ඉතිහාසයේ පළමු වතාවට, ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 170 ඉක්මවා යාමත් සමග මෙරට තුළ බඩු මිල ඉහළ යාම පාලනය කිරීමට නොහැකිවීමෙන් සාමාන්‍ය ජනතාවගේ දෛනික වියදමද ශීඝ‍්‍ර ලෙස ඉහළ යාමට පටන්ගෙන ඇත. මේ අනුව සීනි,  ඛනිජ තෙල් ඇතුළු ආනයනික භාණ්ඩ  රැුසක මිල තවදුරටත්  වැඩි වන අතර ඊට සාපේක්ෂව රටේ ආර්ථික උද්ධමනයද ඉහළ යාමේ අවදානමක් උද්ගතව ඇති බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

එසේම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, ඒකක  දෙකකින් අවප‍්‍රමාණය වූ පසුගිය සති අන්තයේ එක් දිනක් තුළ මෙරට විදෙස් ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 68 කින් පමණ ඉහළ යාමද විශේෂත්වයක් විය.

මේ පිළිබඳව පැහැදිලි කරමින් රිවිර ඉරිදා සංග‍්‍රහයට අදහස් දැක්වූ හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ පැවසීය.

”දැනට ශ‍්‍රී  ලංකාව විදේශ විනිමයෙන් ලබාගත් ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 34ක් පමණ වනවා. ඒ අනුව රුපියල ඩොලරයට සාපේක්ෂව එක් රුපියලකින් හෙවත් එක් ඒකකයකින්  අවප‍්‍රමාණය වන වාරයක් පාසා විදෙස් ණය ප‍්‍රමාණය රුපියල් ඩොලර් බිලියන 34කින් ඉහළ යනවා. පසුගිය සති අන්තයේ දිනෙක රුපියල ඩොලරයට සාපේක්ෂව ඒකක  දෙකකින් අවප‍්‍රමාණය වුණා. ඒ අනුව එදින තුළ පමණක් මෙරට විදෙස් ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 68කින් ඉහළ ගියා”

රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් පවතින බවට ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වන අතර ඒ හේතුවෙන්  ලොව පුරා  ආයෝජකයින් මෙරටට පැමිණීමේ අඩුවක්ද ඇති වනු ඇති බව කබ්රාල් මහතා සඳහන් කළේය.

එසේම මෙම තත්ත්වය හේතුවෙන් දැනට මෙරට ආයෝජන සිදුකර ඇති විදෙස් ව්‍යාපාරික ආයතනද රට හැර යාමේ අවදානමක් මතුවෙමින් ඇත.

රටේ මෙම ආර්ථික අර්බුද හමුවේ  කොටස් වෙළෙඳපොළද කඩාවැටීමද වළක්වාලිය නොහැකි වනු ඇති බව ශ‍්‍රී  ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අප කළ විමසීමකදී පැවසීය.
දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවදුරටත්  අවප‍්‍රමාණ වීමේ අවදානමක් ඇති බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය.

පැතුම් වික‍්‍රමරත්න