වැව් බැඳි රටේ එ ගම්වැස්සෝ අති මහත් වූ වින්නැහියකට මුහුණ පා සිටිති. මහා භීතියකට මූණ පා සිටිති. ගෙවෙන හැම දවස් විසි එකකට වරක්ම මෙගම් දනව්වේ නිවසකට හිත්පිත් නැතිව කඩා පනින මාරයා හැත්තෑ වියේ පමණ හෝ ඒ වයස ඉක්ම වූ හෝ කිසිවකු ඩැහැගෙන උගේ මාර භවනට රිංගන්නේ කිසිවකුට කිසිවක් හිතාමතා ගන්නට ඉඩ කඩක් නො තබමිනි. අවුරුද්දක තරම් කාලෙක පටන් මේ අහිංසක මිනිසුන්ගේ ගමට මෙහෙම කඩා පාත්වෙන මාරයා මේ වන විට එගම්වැසි එහි වසනා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පහළොස් දෙනකු ඩැගැගෙන ඇත්තේ මන්දැ යි ඔවුන් දන්නේ නැත. මරුවා කරන මේ කුප්පිදුකම හින්දා වැව් බැඳි රටේ ඒ අහිංසක ගැමියෝ බියෙන් සැකෙන් පිරුණු හදවත්වලින් ගෙවෙන හැම මොහොතකම පසුවෙති. එක් පැත්තකින් නියං රකුසා ඒ ගම් දනව්වට කඩා වැදී කරන වින්නැහිය ඉවසාගත නොහැකිව දුකෙන් වේදනාවෙන් කලදවස ගෙවනා මොවුන්ට මෙවන් අවාසනාවත්ත වින්නැහියකට මුහුණ පෑමට සිද්ධවෙලා තියෙන්නේ කවර හේතුවක් නිසාද? ඒ ගැන දන්නේ උඩ ඉන්න දෙවියන් විතරක්මය. නියංසායෙන් බැට කමින් වසර තුනක් පුරාවට අන්ත අසරණ අඩියකට වැටී දුකෙන් වේදනාවෙන් සාපිපාසයෙන් සාගින්නෙන් පරිපීඩිත මේ මිනිසුන්ගේ වයෝවෘද්ධයන් කිසිදු රෝග පීඩාවකට නොගොදුරුවම මෙසේ මරු වසඟයට පත්වන්නේ කිනම් කරුණක්, හේතුවක්, වරදක් නිසා ද යන්න හොයා බලන්නට කෙනකු ඒ හතර පස් ගව්වේම නැතිසේය. නියං රකුසා දත් විලිස්සා ගෙන මේ වැව් බැ`දි රාජ්ජෙට කඩා වැදී ඔවුන්ගේ පහස නිවාගන්නට ඇති වැව් අමුණුවල දිය පොදක් ඉතිරි නොකොට ඩැහැගෙන හමාරය. ඔවුන් සාගින්දරෙන් ද සා පිපාසාවෙන් ද පීඩිතව වකුටු වී ඉඳිද්දී ඒ ගමට කඩා වදින මාරයා ගමේ වෘද්ධයන් එක්කෙනා බැගින් මරු වසඟයට ගන්නේ පීඩිතව පවතින ඒ අසරණයන්ගේ සිත් සතන්වලට තව තවත් බිය රිංගවමිනි. ඒ ගම් දනව්වේ වෘද්ධතරයන් ගේ හදවත් මර බියෙන් පුරවා ඇත්තේ පෙර කළ අකුසලක් නිසා දෝ හෝ යි කියන්නට කිසිවකුටත් හැකියාවක් නැත්තේය.

දවස් විසිඑකක් ගෙවී විට උදාවන හැම දවසකම, හැම පැයකම,  හැම මොහොතකම ඒ ගම්වැස්සන්ට මේ මර බිය දැනෙන්නේ ඊළඟ මොහොතේ තමන්ගේ ගම් පියසේ  මෙතෙක් කල් තමන් හා සුහදව දිවි ගෙවූ කවුරුන් හෝ කඩා වැදී මරුවා ඩැහැගනීවිදෝ යන අනියත බියෙනි.

