සම සුදු කරන ක්‍රීම් වර්ග (whitening cream) අද රූපලාවණ්‍යයේදී නැතුවම බැරි උපාංගයක් බවට පත්ව තිබේ. එය කාන්තා පිරිමි බේදයකින් තොරව සමාජ ගත වීම අපට නොදැනෙන නොපෙනෙන අයුරින් යම් පිළිලයක් ව්‍යාප්තවීමක් බවට පත්ව තිබේ.

බොහෝ පුද්ගලයින් මුහුණ පමණක් ඉලක්ක කරගෙන සුදුවීමට උත්සාහ දැරීම ඇතැම්විට හාස්‍යජනක තත්ත්වයකි.  මුහුණ සුදුකිරීම සහ ශරීරය පැහැපත් කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වයිටින්ග් ක්‍රීම් භාවිත කිරීමේ ආදීනව සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්  හරහා ප්‍රබල ලෙස දැනුවත් කිරීම් සිදුකළ ද කන්ටේනර් ගණන් ඒවා ලංකාවට ගෙනඒම නතර කිරීම සඳහා මෙසේ කිසිදු නීතියක් සම්පාදනය කොට නොමැත.

සමේ මෙලතින් වර්ණකය ඉවත් කිරීම සඳහා රෙදි සේදුම් කුඩු සහ නාන කාමර පිරිසිදු කිරීමට යොදාගන්නා සේදුම් කාරකවලට  යොදා ගන්න රසායනික ද්‍රව්‍යයන් භාවිතය අලුත්ම ව්‍යසනයයි.

පාසල් මට්ටමේ අතමිට මුදල් නොමැති තරුණ දරුවන් තමන්ගේ අත්පා සුදු කරගැනීම සඳහා  ජුව රෙදි සේදුම් කාරක සහ නාන කාමර පිරිසිදු කිරීමේ  ද්‍රව්‍ය යෙදාගැනීම නිසා විවිධ ආසාධිත තත්ත්වයන්ට ගොදුරුවීමේ තත්ත්වයද වර්ධනය වීමට පටන් ගෙන තිබේ.

අධික පිළිකා කාරක සහිත මෙම ද්‍රව්‍ය සහ ඒවාට අඩංගු රසායනික ද්‍රව්‍ය යොදා බාල වර්ගයේ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම පිළිබඳව මෙවර රිවිර ඉරිදා සංග්‍රහය සමග කරුණු  ඉදිරිපත් කරන්නේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහතායි.Untitled-13

ලංකාව වගේ සම ශීතෝෂ්ණ රටක ජනතාවට තිබෙන්නේ තලඑළලු කියන වර්ණයයි. එය පෙරදිගට ආවේණික සම්පතක් ලෙස හැඳින්විය හැකියි.  මෙම  වර්ණය නිසා අපේ සම පමණක් නොවේ ශරීර අභ්‍යන්තරයේ සියලු අවශ්‍යතාවන් හොඳින් ආරක්ෂා වීම සිදුවනවා.

නමුත් මෑතක සිට සුදු වර්ණය ලබාගැනීම සඳහා  වැඩිපුර අපේ කාන්තාවන් වර්ණ කාරක සහ විරංජන  කාරක භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම වර්ණ වෙනස් කිරීම සඳහා යොදාගන්නා බ්ලීචින් කියන රසායනික ද්‍රව්‍ය මේ සඳහා  ප්‍රබල ලෙස යොදාගනු ලබනවා. ලංකාව පුරා අලෙවිවන සුදුවීමේ ආ‍ලේපන සියල්ලම එක කුලකයකට අරගෙන බැලුවොත් එහි ත්‍රිලිවින් අන්තර්ගතය ටොන් ගණක්වෙනවා. එහිදී දක්නට ලැබෙන බරපතළ තත්ත්වය නම් ඊට සමාන බ්ලීචින් ප්‍රමාණයක් රෙදි සේදුම්කුඩු, නාන කාමර පිරිසිදු කාරක  සහ වර්ණ වෙනස් කිරීමේ රසායනික ද්‍රව්‍ය සඳහා ද ලංකාවට ආනයනය කිරීමයි.  ආයුර්වේදයේ වුවත් පැරණි ක්‍රම අනුව ශරීරයේ නොයෙකුත් වර්ණක සහ ආ‍ලේපන රූපලාවන්‍ය සඳහා භාවිත කරන සීගිරි ළඳුන් පවා මුහුණ සහ ශරීරය වර්ණවත් කිරීමට පැහැපත් කිරීමට ආ‍ලේපන භාවිත කළ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒක අපි නැහැ කියලා අහක දමන්නේ නැහැ. ඒවා පැළෑටි මුල්කරගෙන ඉතාම සෞඛ්‍යාරක්ෂිතව සකස් කළ දේවල්.

සුදු හඳුන්, කහ ඉරමුසු වෙනිවැල් වගේ පදාර්ථවලින් සමේ විරංජන ක්‍රියාවලියක් කිසිසේත්ම සිදුවන්නේ නැහැ. සම සඳහා හොඳම බෙහෙත ලෙස ආයුර්වේදය සඳහන් කෙරෙන්නෙ ‘කදිර’ හෙවත් රත්හඳුන් ශාඛයයි.

