ එකම බලා‍පොරොත්තුව. මගේ වාර්තා අලුත් කරන්නත් අදහසක් තියෙනවා.

තිළිණි කරුණාරත්න

sd