ලියනාරච්චි ගේ අවසන් කටයුතු කිරීමට පෙර මගේ මතකය නිවැරදි නම් ආගමික වතාවත් කෙරුණේ උදේ කාලයේය. කොහොමවුණත් ඉර මු`දුන් වීමට පෙරාතුව පටන් ඔහුට අවසන් ගෞරව දැක්වීමට අලූත්කඬේ උසාවිවල කටයුතු කරනා නීතිඥවරුන්, අධිනීතිඥවරුන් පුරෝ ගත්තු බස් රථ ගණනාවක් වීරකැටියට ළ`ගා විය. ඒ කළුකෝට් කාරයන්ට රටේ අවශේෂ අධිකරණයන්හි නීතිඥවරුන් ද, අධිනීතිඥවරු ද සිය වෘත්තීය සගයාට සමුදීමට වීරකැටි ආවේ සුදු කොඩි ඔසවා ගත්තු බස් රථවලිනි. ඒ ඒ අධිකරණ කලාප ගැන කියැවෙන ශෝක පණිවිඩ සහිත දැවැන්ත බැනර් ඔවුන් එල්ලා ඇත්තේ තමන් කොයි කොයි පළාතේ ද යන්න බුද්දියාගම, වීරකැටිය වාසීන්ට, ගිරුවාපත්තු වාසීන්ට වගේම කාකිකොට් කාරයන්ට, සොල්දාදු උන්නැහේලාට දැක බලා කියා ගන්නත් එක්කය.

ඉර අවරට හැරී පැය දෙක තුනක් ඉක්ම ගිය තැන පවුලේ ඥාතීන්, ගම්වැසියන්, හිතවතුන්, නීතිඥවරුන් හා අධිනීතිඥවරුන් ලියනාරච්චිලාගේ නිවසේ සිට වීරකැටිය පස්මං හන්දිය දෙසට විජේදාස ගේ මෘතකලේබරය ඔසවා ගෙන අවමඟුල් පෙරහැර වීදි සංචාරය ඇරඹීය. ඒත් පොලිසිය ඊට විරුද්ධ ඔහු ගේ අවසන් කටයුතු කරනා සේ නියෝග කළේ වේදනාවෙන් හා ශෝකයෙන් පරිපීඩිත නිරායුධ අවමංගල පෙරහැරට ඔවුන් අත ඇති ස්වයංක‍්‍රීය ගිනි කඳන් එල්ල කර ගෙනය.

ඒත් අවමඟුල් පෙරහැරට එක් ව සිටින දෙතුන් දාහකට වැඩි මහජනයා පොලිසියේ ඒ නියෝගය තුට්ටුවකට වත් මායිම් කළේ නැත.තඹ සතේකට ගණන් ගත්තේ නැත. දැන් විජේදාස ගේ මිනී පෙට්ටිය රැුගත් පිරිස අඩියෙන් අඩිය ඉස්සරහට පා නඟද්දී ආයුධ සන්නද්ධ පොලිස් මුර බල්ලන් අඩියෙන් අඩිය පස්සට යන හැටි දැක ගත හැකි විය. මේ මොහොත වන විට වීරකැටිය හන්දිය දෙසට ඇදෙන අවමඟුල් පෙරහැර එකම හිස් ගොඩකි. ඒ හිස් ගොඩ සතු මුහුණුවල ඇත්තේ ශෝකය, වේදනාව පමණක් නොවේ. කෝපය වඩාත් වැඩියෙන් දැක ගත හැකි විය.

මීටර් පන්සීයයක තරම් දුරක් විජේදාස ලියනාරච්චි ගේ දේහය ඔසවා ගත් පිරිස හා ඒ පසුපසින් ගමන් ගන්නා පිරිසට පොලිසිය දෙතුන් වංගියක් ම ඉදිරියට නො පැමිණ අවසන් කටයුතු කරන්නට රැුගෙන යන සේ කළ නියෝගයේ උච්චතම අවස්ථාවට එළඹ ඇති වගක් පෙනේ. ඔවුන් දැන් දැන් සූදානම් වන්නේ අවමඟුල් පෙරහැර තවත් එක අඩියක් හරි ඉස්සරහට ආවොත් එය වළක්වාලීමටය. ගල්තොප්පි හිස පැලැඳ, මුහුණ කට ආවරණයට පලිහ අතදරනා, කඳුළු ගෑස් බෝම්බ සහිත මලූ සහිතව විජේදාස ලියනාරච්චි ඝාතනය කිරීමට නියෝග දුන් නරුමයා ගේ අන්තේවාසිකයන් වලස්මුල්ල පාරේ වීරකැටිය පස්මං හන්දියට නුදුරෙන් මිනිස් තාප්පයක් සේ මඟ හරස් කර රැුඳුණේ කවර තත්ත්වයකට වුව සූදානම් බව අවමඟුල් පෙරහැරේ ගමන් ගන්නා කාට කාටත් පෙන්වන්නට සේය.

