කොළොන්නාව ඩී. ආනන්ද රාජා පාරේ පදිංචිව සිටි විරාජ් පාලිගේ පුෂ්ප කුමාර විසි දෙහැවිරිදි වියෙහි පසුවූ තරුණයෙකි. කෙළිලොල් ජීවිතයක් ගත කළ පුෂ්ප කුමාර තරුණයා සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමගද වරින් වර ගැටුම් ඇති කර ගත්තේය. ඒ අය අතර පාතාලයට සම්බන්ධ පිරිස්ද නැතුවාම නොවේ. වරෙක ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නටද සිදුවිය. තවත් වරෙක ඔහු පදවාගෙන ගිය යතුරුපැදියට වෙට්ටුවක් දැමුවේයැයි කියා ත්‍රිරෝද රථ රියැදුරෙකුට සාලමුල්ල, ගමගේ වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළේය. මේ නිසා ඔහුට දින තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වන්නට සිදුවිය. පසුව ඔහු ඇප මත මුදාහැරුණි.
පුෂ්ප කුමාර කාන්තා ඇසුරට මහත් ලොල්කමක් දැක්වූවේය. ඔහුගේ ෆේස් බුක් ගිණුමේ වැඩි වශයෙන් සිටියේ තරුණියන්ය. එම තරුණියන්ට ඔහු කෙටි පණිවුඩ යවමින් අදහස් හුවමාරු කර ගත්තේය. ඇරැව්වල, බෝකුන්දර පාරේ පදිංචිකාරියක වූ ගයාත්‍රි පුෂ්ප කුමාරගේ ෆේස් බුක් ගිණුමට අලුතෙන්ම සම්බන්ධ වූ තරුණියයි. ඇය කෙටි පණිවුඩ යවමින් පුෂ්ප කුමාර සමග ඉක්මනින්ම මිතුරු වූවාය. මේ මිතුරුකම කෙටි කාලයකදී පෙම් සබඳතාවක් බවට පත් විය.
අනේ… අපි ඉක්මනට මුණ ගැහෙමුකෝ.යැයි වරෙක ගයාත්‍රි යැවූ කෙටි පණිවුඩය පුෂ්ප කුමාරගේ ඉහේ මලක් පිපුණා බඳු විය. පුෂ්ප කුමාර සැලසුම් කරන්නේ ඇය සමග කාමරයකට ගොස් එකට සිටින්නටය. ඔහු ඇයට ඒ බව නොකියා කීවේය. ඇගෙන්ද ඊට අකමැත්තක් ප්‍රකාශ නොවූවාය. එහි ප්‍රතිඵලයක් වන්නේ දෙදෙනා ඉක්මනින්ම මුණගැසීමට කතිකා කර ගැනීමය.

රත්තරං මට ඔයාව බලන්න ඕනේ… හෙට (07) උදේ පාන්දරම අපේ අම්මයි තාත්තයි ගමනක් යනවා. ඔයා අපේ ගෙදර එන්න. මම ඔයාව එක්කරගෙන යන්න මගට එන්නම්.
ඉකුත් 06 වැනිදා රාත්‍රී කාලයේදී ගයාත්‍රි පුෂ්ප කුමාරටගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එන්නේ ඇගෙනි. එම කෙටි පණිවිඩය දුටු පුෂ්පකුමාරගේ ඉහේ මලක් පිපුණේය. 07 දා පාන්දරින්ම නැගිට්ටේ ගයාත්‍රි්‍ර මුණගැසීමට නිවසින් පිටව යන්නට සූදානමිනි.

ඔයා මහරගම ඇරැව්වල පන්සල ළඟට එන්න. මම එතනට එන්නම් යැයි උදේ පාන්දරම ගයාත්‍රි දුරකථන ඇමතුමක් ගෙන පුෂ්ප කුමාරට කීවේ නිවසින් එළියට බසිනවාත් එක්කමය.
ජැන්ඩියට හැඳ පැලද සිටි පුෂ්පකුමාර උදේ පාන්දරින්ම සිය යතුරු පැදියෙන් ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසලට ගියේ දහසක් බලා‍පොරොත්තු ‍පොදි බැදගෙනය.
පැටියෝ. . . ඔයා මම එනකම් පන්සල ඉස්සරහටම වෙලා ඉන්න. කොහේටවත් යන්න එපා හොඳේ. . . යැයි ගයාත්‍රි නැවත වරක් ඔහුට දුරකථන ඇමතුමක් ගෙන කීවාය.

