කුඩු නූර්ගෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ 10න් කිලෝ 04 ක් අස්ථානගතවීම ගැන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කොටකදෙණිය මහතා විසින් කළ හෙළිදරව්වට අනුව ‍පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතා විසින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමේ වගකීම පවරන්නේ ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. එහි සේවයේ නිරතව සිටි සහකාර ‍පොලිස් අධිකාරී සචිත්‍රානන්දන් මහතා විසින් ඒ ගැන පුළුල් විමර්ශනයක් පවත්වන්ට පියවර ගන්නේ ‍පොලිසියට ‍පොලිසිය ඇතුළෙන්ම එල්ලවී ඇති චෝදනාව සුළුපටු එකක් නොවූ බැවිනි.

විශේෂ විමර්ශන ඒකකය ඒ ගැන විමර්ශන පැවැත්වීමේදි පෙනී යන්නට වූයේ ඒ වන විටත් එම හොරොයින් කිලෝ 04 අතුරුදන් වීම ගැන ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා විධිමත් විමර්ශනයක නිරතව සිට ඇති බවය. ඒ අතුරුදන් වූ හෙරොයින් කිලෝ හතර සොයා ගැනීමටය. එවකට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාව සිටි ‍පොලිස් අධිකාරී රංජිත් වීරසූරිය මහතාගේ අධීක්ෂණයෙන් සහ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අමරජිත් සිල්වා මහතාගේ මෙහෙයැවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් තිබි ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිහාල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි. එම විමර්ශනයන්ට අදාළව උප ‍පොලිස් පරීක්ෂක වෙලගෙදර මහතා කුඩු නූර්ව මුණගැසීමට මීගමුව බන්ධනාගාරයට පවා ගොස් තිබුණේය. එහිදී කුඩු නූර් පවසා තිබුණේ කිලෝ 10ක් හෙරොයින් තමා ඉන්දියාවේ සිට එදා ගෙන්වූ බවය. අතුරුදන්ව ඇති කිලෝ 04 වැටලීම කළ ‍පොලිස් කණ්ඩායම් ප්‍රධානියා විසින් ධම්මික නමැති අයෙක් මාර්ගයෙන් සුදා නමැත්තාට ලබාදී ඇති බවත් ඔහු එය මයිකල් නමැති බෝට්ටු අලුත්වැඩියා කරන්නෙකුට ලබාදී ඇති බව එහිදී අනාවරණය වී තිබුණේය.

මෙම තොරතුරු සොයා ගන්නා විට අතුරුදන් වූ හෙරොයින් කිලෝ හතර සම්බන්ධයෙන් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරගෙන ගිය විමර්ශනය අත්හිටුවීමට නියෝගයක් ලැබෙන්නේ ඉහළ ‍පොලිස් නිලධාරියකුගෙනි. කොටකදෙණිය මහතා ‍පොලිස් මූලස්ථානයේදි පැවැති බුද්ධි රැස්වීමේදි හෙරොයින් කිලෝ හතර අතුරුදන්වීම ගැන ‍පොලිස්පතිවරයාව දැනුවත් කරන්නේ ඒත් එක්කමය.

මේ අතර කුඩු නූර් අධිකරණයට ප්‍රකාශයක් දෙමින් සදහන් කරන්නේ තමන්ව අත්අඩංගුවට ගත්තේ හලාවත මුතු පන්තියේදි නොවන බවය. ඔහු කියන්නට වූයේ තමාව ‍පොලිසිය අත්අඩංගුවට ගත්තේ වාරිය‍පොළදී බවය. තමන් අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් බිඳක් තමන් අත නොවූ බවද ඔහු සඳහන් කරන්නට විය. එදා කුඩු නූර් සමග අත්අඩංගුවට ගෙන සිටි පිරිස පස් දෙනෙකි. ඒ අයගෙන් එක් සැකකරුවෙක් හැරුණු කොට සියලු දෙනාම කියන්නට වූයේ තමන්ව අත්අඩංගුවට ගත්තේ හලාවතදී නොව වාරිය‍පොළදී බවය.

මේ තත්ත්වය මත හලාවත මහෙස්ත්‍රාත්වරයා හලාවත සහකාර ‍පොලිස් අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන්නේ වහාම ඒ ගැන විමර්ශනයක් පවත්වා හලාවතදී ඒ අය අත්අඩංගුවට ගත්තේදැයි පැහැදිලිවම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එහෙත් හලාවත සහකාර ‍පොලිස් අධිකාරිවරයා එම අධිකරණ නියෝගයට අවනත වී තිබුනේ නැත. ඒ තත්ත්වය මත සිදුවන්නේ වාරිය‍පොළදී අත්අඩංගුවට ගත් බව කියූ කුඩු නූර් ඇතුළු සිව් දෙනාවම අධිකරණය මගින් මුදාහැරීමය. ඒ ලංකා ඉතිහාසයේ එතරම් විශාල හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට සැකකරුවන් පිරිසක් මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ම මුදාහැරෙන පළමු අවස්ථාව ලෙස සටහන් වෙමිනි.