වැව් බැඳි රාජ්‍යයේ ඔවුන් මත පතිත වී ඇත්තේ එක වින්නැහියක් නොවේ. හිරු දෙවියන් ඔවුනට අකාරුණික වී ගම් බිම් මෙන් ම ගොවිතැන් බතින් පොහොනා කෙත්වතු  සිය ගණනක් දවා අළු කරන්නට තරම් නරුම හිතක් පපුවක් ඇති කර ගත්තේ මක්නිසා දැ යි දන්නේ උඩ ඉන්න දෙයියන්ම විතරකි. නියං සායෙන් වැව් අමුණු සින්දා දිය බිඳක්වත් වැව් පතුළක ඉතිරි කරන්නට තරම්වත් ඔවුන් කෙරෙහි අනුකම්පාවක් නැතිව නැගෙනහිරින් මතු වූ තැන් පටන් ම සියල්ල පුළුස්සා දමන්නට ඉරු දෙයියන් කුරිරුකම් පාන්නේ මන්දැ යි හිතන්නට මතන්නට ඔවුන්ට ඉඩ හසරක් ඇත්තේම නැත.

නියඟයෙන් බැට කන රටට බත බුලත සැපයූ ඔවුන් කිසි දිනෙක කිසිවකුට අත නොපා පරම්පරාවෙන් පරම්පරාවට දිවි ගෙව්වේ බොහොම ගරුගාම්භීර තේජසින් යුත් හෙළයේ සැබෑ හෙළ පුතුන් හෙළයේ හෙළ දියණියන්  හැටියටය.

දැන් ඉතින් මේ ගම් දනව්වලට නියං රකුසාත් ඌ හා අත්වැල් අල්ලා ගත්ත මාර දිව්‍ය පුත්තරයාත් බැලූම් පා සිටින්නේ මේ මිනිසුන් කළ කිනම් වරදකටද? ඒ  නිසි කලට නිසි අන්දමට ඔවුන් ගෙන් ගම්බාර දෙයියන්ට කළ යුතු පුද සත්කාර නොකිරීමේ වරදටද?

අවුරුද්දක විතර කාලෙක පටන් හැම සුමාන තුනකට වරක්ම ගමේ කවුරුන් හරි වැඩිහිටියෙක් මියැදෙනවා කිසිම ලෙඩක් දුකක් නැතිව. හැබැයි කිසිම කෙනෙක් මේ ගැන ඇහැක් කනක් ඇරලා මෙච්චර දවසකට බැලූවෙ නෑ.
ආදියේ පටන් මේ වගේ උවදුරක් වින්නැහියක් ගමට කඩා පාත් වුණාම ගම් තුලානේ කොයි කවුරුත් එකතු පාදුවෙලා ගම්බාර දෙයියන්ට දේව කන්නලව්වක් කරනවා. ඒකවත් අපට අවුරුදු දෙකකින් විතර කරන්න පුළුවන් වුණේ නෑ… ඇත්තටම ඒ හින්දද අපේ ගමේ වැඩිහිටියන් මෙහෙම මියැදෙන්නෙ. ගම්බාර දෙයියන්ට දේව කන්නලව්ව කරන්න සාන්ති කර්ම කර ගමට රටට අපට සාන්තියක් ලඟා කරන්න කැපවෙච්චි උදවිය තමා පහුගිය කාලෙ හදිසියේ ම කිසිම ලෙඩක් දුකක් නොහැදි උන්නු ගමන් ගස් ගල් පොළොවට කඩා වැටෙනවා වගේ මියැදුනේ…. අනේ දෙයියනේ… අනේ ගම්බාර දෙයියනේ… අනේ සීවරන් දෙයියනේ…….

සුසුම්ලමින් ගම්මුන් කියන්නේ එහෙමය.
හිඳී ඇති වැවට බැස පූ වළක් හාරා ගෙන හෝ දිය බිඳක් ඇෙඟ් පතේ උලා ගන්නට යන ගම්මුන්ට ගෙදරට දොරට එන පාර වළකාලන්නේ මං මුළා කරන්නේ කිනම් බලවේගයක් විසින්ද? මොවුන්ට විසඳා ගත නොහැකි තවත් එක් ප‍්‍රශ්නයකි ඒ, ඒ ඔවුන් මුහුණ පා සිටින ප‍්‍රශ්න කන්දරාවට එක් වී ඇති අලූත්ම අලූත් එකය. දේව කෝපයකින් ගම්මුන් හිටි හැටියේ හරියට ම දින විසිඑකෙන් විසි එකට ගමට රටට අහිමි වෙන්නේද?  නො එසේත් නම් කිසියම් යක්ෂ දිෂ්ටියක් ඔවුන් ගේ ගම් තුලානට වැටී ඇත්ද? එහෙමත් නැත්තං කිසියම් අමනුෂ්‍ය පේ‍්‍රත හෝ භූත හෝ බලපෑමකින් ගම්වැසි වෘද්ධ මිනිසුන් මිය පරලොව යන්නේද? මේ ඔවුන් අතර තිබෙන විසඳා ගන්නට ඇති බරපතළම ගැටලූව යි.

