මෙරට දේශපාලනඥයින් ජනතාවගේ මුදලින් සුපිරි හෝටල්වලින් ආහාර අනුභව කරද්දී රටේ බහුතර පිරිසක් කුසට ආහාරයක් නොමැතිව දුක් විඳින්නේය. නියඟය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක දරු පවුලක් පසුගිය කාලයේ තුන් වේලටම ආහාරයට ගත්තේ කරවිල තම්බාගෙනය. දැන් වාර්තා වන්නේ ඒ හා සමානම කතාන්දරයකි. එය නම් තුන් වේලටම මුරුංගා කොළ තම්බාගෙන  කන යුවලක් සිටින ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයත්, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයත්  වෙන් වන මායිමේ පිහිටා තිබෙන ගම්මානයක් සම්බන්ධ කතා පුවතකි.

මාස ගණනාවකට පසුව රටේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇදහැළෙන්නට පටන්ගෙන ඇත. නමුත්,රජරට කලාපයේ බොහෝ ප්‍රදේශ තවමත් දිස්වන්නේ වියළි කතරක් සේය. ගස් වැල් සියල්ලම කේඩෑරී වී ගොස්ය. ජලය ‍පොදක් සොයා ගත නොහැකි තරමටම වැව් සිඳී ගොස් ඇත. ගලෙන්බිඳුණුවැවත් කහටගස්දිගිලියත් අතර ප්‍රදේශයක පිහිටා ඇති වෙලංවැව, ඉලුක් වැව ආදී ගම්මානවල ජනතාවද නියඟයට හසු වූ ගස් වැල් තරමටම කේඩෑරි වී ගොස් ඇත. වසර තුනක කාලයක් වැසි ‍පොදක් නොලැබිම නිසා වෙලංවැව ගම්මානයේ ඇතැම් පදිංචිකරුවන්ට තුන් වේලටම ආහාරයට ගැනීමට සිදුවී ඇත්තේ තම්බා ගත් මුරුංගා කොළය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන ලද දත්තයන්ට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 12371 ක පුද්ගලයින් 40391 දෙනකු නියඟයෙන් පීඩා විඳිති. රටේම ගත් කල නියඟය නිසා පවුල් 44374 ක පුද්ගලයින් 215046 ක් නියඟයෙන් පීඩා විඳිති.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් වෙලංවැව ගම්මානයේ ජනතාවද වගා කන්න කීපයක්ම නියඟයෙන් විනාශ වීම නිසා පීඩා විඳිති. මෙම ගම්මානයේ පදිංචිව සිටින තිලකාවතී ජීවත් වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදය.  අනුරාධපුර ජේතවනාරාම විහාරයේ නායක හිමියන් පසුගියදා ගලෙන්බිඳුණුවැව සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස අතර වූ මායිම් ගම්මානවලට ගියේ නියඟයෙන් පීඩා විඳින ඔවුනට ආධාර ලබා දීමටය.

මෙම අවස්ථාවට පැමිණ සිටි කාන්තාවක් මාධ්‍යවේදීන් සමඟ කියා සිටියේ ආර්ථික දුෂ්කරතා නිසා තමන්ටත්, සැමියාටත් සිදුවී ඇත්තේ මුරුංගා කොළ තම්බාගෙන කන්නට බවය.

ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකි. මේ යුවලට එක්  පුතෙකු සිටින අතර ඔහුද මත්පැන් පානයට තදින් ඇබ්බැහි වී සිටින අයෙකි. ආර්ථික දුෂ්කරතාව නිසා තමන්ට තුන් වේලටම මුරුංගා කොළ තම්බාගෙන කන්නට සිදුවී ඇතැයි ඇය පවසන්නීය. වගා කටයුත්තක්වත් සිදු කිරීමට ඔවුනට ආර්ථික ශක්තියක් නැත. මේ නිසා ඔවුන් යන්තම් පණ නල ගැට ගසා ගන්නේ මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගැනීමෙනි. සහල් ටිකක් ලැබුණු පසු බත් සමග තිබෙන එකම ව්‍යාංජනය වන්නේද මුරුංගා කොළය.

ඇයගේ  සැමියා වකුගඩු රෝගයෙන් පෙළීම නිසා රජයෙන් දීමනාවක් ලබා දුන්නද එය ඔවුන් දෙදෙනාට ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. ඒ නිසා මුරුංගා කොළ තම්බාගෙන කන බව ඇය පවසන්නීය.

මේ සම්බන්ධව කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ‍ලේකම්වරියගෙන් අපි විමසීමක් කළෙමු.

ඔය ගම්මාන අපේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයත්, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයත් වෙන් වන ගම්මාන. අපේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් පහළ කුඩාපට්ටිය නමැති ග්‍රාම නිලධාරි වසමේත් තිලකාවතී නමැති කාන්තාවක් පදිංචිව සිටිනවා. සමහර විට මේ කාන්තාවද දන්නෙත් නෑ ඔය ප්‍රකාශ කරන්නේ. නමුත් ඇයට ඔය කියන තත්ත්වයක් නෑ. මොකද අපි ඇයට වියළි සහනාධාර ලබාදී තිබෙනවා. මේ ප්‍රදේශ වලට ජලය බෙදාහැරීමත් සිදුකරනවා. නමුත් මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් ග්‍රාම නිලධාරි, ආපදා කළමනාකරණ නිලධාරි හරහා අපට තොරතුරු ලැබෙනවා. මේ වගේ මුරුංගා කොළ තම්බලා කන සිද්ධියක් අපේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙන් නම් වාර්තා වෙලා නෑ. ඇය කියා සිටියාය.

සහකාර ප්‍රාදේශීය ‍ලේකම්වරිය එසේ කීවද එහි සැබෑ කතාව කුමක්දැයි අපි සොයා බැලුවෙමු. එම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරියකු කියා සිටියේ තිලකාවතී නමැති කාන්තාව වෙලංවැව නමැති ගම්මානයේ පදිංචිකාරිනියක බවය. ඇය ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අතර ඇයට වියළි ආහාර ලබා දෙන බවත්, සැමියාට මාස්පතා වකුගඩු රෝගයට දීමනාවක්ද ලබාදෙන බවත්ය.  හැබැයි ඔය කියන තරම් ආර්ථික දුෂ්කරතාවක් නම් ඔවුන්ට නෑ.  එම නිලධාරියා පැවසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයම නියං රකුසා බිලිගෙන හමාරය. කහටගස්දිගිලිය, හොරොව්‍පොතාන, ගලෙන්බිඳුනුවැව ආදී ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවල දුෂ්කර ගම්මානවල පදිංචි ගැමි ජනතාවගේ තත්ත්වයද මෙයමය. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ගම්මානවල ජනතාව කොතරම් ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටියද වගකිවයුතු රජයේ නිලධාරීන් උත්සාහ කරන්නේ ඇත්ත වසන් කර සිය පුටුව බේරාගැනීමට ලොක්කන්ට කත් ඇදීමටය.

සාලියකුමාර ගුණසේකර
ksaliya@gmail.com