දැන් නම් ඉතින් වෙන්න යන්නේ මහා විනාශයක් මය. මහා ලේ වැගිරීමක් මය. වීරකැටිය යුද පිටියක් කොට බුද්දියාගම පාර ලේ ගඟක් බවට පත් කරන්නටය. සිත් පිත් නැති ඒ කාකිසූට්කාරයන්ට හොඳ හෝ නරක හෝ තේරෙන්නේ නැත. ඔවුන් පිළිපදින්නේ තමන් ගේ මහ එකාගේ අණ පමණි.

අවමංගල්ල පෙරහැර තවත් අඩි කිපයක් ඉස්සරහට ඇදුණි. කෙටියෙන් කියන්නේ නම් කාකිසූට්කාරයන් ගේ කාකිසූට් තාප්පයට ඔන්න මෙන්නය. සිද්ධ වීමට යන්නේ කුමක්දැයි කිසිවකුටත් හිතා ගත නොහැක. අර කාකිසූට් තාප්පය ඉහළින් නියෝග ලැබෙන තෙක් සීරුවෙන්ය.

ඔවුන් අත ඇති ස්වයංක‍්‍රීය ගිනි බට – ‘ටී ෆිෆ්ටි සික්ස්’ දැන් දැන් අවමඟුල් පෙරහැරට පත්තු වනවාට කිසිදු සැකයක් නැත. විජේදාස ලියනාරච්චිගේ මෘත දේහය ඔසවා ගත් පිරිසත් පොලිස් තාප්පයත් අතර ඇති පරතරය පියවරෙන් පියවර අඩුවෙමින් පවතී. තවත් මීටර් පහළොවක විස්සක තරම් පරතරයකි ඇත්තේ.

තම පක්ෂයේ ප‍්‍රබලයකු ඝාතනය කළ පොලිසියෙන් පළිගන්නට දේශපේ‍්‍රමීන් සැඟව සිට එකට එක කරන්නට මාන බලා සිටීය යන සැකයක් මා සිත පුපුරු ගසයි. කොයි මොහොතේ හෝ පොලිසියට හමුදාවට දේශපේ‍්‍රමීන් ගෙන් බෝම්බ ප‍්‍රහාරක් එල්ල විය හැකි ය යන්න මසිහියට නැෙඟන්නේය. ඔවුන්ට  ඕනෑ ආණ්ඩුවට දැනෙන්නට පාඩම් උගන්නන්නටය. ඒ උදෙසා මේ අවමඟුල් උත්සව අවස්ථාව උපයෝගී කර ගනු ඇත යන්න මගේ හිත කියයි. එය  එසේ වූවොත්…. එසේ වූවොත්….

තවත් එක නිමේෂයකින් සිද්ධ වෙන්නට යන මහා විනාශය දැක්ක ආකාශෙට අරක් ගෙන සිය බලපරාක‍්‍රමය විදාහළ හිරු දෙවියන්ඝන කළු වලාවකට මුවා වූයේ ඒ ඛේදවාචකය දකින්නට නො හැකිව විය යුතුය. හිරු මුවා කර ගත්තු වලාකුළ එක්වරම වීරකැටිය විතරක් නොව මුල්ගිරිගල ආසනයම වහ ගත්තේ එකම එක නිමේෂයකිනි. පළාතම අඳුරෙන් වෙළී ගියේ අසුරු සැණෙනි. එතෙක් දොහක් පළාතම පුළුස්සමින් පැවති හිරු සැඟවී ගියේ ධාරානිපාත වර්ෂාවකින් ගිරුවාපත්තුවේ පොළෝ තලය තෙත බරිත කරන්නට ඉඩකඩ සලසාලමිනි.

