කොළඹ විහාරමහා දේවී උද්‍යානය සෙනගින් පිරී ගිය මොහොතකි. දිනය ඉකුත් බදාදා (19) ය. වෙලාව සවස 2.00ට පමණය.

කොළඹ මර්මස්ථාන ඉලක්ක කර පැමිණි ත්‍රස්ත කණ්ඩායමක් විහාරමහා දේවී උද්‍යානය තුළින් එක්වරම මතු වූහ. සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරන්නට වූයේ නොසිතූ මොහොතකදීය.

ගිනි අවි රැගත් ත්‍රස්තයන් හිස් ලූ ලූ අත වෙඩි තබද්දී එහි වූ සිවිල් වැසියන්ට කර කියාගත හැකි දෙයක් නොවීය. වෙඩි හඬ ඇසී ළඟම සිටි ‍පොලිස් කණ්ඩායමක් එතැනට ළඟා වූහ.
එහිදී දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවෙන් ත්‍රස්තවාදී කණ්ඩායමේ එක් අයකු තුවාල ලදහ. මේ වන විට විහාරමහා දේවී උද්‍යානයේ සිටි සිවිල් වැසියන්ද වෙඩි ප්‍රහාරවලට ලක්ව සිටියහ.

‍පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද ත්‍රස්තවාදියා සමග සෙසු කණ්ඩායම රැකවරණය පතා කඩා වදින්නේ විහාරමහා දේවී උද්‍යානය අසල පිහිටි නෙළුම්‍පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල වෙතය. ඒ ඔවුන්ට වෙනත් සැඟවීමට තැනක් නොමැති වීම නිසාය.

මහින්ද රාජපක්ෂ රඟහල තුළට කඩාවැදුණු කොටි ත්‍රස්තයන් එහි කාර්ය මණ්ඩලයටත්, රඟහ‍ලේ උත්සව සංවිධානය කරන්නට පැමිණි කණ්ඩායම් ඇතුළු තිස්දෙදෙනකු ප්‍රාණ ඇපයට ගත්හ.

එතැන් පටන් නෙළුම්‍පොකුණ රඟහල කොටි ත්‍රස්තයන්ගේ පාලනයට නතු වූයේය. කොළඹ මර්මස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලදී නගරබද සටන්වලට සුවිශේෂී පුහුණුවක් ඇති යුද හමුදා කමාන්ඩෝ බළකාය යොදවා මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට සැලසුම් සකස් කරන්නේ මේ අනුවය.

යුද හමුදාව ගොඩබිම් සටන් කලාවේ විශිෂ්ටයන් වෙද්දී නාවික හමුදාව මහ සයුරේත්, ගුවන් හමුදාව ගුවනේත් එක සමාන විශිෂ්ටයන් බවට පත්ව සිටියහ. මේ සියලු විශිෂ්ටතාවන් ප්‍රගුණ කළ එකම පිරිසක් ඇත්නම් ඔවුන් සැබැවින්ම අති විශිෂ්ටයන් වූහ. එවන් සුවිශේෂී පුහුණුවක් හා දක්ෂතා ඇති බළකායක් ලෙස කමාන්ඩෝ බළකායට ඇත්තේ ඉහළම තැනකි.

පේරු රටේ ජපාන තානාපති කාර්යාලයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන් මුදවාගත් පේරු කමාන්ඩෝ භටයන්ද, මොස්කව් නුවර පාසලක කුඩා දරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් ස්පෙට්නාස් නම් වූ රුසියානු කමාන්ඩෝ භටයන්ද, එන්ටබේ ඉරාන තානාපති කාර්යාලයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදවාගත් ප්‍රංශ ජී.එස්.ජී – නයින කමාන්ඩෝ භටයන්ද කමාන්ඩෝ සෙබළුන්ගේ දක්ෂතා ලෝක හමුදා ඉතිහාසයට එක් කළවුන්ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවද කළ එවන් සුවිශේෂී මෙහෙයුම් අතරේ ‍ලේක්හවුස් ගොඩනැගිල්ලට ත්‍රස්තවාදීන් ඇතුළු වූ දා ගුවනින් හා ගොඩබිමින් එය වෙත කඩාවැදී සියලු ත්‍රස්තයන් මර්දනය කර ගොඩනැගිල්ල නිදහස් කරගත් මෙහෙයුම මෙන්ම වනාතමුල්ල සර්පන්ටයින් මහල් නිවාසවලට ඇතුළු වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හට ක්ෂණිකව ප්‍රහාර එල්ල කර මුදවාගත් මෙහෙයුමද වන්නේය.

