වර්තමානයේ මෙරට ජන සමාජයට බලපා තිබෙන  උද්ධමනය, ඩොලරයේ ඉහළ පහළ යෑම, භාණ්ඩ මිල  ඇතුළු ආර්ථික අර්බුදයන් සාමන්‍ය ජන ජීවිතයට තදින් බලපෑම් කරමින් තිබේ. එම අර්බුදය පිටුපස ඇති ගැටලූ සහ  අනාගත ආර්ථික සැලැස්ම කෙසේ සකස්විය යුතුද යන්න අර්ථශාස්ත‍්‍රීය ඇසකින් විග‍්‍රහ කර ගැනීමට පසුගියදා අපි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාව සම්බන්ධ කර ගතිමු. මේ ඔහුගේ විග‍්‍රහයයි.

මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ආර්ථික අර්බුදය පිටුපස අපිට නොපෙනෙන අර්බුද ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප‍්‍රධානම අර්බුදයක්  වෙන්නේ ගෙවුම්ශේෂ අර්බුදය.  ගෙවුම්ශේෂ අර්බුදය යන්නේ අදහස  ආනයන සහ අපනයන අතර තිබෙන වෙනස. ගෙවුම් ශේෂ අර්බුදයට අපේ රජයන් විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ අපනයන වැඩි කිරීමෙන්. අපේ රටේ අපනයනයන්ට වඩා ඉහළින් තියෙන්නේ ආනයනයන්.
ආනයන වැඩි වෙද්දී ඒ පරතරය පියවගන්න විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයගන්න අපිට සිදුවෙලා තියෙනවා.

අපේක්ෂිත මට්ටමට විදේශ විනිමය සොයන්න බැරි වුණාම ගැටලූ මතු වෙනවා. මේ රටට වැඩියෙන්ම විදේශ විනිමය උපයා දෙන්නේ සංචාරක කර්මාන්තය. ඒ හැරුණාම මේ රටේ බහුතරයක් කාන්තාවන් ඇතුළු ශ‍්‍රමිකයින් මැදපෙරදිග රටවලට ගිහින් මේ රටට එවන මුදලින්. ඉන්පසුව තමයි තේ රබර් ඇතුළු අපනයන භෝගවලින් අපි යම් ආදායමක් උපයන්නේ.  න්‍යායිකව බැලූවොත්  ගෙවුම් ශේෂ අර්බුදය විසඳන්න තියෙන්නේ විසඳුම් දෙකයි. මුලින්ම ආනයන පාලනය කළ යුතුයි. ඉන්පසු අපනයන වර්ධනය කළ යුතුයි. ඒ දෙකම සමබරව කළ හැකිනම් එය රටට හිතකරයි.

නමුත් ප‍්‍රායෝගිකව බැලූවොත් සිද්ධ වෙන්නේ මේක නෙමෙයි. අපනයන වර්ධනය කරන්න හැකි වුණත් ආනයන පාලනය කිරීම තියෙන්නේ මිලදී ගන්නන්ගේ අතේ. මිලදී ගන්න පිරිස මේ රටේ දේවල්වලට වඩා ලෝකෙම තියෙන දේවල් මිලට ගන්න පොර කනවා නම් මේ රටේ නිෂ්පාදනයට තැනක් නැති වීම සිද්ධ වෙනවා. මේ මොහොතේ රටේ වෙමින් පවතින්නේ ඒ දේ. මේ කියන අර්බුදයට පැලැස්තර දාන්න අපේ ආණ්ඩු කරන්නේ ලෝකෙම තියෙන රටවල් එක්ක වෙළඳ ගිවිසුම්වලට යනවා. ගිවිසුම් ගහපු පමණින් අනිත් රටවල් අපේ දේවල් මිලදී ගන්නේ නෑ. ලෝකේ අඩුවට ලැබෙන්නේ කොහෙන්ද ඒ රටවල් අඩු තැනින් මිලදී ගන්නවා. අනිත් කාරණාව චීනය වගේ මහා වෙළඳපොළක් තියෙන රටවල් එක්ක හැප්පිලා අපනයන ආර්ථිකයක් ගොඩ දාගන්න එක ප‍්‍රයෝගිකව බැලූවොත් හීනයක්. අපි සාපේක්ෂ වාසිය කියන න්‍යායික මිථ්‍යාව පිටුපස ඉඳගෙන අපිට කළ හැකි දේ අමතක කරලා තියෙනවා.

