හිතවතුන් “කරු” යන ආදරබර නමින් ඇමතූ කරුණාරත්න අබේසේකර ජීවිතයෙන් සමුගෙන පසුගිය අප්‍රේල් මාසයට වසර (35) තිස්පහක් සපි සපිරෙයි.

කරු අයියා ජීවිතයෙන් සමුගෙන ගියද අදටත් ඔහුගේ නිර්මාණ ඉතිරිව ඇති බව පසුගිය සිංහල අලුත් අවුරුදු දිනවල ගුවන් විදුලියට සවන් දුන් අසන්නන්ට ප්‍රත්‍යක්ෂ විය.

ඔහු ගීත රචකයකු පමණක් නොව කවියකු, කථිකයකු, නිවේදකයකු මෙන්ම සම්මානලාභී ගීත රචකයකු විය.
අද වැදගැම්මකට නැති, පුහු වදන්වලින යුත් ගී ඇසෙන විට කරු අයියා ගී සබැඳුම් කළ සමය අපේ මතකයට  නැඟෙන්නේ නිතැතින්ය.

1930 ජූනි 30 වනදා මාතර බඹරැන්දේ ‍පෝසතුගොඩ ගමේ ඉපදුන  ඔහුගේ නම කරුණාදාසය. කුඩා කාලයේ කොළඹ පදිංචිව සිට 1942 ජපනුන් කොළඹට බෝම්බ හෙළන  අවධියේ මාතරට ගිය ඔහු මාතර බඹරැන්දේ පාසලෙන් පාලි, සංස්කෘත භාෂාවන් ඉගෙන ගෙන ඇත. යළි කොළඹට පැමිණ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පුවත්පතකට කවි පෙළක් ලියූ අතර එය පළවිය. එය කියවූ  සිරිඅයියා, ඔහුගේ සහජ හැකියාව තේරුම් ගෙන ගුවන් විදුලි ළමා අංශයට  සම්බන්ධ කරගෙන ඇත.

අවුරුදු 21 දී තාවකාලික නිවේදකයකු වශයෙන් ගුවන් විදුලියට එක්වෙද්දී ඔහුගේ වැටුප දිනකට රුපියල් 7.50කි. ඒ කාලයේ එය විශාල වැටුපක් වූ නිසා  ආශාවෙන් නිවේදන කටයුතු කර ඇත.

කරු අයියා ගීත රචනා කරන අවධියේ ඔහුට එක්තරා අවදියක මුහුණ දෙන්නට වූ දුක්ඛදායක හැඟුම් සමුදායක් ගීයක් ලෙසින් තිලකසිරි ප්‍රනාන්දු නම් ගායකයා ලවා ගායනා කරවූ අයුරු කෙතරම් අපූරුදැයි සිතේ.

නිවසක් තුළ දැඩි නීති රීති මධ්‍යයේ සිරගතව මෙන් සිටි යුවතිය ඔහු ඇමැතුවේ එන්න මඳන‍ලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ…

ඔහුගේ කටහඬට වශීවුණ ඉරුණි හේරත් සමඟ 1959 නොවැ. 30 වනදා ඔහු විවාහ විය.
ප්‍රධාන පෙළේ මෙන්ම ආධුනික ගායක ගායිකාවන්ටද ගී ප්‍රබන්ධ කර දුන් ඔහු කාලයක් මිල්ටන් පෙරේරා සහ එච්.ආර්. ජෝතිපාල ජනප්‍රිය කරවීමට අනංගයා ගැන ගීත ප්‍රබන්ධ කර දුන්නේය.  වරද කාගේද චිත්‍රපටයෙන් චිත්‍රපට ගී ප්‍රබන්ධයට සම්බන්ධ වූ ඔහු අතින් චිත්‍රපට තුන්සිය ගණනකට පමණ ගී ලියැවී ඇත.

විදෙස් තනු අනුව ගී ලිවීමට ඔහුට සිදු වූ අවස්ථාවල වුවද සරල පදවැල් ගීිත සඳහා යොදාගෙන විජාතික බවින් මුදවා ගැනීමේ විශාල කාර්යභාරයකට උරදුන් බව අපට මතකය.

කරු අයියාට ඕනෑම ෙශෙලියක  ගී ලිවීමේ නිසඟ හැකියාවක් තිබිණ. ප්‍රේම ගීත, දුක් ගීත, විකට ගීත මෙන්ම බුදුගුණ ගීත ද ඒ අතර විය.

“මහ රෑ හමු වූ ස්ත්‍රිය” චිත්‍රපටයේ මොහිදීන් බෙග් ගැයූ “සරවන බව“ ගීතයට, “සිහින් සුරතල්” චිත්‍රපටයට  ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගැයූ “නිදහස් කාහල නාදය” ගීතයට සරසවි සම්මානය හිමි වූ අතර ස්වර්ණ සංඛ සම්මානය, ගුවන් විදුලි සඟරා සම්මානය, ස්වර්ණ පද්ම උපහාරය ආදී සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවේය.

පසුකාලෙක චිත්‍රපට දෙබස් රචකයකුද වූ කරු අයියා හිටිවන කවියෙක් ලෙස සිය හැකියාවන් පෙන්වූයේ “සවස” පුවත්පත සංවිධානය කළ හංවැල්ල සමත බැද්ද දිය කිඳුරි සංදර්ශනය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඇම්.ඇස්. ප්‍රනාන්දු ගායනා කළ “පුතෙක් උපන්නා” යන ගීතයේ “මගේ පුතුට දෙන්න ඇති-මට හුරු හොඳ මිනිස් ගතී යන්න ලියූ කරු අයියාගේ පුතු  දිලීස තුළින් අද ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටු වී තිබේ.

ඔස්කා මෙන්දිස්