හැම කෙනකුම පසුවන්නේ අනේ අපොයි කිය කියාය. හත් දෙයියනේ මේ මොන විපත්තියක් ද ඔවුන් ඔවුන්ගෙන් නිබඳවම අසනා ප‍්‍රශ්නයයි. කවුරුන් කොහොම මොනවා කීවත් නුවර කලාවියේ වැව් බැඳි රාජ්ජෙ පලූගස්වැව ප‍්‍රාදේශීය ලේකම් වසමේ හල්මිල්ලවැව, නාමල්පුර, මහරඹෑව, මෛත‍්‍රීගම ආදි ගම්බිම් වසා පැතිරැුති නියං සායෙන් බැට කන ගොවි පවුල් සිය ගණනකට අද අත් වී ඇති ඛේදනීය තත්ත්වය තවත් කොතෙක් කලක් ඔවුන් ඉවසා විඳ දරා ගන්නද?
ගහ කොළ වියැළී මැළවී හේබෑ වී ඇත්තේය. වැව් අමුණු, සියල්ල සිඳී ඇත්තේය.ඇළ දොළ ගංගා වල ඇත්තේ ඇළක් දොළක් ගඟක් තිබූ බවට වූ සටහන් විතරය.

දිනපති මේ බිමට බැලූම් පෑ මොහොතේ පටන් ගෙවෙන හැම තත්පරයක්ම මිනිස් ගත ගහ කොළ සතා සීපාව දවා හළු කරන්නට තරම් දැඩි රස්සනයක් පොළොව පුරා පතිත කරන්නේ පෙර පටන් පවත්වාගෙන එන කිසියම් තරහක් මරහක් වෛරයක්, ක්‍රෝධයක් නිසාවෙන් වගේය. ඉ`දින් දෙයියනේ උපන්දා පටන් මහ පොළොවත් එක්ක හරි හරියට ඔට්ටු වෙමින් ගමට රටට බත සපයන්නටම උපන් හපන්කම් පෙන්නූ මේ ගම් තුලානයන්හි එඩිතර මිනිසුන් අද අන්ත අසරණයන් බවට පත් වූවත් ඔවුන් ගැන ඇහැක් කනක් නොපාන්නට මහ ලොකු උන්නැහෙලා කිසිම කෙනකුගේ හිතක් පපුවක් උණු නොවන්නේ, ඒවා උන් වැඩ වාසය කරන්නා වූ සීතල කාමරවල ඇති හීතලටම ගල් ගැසී ඇති හින්දාද?

කිරි ගොවියා, හරක බානට වතුර පොදක් පොවන්නට නැතිව ඔවුන් වේදනාවෙන් පසුවන්නේ තමන්ටත් තම පවුලේ ඇත්තන්ටත් විතරක් නොව රටේ තොටේ අවශේෂ පළාත්වලටත් කිරි ටිකක් පොවන්නට කිරි සපයන එළදෙනුන් සාපිපාසයෙන් කෑ ගානා විට ළතෙත් පපුවක් ඇති ඔවුන් කොහොම විඳදරා ගන්නද? ඒ තරමට ම ළතෙත් හදවත් ඇති මේ මිනිසුන්ට සතා සීපාවට වගේ ම තමන්ගේ දිය පිපාසය නිවා ගන්නට හිරු මෝදු වූ තැන් පටන් පැය විසි හතර පුරා ම ඇළ මඟක් දොළ මඟක් වැවක් අමුණක් හොය හොයා හැතැප්ම ගණන් බඩගාන්නට මේ ගොවි ජනයාට සිදු වී ඇත්තේ කිනම් කරුමයක් පලදීමෙන්ද?

ඔවුන් පාලකයන්ට චෝදනා නගන්නේ උහු, පැයක් හමාරක් වාඩි වී ඉන්නට පුටුවකට රුපියල් ලක්ෂ ගණනින් කහවනු වියපැහැදම් කරද්දී, තමන් සාපිපාසාවෙන් පීඩිතව කල් ගෙවද්දී එකම උත්තමයකුවත් තමන් උන්නා ද මළා ද කියා හොයා බලන්නට පැත්ත පළාතක නො ආ බව කියමිනි.