මේ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන හොඳම ක‍්‍රමවේදය තමයි ආනයන පාලනය කිරීම. අපේ රටට අවශ්‍ය නැති, මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් පිටින් අරන් එන්න  ඕනෑ නැති කිසි දෙයක් මේ රටට අරගෙන එන්න අවශ්‍ය නෑ කියන ප‍්‍රතිපත්තියක ඉන්නවා නම් මේ අර්බුදයෙන් අපිට අනාගතයේදී ගොඩ එන්න පුළුවන්. නමුත් ඒ දේ ප‍්‍රායෝගිකව කරන්න මේ පත්වෙන කිසිම ආණ්ඩුවක් පියවර ගන්නේ නෑ. අවසන් වතාවට මේ දේ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති වී ඉඳපු රජය සමයේ පමණයි. ඒ වකවානුවේ මේ ප‍්‍රතිපත්තිය ඉතා හොඳින් පවත්වාගෙන ගියා. නමුත් එතනින් පස්සේ පත්වූ කිසිම ආණ්ඩුවක් එවැනි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළේ නෑ.

අද මේ රටට වෙසක් කූඩුවත් අරන් එන්නේ පිටරටින්. සරුංගලය පවා අරන් එන්නේ පිට රටින්. එතකොට කෙනෙක් කියයි පිටරටින් සරුංගල් ගෙනාවොත් සංචාරක ආකර්ෂණය දිනාගන්න සරුංගල් සංදර්ශන පවත්වන්න පුළුවන් කියලා.

අන්තිමේදී ආණ්ඩු අපිට සරුංගල් සංදර්ශන අස්සේ තෙල් අර්බුද සංදර්ශන, උද්දමන සංදර්ශන, ඩොලර් සංදර්ශන පෙන්නනවා. ලාබාල වයසේ දරුවෙක් වුණත් මුලින්ම සරුංගලයක් වගේ හරි සරල දෙයක් හදලා තමයි යමක් නිපදවන විදිහ ප‍්‍රයෝගිකව තේරුම් ගන්නේ. හුළං අල්ලන විදිහ, උඩ යන හැටි වැරදි වැරදි හරි දරුවෝ ඉගෙන ගන්නවා.

සරුංගලය වගේ ඉතාම සරල දේ පවා අද පිටරටින් ගෙන්වන්න දීලා ළමා පරම්පරාව පවා යමක් නිපදවන්න අත තියන තැනම විනාශ කරලා දාලා තියෙනවා. ඉස්සර මේ රටේ සෙල්ලම් බඩු නිෂ්පාදනය වුණා. අද වෙද්දී සෙල්ලම් බඩු කන්ටේනර ගණනින් චීනයෙන් ගේනවා. සරලම දෙයක්වත් නිෂ්පාදනය කරගන්නේ නැති තැනකට පත්වෙලා රට.

මේ රටට එළවළු පිටරටින් ගේන්න  ඕනද ? පලතුරු පිටරටින් ගේන්න  ඕනද ? රට වටේම මුහුදක් තියෙද්දී මාළු ටික පිටරටින් ගේන්න  ඕනද ? මේ රටේ සල්ලි පිටරටට යන්න නොදී රටේ සල්ලි රටේම ඉතිරිවෙන්න සැලැස්මක් සකස් නොකර අතීසාරෙට අමුඬේ ගහලා හරියන්නේ නෑ. මුලින්ම අතීසාරේ හොඳ කරගෙන ඉන්න  ඕන. ලෙඬේ හොඳ කරගන්න නම් ආනයන පාලනය කරන්න දැන්වත් සැලැස්මක් හදාගන්න  ඕන. ඒ වුණාට මේවට දෙන්නේ  වෙන වෙන උත්තර. තව තව ලිබරලයිස් කරලා වෙළෙඳ ගිවිසුම් ගහලා නිදහස වැඩි කළාම වෙන්නේ අතිසාරේ වැඩි වීම විතරයි. අද වෙද්දී මේ රටට ආර්ථික තීන්දුවක් ගන්න තියෙන නිදහස නැති වෙලා. අනාගත පරම්පරාවටවත් නිදහසේ රටේ ආර්ථිකය ගැන තීන්දුවක් ගන්න බැරි තැනකට පත් වෙලා. අද වෙද්දී වෙළෙඳ ගිවිසුම් කියන්නේ ගොඩ එන්න බැරි උගුලක් බවට පත් කරලා. මොකද අපි ඒ ගිවිසුම්වලට බැඳෙන්නේ ජාත්‍යන්තර නීතිය එක්ක. ඉතිං මේක ගොඩ එන්න බැරි උගුලක් වෙලා.