නමුත් මෙම ඖෂධ තුළින් ක්ෂණිකව සුදුවීමක් නොවෙන නිසා අපේ තරුණ දුවා දරුවන් ඒ සඳහා රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග සහ විරංජන කාරක යොදාගැනීමට තරම්  අනුවණ තත්ත්වයට පත්වෙනවා.  තරුණ පරම්පරාව හා සම  සමව මැදිවියේ කාන්තාවන් සහ පිරිමින් ද ආකර්ෂණය කර ගැනීමට මෙම ආ‍ලේපන අලෙවි කරන සමාගම් උදේ සිට රාත්‍රිය වන තුරා විද්‍යුත් මාධ්‍යහරහා වෙළෙඳ දැන්වීම් උපයෝගී කරගනිමින් සිටියි. පැයකට දෙකකට ලැබෙන මුදල මුල්කරගෙන සමේ වර්ණක වෙනස් කරන ක්‍රීම් වර්ග, සේදුම් නිෂ්පාදන සහ සුදුවීම සඳහා ලබාගන්නා කැප්සියුල සඳහා ආකර්ෂණීය ප්‍රචාරණයක් ලබදෙයි. එය කෙතරම් ආකර්ෂණීය වන්නේ ද යත් තරුණ දියණිවරුන්ගේ මව්වරුන්ට ඒවා  ලබාගෙන තම දියණියට ලබාදීමෙටත් තමාත් ඒවා භාවිත කිරීමටත් පෙලඹී සිටියි. තරුණ වීමේ ලස්සන වීමේ මිනිසුන්ගේ මානුෂීය ආසාවක් ප්‍රබල ලෙස මාර්කට් කිරීමට අද වනවිට මෙම බහු ජාතික සමාගම් සමත්ව තිබිම කනගාටුවට කරුණකි.

වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරණය තුළින් වෙළෙඳසල් අලෙවිකරන සුදු වෙන ක්‍රීම් හෝ කැප්සියුල භාවිතය වෛද්‍යවරුන් වශයෙන් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේවා භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයන් නොමැති බවට මෙම නිෂ්පාදන භාවිතය නිසා  ජීවිතය පවා නැතිවූ ප්‍රබල ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ උදාහරණ අපට  තිබෙනවා. ප්‍රසිද්ධ ගායිකාවක් තමන්ගේ කොණ්ඩය ඩයි කිරීමට ගොස් ජීවිතය අහිමිවූ සිදුවීම ප්‍රසිද්ධ කතාවක්.

සුදුවීමේ ක්‍රියාවලිය මේ වෙනකොට ක්‍රීම්  සහ කැප්සියුලවලින්  ඔබ්බට යමින් තිබෙනවා. සුදුවීම සඳහා ශල්‍යකර්ම සිදුකර ගැනීමටත් විවිධ එන්නත් ශරීරගත කිරීමන් මුදල් හදල් යහමින් ඇති පිරිස දැන් දැන් පෙලඹෙමින් සිටිනවා. ඒවායින් සිදුවන අතුරු ආබාධ පිළිබඳව  ක්ෂනිකව ඔබට අත්දැකීමක්  නොමැතිවුවත්  දීර්ඝ කාලීනව සමේ ඇතිවන ලප කැලැල් පිළිකා වැනි ලෙඩ  රෝගවලින් ඔබ මුදාගැනීමට දෙවියන්වහන්සේටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වේවි.
පුද්ගලයකුගේ සමේ වර්ණය, නහයේ හැඩරුව, කොණ්ඩය, කන්පෙත්ත වගේ දේවල් ජානවලින් ඔහුට හිමි දේවල්. ඒවා අමතක කරලා රසායනික ද්‍රව්‍යවලින් ඒවා වෙනස් කිරීමට උත්සාහ දැරීම පැවැත්මට හානිකර බව පැහැදිලිව සඳහන් කළ යුතුයි.

මුහුණ සුදුවීම සහ ශරීරය  කළුවීම, ඇතැම් විට විගඩමක් වෙන අවස්ථා සමාජය තුළ දක්නට ලැබේ. මඟුල් ගෙදරක මනමාලියගේ සිට ඥාතින් දක්වා හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් අද වනවිට නිර්මාණය වී තිබේ. තවදුරටත් අසාමාන්‍ය තත්ත්වය නම් වයසක ආච්චි සීයාගේ සිට භික්ෂුන් වහන්සේලා සහ අනෙකුත්  ආගමික නායකයින් පවා හඳුනා ගැනීමට නොහැකිතරම් සුදුවී රූපවාහිනිය තුළින්  දකින්නට ලැබිමයි.ගෙවල්වල ඉන්නා මව පියවරු දූවරු ගෙදරදී රූපලාවණ්‍ය භාවිත කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් අවාසනාවක මහත නම්  ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයේ ප්‍රබලත්වය නිසා තමන්ගේ නිවස තුළදීත් සුදුවෙන ක්‍රීම්, මේකප් භාවිත කිරීමට අපේ ගෙදර ඇත්තෝ කටයුතු කිරීමයි. මෙමගින් පැය 24 පුරාම පිළිකා කාරක ශරීරගතවන අතර දවස් 365ක අවුරුද්දකදී ශරීරගතවන පිළිකා කාරක ප්‍රමාණය කොතරම් දැයි ඔබම ගණන් හදා බලන්න.

නෙරංජලා වික්‍රමසිංහ