තමන්ගේ දිය පිපාසය නිවාලන්නට මඟක් නැතිව, වගා බිම් අස්වද්දන්නට දිය පොදක් නැතිව හූල්ලන මොවුන් කෙරෙහි පාලකයන් ගේ ඇස් යොමු නොවන්නේ මන්දැයි කියන්නට අප නම් දන්නේ නැත.

සාගින්න නිවාගන්න බඩට හරි හමන් විදිහට බත් ඇටයක්වත් නැතිව ළතවෙන මේ මිනිසුන්ගේ කුඹුරු ගොයිතැන් හේන්ගොයිතැන් කන්න හයක් පුරාම අතහරින්නට සිද්ධ වූයේ පැවති ඉඩෝරය නිසාවෙනි.

වැව් පතුල් දක්වා සිඳී ගොසිනි. සිඳුණු වැව්වල දකින්නේ ඉරි තලා ගිය පොළොවයි. ඉදින් මේ ගම් දනව්වල මිනිසුන් ගේ සාගින්න සාපිපාසාව නිවාලන්නට කිසියම් විදිහකට ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් සකසන්නට තරම් ලොකු උත්තමයින්ගේ ඇස් වැසී ඇති තිමීර ගැලවී යන්නේ නම් මොන තරම් අගේද?

මේ අපේ ආදී සංස්කෘතික උරුමයන්ට මඟ එළි පෙහෙළි කළ අපේ රජරට ඇත්තන් ගේ අද තත්ත්වයයි. මොවුන් පත්ව හිඳිනා මේ බියකරු රුදුරු ඝෝරතර විපැත්තිවලින් ගලවා ගන්නට, මුදා ගන්නට ලොක්කන්ට අනුකම්පාවක් නැති නම් ඉතින් අපට සිද්ධ වෙන්නේ ඊළඟට කුමක් කරන්නද? නොදනිමි ඒ ගැන කිසිවක්  මෙ රටේ අප වැනි පොඩි ඇත්තන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර ‍පොලිස් ස්ථානාධිපතිගෙන් කරුණු විමසීමේදී මෙසේ පැවසීය.
ඇත්තටම මම හිතන්නේ මේක මිථ්‍යා මතයක් කියලා. මොකද මේ කියන කරුණු බොහොමයක් පදනම් විරහිතයි. මිය යන අය වයස අවුරුදු 70ට වැඩි අය. ඒ නිසා ඒක සාමාන්‍ය තත්ත්වයක් වගෙයි මගේ හැඟීම. සාක්කි නැතිව අපට කිසි දෙයක් කියන්න බැහැ. මේ ගමේ අය තාමත් හරිම ගතානුගතිකයි යැයි මොරගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.කේ. මහින්ද මහතා අප සමග පැවසීය.

මේ ගමට ගොඩක් ගැටලු තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්. මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකයි තියෙන්නේ. සෞඛ්‍ය තත්ත්වය ගොඩනගලා ප්‍රධාන ප්‍රශ්නය වෙච්ච ජල ගැටලුවට විසඳුම් ලබා දෙනවා නම් මේ සියල්ල නැති වෙයි කියලා මම හිතනවා. යැයිද මහින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