තවත් පැත්තකින් රජය දන්නේ නෑ අයවැය පාලනය කරගන්න. මේ රටට ඔරොත්තු දෙන්නේ නැති ව්‍යුහයක් හදාගෙන ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225යි. පළාත් සභා මන්ත‍්‍රීවරු දහස් ගාණක් ඉන්නවා. පළාත් පාලන ආයතනවල පිරිස මේ සැරේ දෙගුණයක් වුණා. මේ ඔක්කොගෙම නඩත්තුව කරගෙන යන්නේ මේ රටේ භාණ්ඩාගාරයට ලැබෙන මුදලින්. මේ රටේ මහජන මුදලින් තමයි මේ සියල්ල නඩත්තු වෙන්නේ. මේ රටට ජනාධිපති, පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන පමණක් තිබුණාම ඇති. පළාත් සභා වැනි සුදු අලියෙක් තියාගෙන මේ රටේ ආර්ථිකයට කරන්නේ මහා විපතක්. රජයේ වියදම් පාලනය කරන බලධාරියෝ වියදම් පාලනය කරන්න හදන්නේ  ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන්න තියෙන මේ සංවර්ධන ව්‍යාපෘති කප්පාදු කරලා.

මේ රටේ සල්ලි පිටරට ගලාගෙන යන තාක් මේ රටේ මිනිස්සුන්ට සල්ලි නැති වෙනවා. රටේ සල්ලි රටේම ඉතුරුවෙන්න ක‍්‍රමවේදයක් හදාගන්න තාක් මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන්නේ නෑ. අපේ රටේ මිනිස්සු කන්න වියදම් කරන ගාණ වුණත් ලැබෙන්නේ මේ රටේ මනුස්සයෙක්ට නෙමෙයි. එහෙම නොවෙන තාක් මිනිස්සු ජීවත් වෙන්නේ ආර්ථික අඟහිඟකම් එක්ක. රටේ ආර්ථිකය රටටම පොහොර නොවෙන තාක් අපි මේ කියන අර්බුදයේ අපි ජීවත්  වෙනවා. අද මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට සහාය දෙන්න  ඕන පිරිස කකුල් දෙක උඩ තියාගෙන ත‍්‍රීවිල් එකක් එළවගෙන ඉන්නවා. රවුම් හතරක් පහක් ගියාම දවසේ ජීවත් වෙන්න හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. වෙන රස්සාවක් කළාට ජීවත් වෙන්න පුළුවන් විදිහේ වැටුපක් නොලැබෙන නිසා මිනිස්සු ඒ දේවල් ලේසියට කරන්න පුරුදු වෙලා. අද වෙද්දී කුලී වැඩක් කරන මිනිස්සුත් ඉන්දියාව වගේ රටවලින් එන තත්ත්වයට රට පත්වෙලා.

අද වෙද්දී ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහළ යාමත් ගැටලූවක් වෙලා තියෙනවා. නමුත් මගේ මතය වෙන්නේ ඩොලරයේ ඉහළ පහළ යෑම කෘතීමව පාලනය නොකළ යුතුයි යන්නයි. හෘදය වස්තුවේ පීඩනය වැඩි වෙලා නහරයක් පිපිරුවොත්  ඒක පාලනය කරන්න ක‍්‍රම දෙකක් තියෙනවා. එක්කෝ හදවතේ පීඩනය නවත්වන්න  ඕන නැත්නම් නහරය ශක්තිමත් කළ යුතුයි.  ඕකට ප්ලාස්ටික් නහරයක් දැම්මත් පීඩනය වැඩි වෙද්දී නහරය පුපුරනවා. ඩොලරය කෘතිමව පාලනය කරන්න ගියත් වෙන්නේ අන්න ඒ වගේ වැඩක්. මේ ආර්ථික තත්ත්වය අනුව ඩොලරයේ මිල ඉහළ යෑම සාමාන්‍යයි. මේක නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ ආනයන හා අපනයන අතර තියෙන පරතරය පාලනය කිරීමෙන් විතරයි. එසේ නොකර ඩොලරයට දොස් කිය කියා ඉඳීම පලක් නැති දෙයක්.

අයේෂ් ලියනගේ