අධිකරණයෙන් එළියට ආ කුඩු නූර් ‍පොලිසියට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට විය. ඒ ‍පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට යමිනි. නිකරුනේ තමන්ව ‍පොලිසිය අත්අඩංගුවට ගත් බවට ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්නේ ලංකා ඉතිහාසයේ මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ‍පොලිසියට එරෙහිව ගිය පළමු අවස්ථාව බවට ඉතිහාසයේ තවත් සටහනක් එක්කරමිනි. කුඩු නූර්ගේ පාතාල රාජ්‍ය ශක්තිමත් වන්නේ මේත් එක්කමය. කුඩු නූර් වටා මාලිගාවත්තේ මුස්ලිම් තරුණයින් රොද බඳින්නට ගත්තේය. මුස්ලිම් පාතාලයද දෙකඩවන්නට ගත්තේය. බලය වෙනුවෙන් එකිනෙකා මරා ගන්නට පටන්ගත්තේ කොළඹ පාතාලයේ භීෂණයක් මතුවෙමිනි. ඒ අතර සියාම්ගේ තැන කුඩු නූර් ඇල්ලුවේ මත්කුඩු ජාවාරමේ අංක එක බවට පත්වෙමිනි.

එසේ කුඩු නූර් බලවත්වන විට ‍පොලිස් ලොක්කෝ ඔහුගේ දෙපතුල ලෙවකන්නට ‍පෝලිම් ගැසී සිටියේ රුපියල් ශතවලට වහ වැටීය. ‍පොලිස් ලොක්කන් කුඩු නූර්ගේ දෙපතුල ලෙවකන්නට පටන් ගැනීමත් සමග කුඩු නූර්ගේ බලය වර්ධනය වන්නේ බලා සිටියදීමය. මුස්ලිම් පාතාලයේ බලය ඒත් එක්කම නැවතත් කුඩු නූර් වෙත ඇදී එන්නට ගත්තේය. ඒ වන විට මුස්ලිම් පාතාලයේ නායකයාව සිටි ෆාජි සිටියේ බන්ධනාගාරගතවය. ඔහු හිරෙන් එළියට එනතුරු තාවකාලික නායකත්වය දැරුවේ අයුබ්ඛාන්ය. ෆාජිටත් වැඩක් දී මුස්ලිම් පාතාලයේ නායකයා වන්නට පෙරුම්පුරාගෙන සිටි අයුබ්ඛාන්ට අලුත්ම අභියෝගය බවට පත්වන්නේ කුඩු නූර්ය. එබැවින් කුඩු නූර්ට වැඩක් දෙන්නට අයුබ්ඛාන් තීරණය කළේය.

ඒ වන විට ආමර්වීදියේත් කෙසෙල්වත්තේත් පාතාලයේ බලය පැවතියේ කුඩු නූර් අතේය. කුඩු නූර්ට දේශපාලන සහ ‍පොලිස් බලයෙන්ද අඩුවක් නොවීය. මත්කුඩු ජාවාරමේද ඉනිපෙත්තටම ගොස් සිටි නූර් ඒ මුදල්වලින් දුප්පතුන්ට පවා සැළකුවේය. කෝටි ගණනක් වැයකරමින් පල්ලියක්ද ඔහු ගොඩනැගුවේ මත්කුඩු ජාවාරමේ පව් වැයැකෙන්නට විය හැකිය.

එදා 2002 වසරේ ජුනි 03 වෙනිදාය. වේලාව සවස 2.30 ට පමණ ඇත. ආමර්වීදියේ ගල්වලත් කෙසෙල්වත්තත් අතර බණ්ඩාරනායක මාවතේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයවෙත කුඩු නූර් පැමිණෙන්නේ ඔහුට අයත් සුභොපභෝගී මෝටර් රථයේ නැගීය. මේ කුඩු නූර් නිතර එන යන තැනකි. ඒ ආසන්නයේම ‍පොලිස් මුර‍පොලක් පිහිටා ඇති බැවින් කුඩු නූර් සිය ආරක්ෂාව ගැන මෙතැනදී එතරම් සැලකිල්ලක් දක්වන්නට යන්නේ නැත. ඒ ‍පොලිස් මුර‍පොල ඉදිරිපිටදී තමාව මරා දැමීමට තරම් හයියක් ඇති අයෙක් නැති බව ඔහු විශ්වාස කළ බැවිණි.

