සෙල්ලයියා අශෝක් කුමාර සහ මහේෂ්වරන් රත්නනේෂ්වරන් සුමිතුරන්ය. රාගල, සෙල්ලනාඩු වත්තේ සහ මැදවත්ත ප්‍රදේශයේ ඔවුහු පදිංචිව සිටියහ. සෙල්ලයියා 31 වියැතිය. මහේෂ්වරන් 29 හැවිරිදිය. ඔවුන්ගේ දෙමාපියන්ද රාගල ප්‍රදේශයේ වතු කම්කරුවන් ලෙස කටයුතු කළහ. ඔවුන්ගේ අඩු ආර්ථික මට්ටම නිසා සෙල්ලයියාට සහ අශෝක් කුමාර්ට වැඩිදුර අධ්‍යාපනය ලැබිමට අවස්ථාව නොලැබුණේය. මේ නිසා ඔවුන් පාසල් අධ්‍යාපනයට තිත තබා තමන්ගේ දෙමාපියන්ට තමන්ට හැකි පරිද්දෙන් උදව් උපකාර කළහ.

සෙල්ලයියා අශෝක් කුමාර් සහ මහේෂ්වරන් රත්නේෂ්වරන්ට ස්ථිර රැකියාවක් නොවීය. ඇතැම් දිනවලදී ඔවුන් වතු කම්කරු වෘත්තියේ නිරත වූහ. නැතහොත් කුලී වැඩක නිරත වූහ. මේ නිසා ඔවුන්ට ප්‍රමානවත් ආදායමක් නොලැබුනි. සෙල්ලයියා සහ මහේෂ්වරන් කාලයක සිට සතුන් දඩයම් කිරීමේ නිරතව සිටිති. මේ නිසා රාගල කැලෑ ප්‍රදේශ ඔවුනට නුහුරු නුපුරුදු තැන් නොවීය.

මේ සුමිතුරන් දෙදෙනා ඇතැම් දිනවල කැලෑ වදින්නේ දින දෙක තුනක් කැලෑවේ හිඳ සතුන් දඩයම් කිරීම සඳහාය. ඉත්තෑවුන්, හාවුන් ආදී සතුන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය විය. රාගල ප්‍රදේශයේ වතුවල තිබෙන කුඩා ගල් ගුහාවල සිටින හාවුන්, ඉත්තෑවුන් දඩයම් කිරීමට මේ සුමිතුරන් දෙදෙනා මනා දස්කමක් දක්වන්නේය. ඔවුන් දෙදෙනා සතුන් දඩයමේ යාමේදී දඩයම් බල්ලාද කැටුව යාමට ඔවුන් කිසිසේත්ම අමතක නොකරති. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ගේ දඩයම් කටයුතු වඩාත් පහසු කර ගැනීමටය.

සෙල්ලයියා සහ මහේෂ්වරන් ඉකුත් 15 වැනිදා රාත්‍රී කාලයේදී දඩයම් කටයුතු සඳහා යන්නේ රාගල, සමගිපුර කැලෑ ප්‍රදේශයටය. රාගල සිට කිලෝමීටර් අටක් පමණ දුරකින් සමගිපුර කැලෑ ප්‍රදේශය පිහිටා ඇත්තේය. සතුන් දඩයම් කිරීම සඳහා ඔවුන් දෙදෙනා ළඟ බඳින තුවක්කු නොතිබුණද, මදු ආදිය සකසා ගෙන ඔවුන් දෙදෙනා කැලෑ වදින්නේය.
කැලෑවේ යාමට පෙර ඔවුන් දෙදෙනා නිවැසියන්ට පවසන්නේ තමන් පසුදා අලුයම් කාලයේදී යළි නිවස බලා පැමිණෙන බවය. නමුත් පසුදා (16) දහවල් වනතුරුත් ඔවුන් දෙදෙනා නිවසට නොපැමිණියේය. මෙය නිවැසියන්ට මහත් ප්‍රහේලිකාවක් විය. සමගිපුර කැලෑ ප්‍රදේශය සෝදිසි කළද දෙදෙනා ගැන හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ නිසා පවු‍ලේ ඥාතීන් ඒ පිළිබඳව රාගල ‍පොලිස් ස්ථානයට පැමිණිලි කළහ.

දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනාට යම් අනතුරක් සිදු වුණාද, නැතහොත් කිසිවකුගේ පහරදීමකට ලක් වූවාද යන්න ‍පොලිසියට මහත් ප්‍රහේලිකාවක් විය. මේ නිසා ‍පොලිස් කණ්ඩායම් කීපයක් සහ ප්‍රදේශවාසීන් එක්ව රාගල, සමගිපුර කැලෑ ප්‍රදේශයේ අඩියක් අඩියක් ගානේ පීරන්නට විය. කුඩා කුඩා ගල් ගුහාද එකින් එක පරීක්ෂා කෙරිණි. එහෙත් කිසිදු හෝඩුවාවක් නොවීය.

එහෙත් එක් ගල් ගුහාවකින් දුමක් පිටවෙන ආකාරය ‍පොලිස් නිලධාරීන් විදුලි පන්දම් යොදාගෙන නිරීක්ෂණය කළේය. ගුහාවේ විවරය අඩි එකහමාරක පමණ උසින් යුතු විය. පුද්ගලයකුට එහි ඇතුළුවීම මහත් අපහසු කටයුත්තකි. ‍පොලිස් නිලධාරීන් දුටුවේ එක් අයකුගේ පාදයක කොටසක් එළියට තිබෙන අයුරුය. එම පුද්ගලයා ඒ වන විටද මියගොස් සිටියේය. ඔහුගේ සිරුර එළියට ගෙන බැලීමේදී දඩයම් බල්ලාද ගුහාව තුළ මියගොස් සිටියේය. තවත් නිරීක්ෂණය කරද්දී දුටුවේ අනෙක් පුද්ගලයාද මියගොස් ඇති බවය. ඔහු ඉත්තෑවකු අතින් අල්ලාගෙන සිටියේය.

මෙලෙස දඩයමේ යන බොහෝ දෙනකු ගල්ගුහා වල සිටින සතුන් ඇල්ලීම සඳහා දුම් ගසන්නේය. එහිදී සතුන්ට හුස්ම ගැනීමට නොහැකිව මිය යන්නේය. දඩයමේ ගිය සෙල්ලයියා සහ මහේෂ්වරන් මිය ගියේද කාබන්මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහනය වීමෙන් බව රාගල ‍පොලිසිය සැක පළකරයි. එය එසේ වූවත් මෙම මරණය වෙනත් ආකාරයකින් පවා සිදුවන්නට හැකියාව ඇති බැවින් ඒ ගැන ඇත්තේ ගැටලුවකි. ‍පොලිසිය නම් පවසන්නේ තවමත් මෙම ද්විත්ව මරණය අබිරහසක් බවය. එම අබිරහස විසඳීම සඳහා රාගල ‍පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඒ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේත් රජයේ රස පරීක්ෂකවරයාගේත් සහාය ‍පොලිසිය ඉල්ලයි.

සාලිය කුමාර ගුණසේකර