එවන් සුවිශේෂී අත්දැකීමක් සහිත ප්‍රතිපැහැර ගැනීමේ හා ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ රාජකාරීන් සඳහාම පමණක් සුවිශේෂී පුහුණුවක් ලද හතරවැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට කණ්ඩායම් යෙදවීමට යුද හමුදාපතිවරයා වහාම නියෝග කරන්නේ නෙළුම්‍පොකුණට රිංගාගත් ත්‍රස්තයන් මෙල්ල කිරීමටය.

වහාම ස්නයිපර් වෙඩික්කරුවන් අවට උස් ගොඩනැගිලි හා උස් ස්ථානවලට යොදවා ගොඩනැගිල්ල තුළ සැරිසරන ත්‍රස්තයන් ගැන නිරීක්ෂණය කරන්නට වූහ. මෙහෙයුමට අදාළ මෙහෙයුම් මැදිරියක් කලාභවන තුළ අරඹා සමස්ත සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූහ.

නෙළුම්‍පොකුණ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගෙන පැයකට පසුව ප්‍රාණ ඇපයට ගත් පිරිසේ සිටි ගැබිනි කාන්තාවක් මුදාහැරෙන්නේ එහි සිටින ත්‍රස්තයන්ගේ පණිවිඩ රැගෙන යන පණිවුඩකරුවකු ලෙසිනි. තම කණ්ඩායමට ආරක්ෂිතව පිටවීම සඳහා සුදුසු වාහනයක් ලබාදෙන ලෙස නෙළුම්‍පොකුණේ සිර වී සිටි ත්‍රස්තයන් ගැබිනි කාන්තාව අත පණිවිඩයක් එවා ඉල්ලා සිටියහ.

ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සිවිල් වැසියන් තිස්දෙදෙනා මුදා ගැනීමට අවශ්‍ය සැලසුම් කමාන්ඩෝ රෙජිමේන්තුව මේ වන විටත් සූදානම් කර හමාරය.

තම ඉල්ලීම් ඉටු නොකළහොත් එහි සිටින එක එක්කෙනා මරා දමන බවට ත්‍රස්තවාදීන් තර්ජනය කරන්නට වූයේ ගැබිනි කාන්තාව අතේ යැවූ දුරකථනය මගින් තර්ජනය කරමිනි.

සවස 3.00ට පෙර තම ඉල්ලීම් ඉටුකරන්නැයි නෙළුම්‍පොකුණ තුළ වූ ත්‍රස්ත නායකයා තර්ජනය කරන්නට වූයේය. දොළොස් දෙනකුගෙන් සමන්විත ත්‍රස්ත කණ්ඩායමක් මේ වන විටත් එහි පාලනය අතට ගෙන තිබිණ. රජයෙන් අතරමැදි සාකච්ඡාකරුවකු යොදවා මෙම කණ්ඩායම අතෙහි වූ දුරකථන මගින් සාකච්ඡා කරගෙන යන්නේ සාකච්ඡා මාර්ගයෙන් ත්‍රස්තයන්ගේ ඉල්ලීම් ඉටු කළ හැකිද යන්න සොයා බලන්නටය. මේ අතරේ කමාන්ඩෝ බළකාය නෙළුම් ‍පොකුණේ ඇතුළත පිහිටීම අධ්‍යයනය කරමින් මෙහෙයුමට සූදානම් වෙමින් සිටියහ.

ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන පැය විසිහතරක් ගතවෙද්දී බ්‍රහස්පතින්දා (20) සවස 3.00ට පෙර තම ඉල්ලීම් නොදුනහොත් එකින් එක පුද්ගලයන් මරා දමන බවට තර්ජනය කරන්නට වූහ. සවස 2.30 වන විට ප්‍රාණ ඇපයේ සිටි අයකුව ඝාතනය කර නෙළුම්‍පොකුණෙන් එළියට දමන්නේ එය සංකේතවත් කරන්නටය.

තවදුරටත් කල් නොගෙන කමාන්ඩෝ භට පිරිස් යොදවා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට යුද හමුදාපති අණ දෙන්නේය. ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවකින් කමාන්ඩෝ බළකායේ අටේ කණ්ඩායමක්, ගුවනින් පැමිණ නෙළුම් ‍පොකුණේ වහලය මතට කේබල් දිගේ ගොඩ බසින්නට වූහ.
එසැණින් ප්‍රති පැහැරගැනීම් හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සුවිශේෂී පුහුණුව ලත් කමාන්ඩෝ භට කණ්ඩායම් සතුරා විශ්මයට පත් කරමින් නෙළුම් ‍පොකුණ රඟහල තුළට ඇතුළු වන්නට වූහ.

කමාන්ඩෝ බළකාය සතු සතුරා ලුහුබැඳීමේ පුහුණුව ලත් කේ-ෆයින් කණ්ඩායමට අයත් සටන් සුනඛයන්ද මෙහෙයුමට එක් කරගෙන තිබුණි. උපක්‍රමශීලීව නෙළුම්‍පොකුණ තුළට ඇතුළු වූ කමාන්ඩෝ භටයින් විශ්මය දනවමින් ත්‍රස්තයන් එකිනෙකා මෙල්ල කරමින් විනාඩි … ඇතුළත සම්පූර්ණ පාලනය තමන් අතට ගත්හ.

ත්‍රස්තයන් මෙල්ල කරන අතරේ ක්ෂණිකව ප්‍රාණ ඇපයේ රඳවා සිටි කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස ආරක්ෂා සහිතව ගොඩනැගිල්ලෙන් පිටතට පිටත් කරන්නට වූයේය. ගොඩනැගිල්ල තුළ සම්පූර්ණ සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් ත්‍රස්තයන්ගේ මළසිරුරු හා අවි ආයුධද එකතු කරගෙන සාර්ථකව මෙහෙයුම නිමා කරන්නේ බලාසිටියවුන් විශ්මයට පත් කරමිනි.

සජීවී අත්දැකීම් දැක බලා ගන්නට හැකි වූ නෙළුම්‍පොකුණේ මෙම ත්‍රස්ත ප්‍රහාරයද යුද හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා’ යුද අභ්‍යාසයේ එක් ක්‍රියාන්විතයකි.

ත්‍රස්තවාදීන් ආර්ථික මර්මස්ථානවලට එල්ල කරන ත්‍රස්ත ප්‍රහාරවලදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභ්‍යාසය සඳහා පළමු වරට කොළඹ තෝරාගෙන තිබුණේය. ඒ සඳහා නෙළුම්‍පොකුණ රඟහල තෝරාගෙන තිබුණේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට කමාන්ඩෝ සෙබළුන්ට සජීවී අත්දැකීමක් ලබාදෙන්නටය.

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයක් මත ආර්ථික මර්මස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ක්‍රියාත්මක කරන මෙහෙයුම් සඳහා මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මක විය.

හදිසි අවස්ථාවකදී හමුදාවක් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන මෙම යුද අභ්‍යාසය පැවැත්වූ බවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී අනාවරණය කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

ඡායාරූප-සජීව චින්තක කහඳගමගේ

Untitled-7