SHARE

1 COMMENT

  1. මට මේ කතාව ගැන උනන්දුවක් තියෙනව. හැබැයි මේකේ කියන එක පැහැදිලි නැහැ. මිනිස්සු කොහොමද නිගමනය කලේ යක්ෂ හෝ භූත බලපෑමක් කියල? දවස් 21න් 21ට මැරෙන නිසාද? නැත්නම් මැරෙන විදිහද? කොහොමද මේ මිනිස්සු මැරිලා තියෙන්නේ? මංමුලා වෙලා? යක්ෂයන්ටයි භූතයන්ටයි භය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ නරක මිනිස්සු නෙමෙයි. බුද්ධාගමේ හැටියට පෙර පින් මදි වුනු නිසා මනුෂ්‍ය ආත්ම ලබා ගන්න බැරි වෙලා තියෙනව. ඒ හින්දා භූතයන් වෙලා ඉපදෙනවා කියල විශ්වාස කරනව. ඒකයි අපේ ගාථා වල දෙවියන්ට පින් දෙනකොට භූතයන්ටත් පින් දෙන්නේ.
    විද්‍යාව අනුව හැම තැනම බැක්ටීරියා වෛරස දිලීර තියෙනව. හැබැයි අපිට පේන්නේ නැහැ. අන්වීක්ෂයකින් බැලුවොත් විතරයි පේන්නේ. නමුත් අපි නොදැක්කත් අපි පිලිගන්නවා අපිව ලෙඩ කරන වෛරස් තියෙනවා කියලා. මම කියන්න ගියේ ඒ ගැන නෙමෙයි.
    මේ ගම කොහෙද තියෙන්නේ? බුද්ධාගමේ තියෙනවනේ ආරක්ෂා වෙන්න ගාථ. මට මේක ඉස්සර අපේ අම්ම කියලා දුන්නේ.
    1. බුද්ධෝ තිලෝක සරණෝ ගාථා 3
    2. දස දිසා පිරිත (දිසාසු දස භාගේසු)
    3. රත්නමාලි ගාථා (සංසාර සාරෝඝ)
    මේ ගාථ තුන කියන්න කියන්න ශබ්ද නඟල. ඒ හැම වචනේකම ලොකු බලයක් තියෙනව. හැබැයි වචන හරියට ශබ්ද වෙන්න ඕනේ. ශබ්දයේ බලයක් තියෙනව. ඒ බලය වායුවට එකතු වුනහම එතන තියෙන තරංග වල කම්පනයක් ඇති වෙනවා. එතකොට තමන් අවට වාතයේ වෙනසක් ඇති වෙනවා. මේක තමයි විද්‍යාත්මක පැත්ත.
    බෞද්ධයෝ විදිහට අපේ විශ්වාසයේ හැටියට මේ ගාථ වලින් තමන් අවට තියෙන අහිතකර දේ ඉවත් වෙනවා. කරදරයක් වෙන්න තිබ්බ නම් ඒක මග හැරෙනවා. වලක්වෙනවා. ආරක්ෂාව ලැබෙනවා. මනස ලෙඩ වුනහම ශරීරයත් ලෙඩ වෙනවා. මේ ගාථ වලින් තමන්ට අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනවා.
    හැබැයි මේ ගාථ තමන්ම කියන්න ඕනේ.
    “තේ” කියල තියෙන තැන “මේ” කියල කියන්න ඕනේ. “තේ” කියන්නේ අනුන්. උදාහරණයක් විදිහට “සබ්බේ තේ” කියන්න ඕනේ “සබ්බේ මේ” විදහට තමන්ට ආරෝපණය කරගෙන.
    මේ ගාථා හුඟක් බලසම්පන්නයි. හැබැයි විශ්වාසය තියා ගන්න ඕනේ. මේ ගාථ හැම තිස්සෙම කියන්න කියලා ගම්මුන්ට කියන්න. ස්වභාව ධර්මය වුනත් වෙනස් කරන්න පුළුවන්. ඒතරම් බලසම්පන්නයි බුද්ධාගමේ ගාථා වල වචන සහ ඒ වචන වලින් නැගෙන ශබ්දය. ඒකයි කියන්නේ වැස්ස නැත්නම් පිරිත් කිව්වහම වැස්ස ලැබෙනවා කියලා.
    ගම්මුන්ට කියන්න මේකෙන් පස්සේ ආයේ කවුරුවත් මැරෙන්නේ නැහැ කියලා. මේ ගාථා කියන්න ගත්තට පස්සේ දවස් 21න් කවුරුවත් මැරුනෙ නැත්නම් ඒ ගැන ස්තුති කරල ගම්බාර දෙයියන්ට පූජාවක් තියන්න කියන්න. ඒක තමයි බාරේ. ගම්බාර දෙයියෝ, කතරගම දෙයියෝ වගේම ජීවමානව වැඩ ඉන්න දෙවි කෙනෙක් කියලා තමයි පැරැන්නෝ විශ්වාස කරන්නේ. ඊට පස්සේ කරදරයක් වෙන්නේ නැහැ.

LEAVE A REPLY

Previous articleතුන්වේලටම මුරුංගා කොළ තම්බන් කන කහටගස්දිගිලියේ අම්මෙක් හා තාත්තෙක්
Next articleජිනීවා තොණ්ඩුවෙන් ගැලවෙයිද? හිරවෙයිද?