එතෙක් වෙලාවක් විජේදාස ගේ මෘතකලේබරය ඔසවා ගෙන හුන් පිරිසට පිටුපසින් පැමිණි සිය ගණනක් වූ පිරිස වැස්සට මුවා වෙන්නට හෙවණක් සොයා මඟ දෙපස පිහිටි ගොඩනැගිලි පියසි යටට රිංගන්නට වූහ. එක රොත්තට එක බුරුත්තට මහ පාර පුරා පැතිර හුන් ශෝකබරිත පිරිස වැස්ස වලාහක දෙවියන්ට පින් සිද්ධ වෙන්නට විසිරිණි. ඒ අනෝරා වැස්ස නිසා අවමඟුල් උළෙලට එක්ව හුන් පිරිස ඈත් මෑත් වෙද්දී මිනිය ඔසවා ගත්තු පිරිසට අවමංගල්‍යය සංවිධායකයන් කීවේ ආපහු හැරී විජේදාස මිහිදන් කරන්නට සොහොන කරා ගමන් අල්ලනා ලෙසටයි. මළහිරු බහිද්දී විජේදාස ලියනාරච්චිගේ අවසන් කටයුතු මහා විනාශයකින් තොරව නිමා කරන්නට හැකි විය.

ඒ ඒ පළාත්වලින් පැමිණි නීතිඥවරුන් ප‍්‍රමුඛ විවිධ තරාතිරමේ පිරිස් තුළ තාමත් ඇත්තේ භයෙන් භ‍්‍රාන්ත වූ නෙතුය. මගේ කල්පනාවේ හැටියට නම් තවත් පැයකින් දෙකකින් විතර ඇඳිරිනීතිය ඇරඹේ.

මා වෙත ප‍්‍රධාන කතුවර එඞ්මන්ඞ් රණසිංහයන් පැවරූ කාර්යයේ කටයුතු මම තාමත් අවසන් කර නැත්තෙමි. එය අවසන් වෙන්නේ අවමඟුල් උත්සව අවස්ථා දිවයින ඔස්සේ ලාංකේය පාඨකයන්  කියවූ විටය. ඉතින් මා දැන් කොළඹ යා යුත්තේය. ඒත්…..

මා ගාල්ල අධිකරණ කලාපයෙන් පැමිණ හුන් නීතිඥ මිතුරන් හමුවීමට මොහොතකුදු පමා නොවී ඔවුන් සොයන්නට විය. විජේදාස ලියනාරච්චගේ අවසන් කටයුතු සිදු වෙද්දී මුලිච්චි වූ අධිනීතිඥ සරත් විදානපතිරණ සොවුරාට මා පත්ව සිටින අසීරුතාවය කීවෙමි.

‘‘හරි සහෝදරයා… ඉතින් අපිත් එක්ක යමු….’’
‘‘මට  ඕනැ ගාලූ යන්න නෙවෙයි නේ…. කොළඹ යන්න….’’

මුවින් එවදන් පිටවූ සුනංගුවෙන් ඔහු කොළඹින් පැමිණ සිටී නීතිඥ සංගමයේ කිසිවකු හා කථා කළේය.
ඒ අනුව කොළඹින් පැමිණ සිටි නිතිඥවරුන්ගේ එක බසයක සීට් එකක් මට හිමි විය. ඇඳිරිනීතිය මැද කොළඹට ළඟා වෙද්දි පාන්දර එකට විතර ඇත.

මා පිටකොටුවේ මධ්‍යම බස්නැවතුම් පොළ අසලින් ඔවුන්ට සමු දී අඩියට දෙකට ගාල්ල බස් පෝලිම වෙත ඇවිත් බංකුවකුට බර දුනිමි. ඇඳිරි නීතිය අවසන් වෙන්නේ පාන්දර හයටය. තව පැය පහක් විතර මා බස්පොළේ සිටිය යුත්තේය. තේ කහට උගුරක්වත් බොන්නට විදිහක් නැතුව පාන්දර හයේ කනිසම උදාවෙන තුරු ඒ පැය පහ ම නිදිවර්ජිතව අර බංකුවේ වාඩි වී කල්පනා කළේ පෙරදවසේ වෙන්නට ගිය මහා අපරාධයක් වින්නැහියක් වැළකීමට කළු වලාකුළක් කළ හපන්කම ගැනය. උදේ පාන්දරින් ම දිවයින කන්තෝරුවේ ගේට්ටුවෙන් ඇතුළු වූ මා ඩාක්රූම් එකේ උපාලි අයියා එනතෙක් කල්මරමින් හුන්නේ ලොක්කා ආ විගස ඔහුට පින්තූර ටික පෙන්නීමේ නොතිත් ආසාවෙනි.

ලබන සතියට….
සුගතපාල මැන්දිස්