කුඩු නූර් සිය ගෝලයින් තිදෙනෙක් සමග ඒ වන විට සිටියේ ලොකු කථාවකට වැටීය. පන්ජාබ් වර්ගයේ ඇමින් සැරසුණු මුස්ලිම් පූජකවරුන් යැයි බැලූබැල්මට පෙනෙන දෙදෙනෙක් බණ්ඩාරනායක මාවත දිගේ ඇවිද අවුත් නූර් සිටි තැනට කිට්ටුකරන්නේ ඔය අතර තුරදීය. නූර් ඔවුන් දෙස බැල්මල් හෙලුවේ තමන් මුණගැසීමට පැමිණි පූජකවරු දෙදෙනෙක්දැයි කියාය වන්නට ඇත. ඒත් ඒ එක්කම ඔවුන් සිය ලෝගුව තුළින් එළියට ගන්නේ රිපීටර් වර්ගයේ තුවක්කුවක් සහ පිස්තෝලයකි. එම අවි දෙක එකවරම එල්ලවන්නේ නූර් දෙසටය. නූර්ගේ දෑස් මරණ බියෙන් වෙව්ලන්නට ගත්තේය. ආයාචනාත්මක බැල්මක් හෙලන්නට වූයේ අභයදානය ඉල්ලමිණි. එහෙත් කූලී ඝාතකයන් දෙදෙනාගේ හිත් ඒ බැල්මට තෙත්වූයේ නැත. සිය අතවූ ගිනි අවි වලින් වෙඩි උන්ඩ වර්ෂාවක් එල්ලකරන්නට වූයේ නූර්ගේ සිරුර පසාරුකරගෙන යන්නටය. වෙඩි පහරවල් කාගෙන නූර් හිතේ හයියෙන් ගොඩනැගිලි අස්සෙන් දිව ගියත් අවසානයේ ඔහු මැරී වැටෙන්නේ ‍පොලිස් මුර‍පොල ඉදිරිපිටදීය.

ඒත් එක්කම නූර්ගේ සගයන් තිදෙනාටද වෙඩි වර්ෂාවක් එල්ලවී තිබුනේය. නූර්ගේ ප්‍රධාන ගෝලයා වූ සියාම් එතැනම මැරී වැටෙන විට අනෙත් සගයන් දෙදෙනා ආගිය අතක් සොයා ගන්නට නොවීය. ඒ ඔවුන් වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතය ගලවාගෙන පැනගොස් සිටි බැවිණි.

තත්පර කිහිපයක් තුළ සිය ඉලක්කය සාර්ථකව ලබාගත් ලෝගුහැදි තුවක්කුකරුවන් දිව යන්නට වූයේ ‍පොලිස් මුර‍පොල ඉදිරියෙන්මය. බණ්ඩාරනායක මාවතේ මද දුරක් ඉදිරියට දිව ගිය ඔවුන් මාර්ගය අයිනේ නතරකර තිබුණු සුදු පැහැති වෑන් රථයකට ගොඩ වී පලාගියේ තමන් ගැන කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිණි. මුස්ලිම් පාතාලයේ ආරම්භක සැගවුණු කල්ලි නායකයා මෙන්ම එවකට මෙරට සිටි අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ඉරණම වයස අවුරුදු 35 දී එසේ විසදෙන විට මුස්ලිම් පාතාලය දෙකඩ වෙන්නේ අයුබ්ඛාන් සහ ෆාජි අතර ඇතිවන බලඅරගලයත් සමගිණි. කියැවෙන්නේ කුඩු නූර්ගේ ඝාතනය පවා ඒ බල අරගලයේ කොටසක් බවය. එකී ඝාතනය බැරවන්නේද අයුබ්ඛාන්ටය. එහෙත් කුඩු නූර්ගේ ඝාතනය සැබෑ ලෙසම අයුබ්ඛාන්ගේ උවමනාවකට සිදුවූවක්දැයි තවමත් ඇත්තේ ප්‍රහෙළිකාවක් ලෙසිණි. ඒ කුඩු නූර් සමග ‍පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ කිහිප දෙනෙක්ම අභිරහස් ලෙස ඝාතනය වූ බැවිණි.

කුඩු නූර් සමග කුඩු ගණූදෙනු කළ කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් ඝාතනය වන අයුරු ලබන සතියට