ෆේස් බුක් ගිනුමේ තිබුණු ගයත්‍රිගේ ඡයාරූපයට අනුය ඇය රූපසුන්දරියකි. ඒ වන විට පුෂ්පකුමාර ඇයට වශී වී සිටියේය. ඒ නිසාම ගයාත්‍රි එනතුරු පුෂ්ප කුමාර විහාරස්ථානය ඉදිරියටම වී සිටියේය.
මහත්තයෝ… පන්සල ඉස්සරහා කවුදෝ කෙනෙක්ව කපලා මරලා දාලා… යැයි මහරගම ‍පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔය අතරතුරදීය. එම ඇමතුම ලබා දෙන්නේ ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ හිමි නමක් විසිනි. දුරකථන අමතුමට අනුව මහරගම ‍පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා ඇරැව්වල විහාරස්ථානයට ගියහ.
කැපුම් තුවාල සහිතව ‍ලේ විලක් මැද වැටී සිටි තරුණයෙක්ගේ සිරුරක් විහාරස්ථානය ඉදිරිපිටම ඇති අයුරු එහිදී ‍පොලිසිය දුටුවේය. එම කැපුම් තුවාල කඩුවකින් කළ ප්‍රහාරයක් බව බැලූ බැල්මටම ‍පොලිසියට පෙනී ගියේය. තරුණයා කවුදැයි හඳුනාගත නොහැකි තරමටම ඔහුගේ සිරුරේ කැපුම් තුවාල විය. අතක් වෙන්වන්නට කපා තිබුණේය. අනෙත් අතේ ඇඟිල්ලක් කැපී විසි වී තිබුණේ මීටර් ගණනාවක් ඈතටය. දැඩි වෛරයකින් මෙම ඝාතනය කර ඇති බව කැපුම් තුවාලවලින්ම පෙනී ගියේය.

මෙසේ ඝාතනයට ලක්ව සිටින පුද්ගලයා කවුරුන්ද? ‍පොලිසියට මුලින්ම පැන නැගුණු ගැටලුව විය. ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණු ‍පොකට්ටුවෙන් එළියට ආ ජාතික හැඳුනුම්පතින් ඔහුගේ අනන්‍යතාව ‍පොලිසිය සොයා ගත්තේය. ‍පොලිසියට ඒ අනුව පැහැදිලි වූයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ විරාජ් පාලිගේ පුෂ්ප කුමාර නැමති විසි දෙහැවිරිදි තරුණයා බවය. මෙම ඝාතනය සම්බන්ධව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. ඒ වන විටත් තරුණයාගේ ජංගම දුරකථනය තිබෙන්නේ අතුරුදන්වය. එමහ ජංගම දුරකථනයේ අංකය ඔස්සේ ‍පොලිසිය එය ජාල පරීක්ෂාවකට ලක්කරන්නේ විද්‍යාත්මක විමර්ශනයක් ආරම්භ කරමිනි. ඔහු අන්තිම ඇමතුම ගෙන තිබුණේ ගයාත්‍රි සමග බව අනාවරණය වන්නේ එවිටය. ගයාත්‍රි සමග ඔහු දිගින් දිගටම දුරකථන සංවාදයේ යෙදී සිට ඇති බව පැහැදිලි කර ගත් ‍පොලිසිය ඇයව සොයන්නට ගත්තේ වැදගත් යමක් දැනගන්නට හැකිවෙතැයි අනුමාන කරමිනි.

විසි දෙහැවරදි වියේ පසුව ගයාත්‍රි සහ ඇගේ පෙම්වතා වූ 22 හැවිරිදි තරුණයෙක් පසුගිය 15 දා අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා දෙක යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ පරීක්ෂණවලින් හෙළිවූ තොරතුරු මතය. ඔවුන් දෙදෙනාම ඇරැව්වල, බෝකුන්දර පාරේ පදිංචිකරුවන්ය. ඔවුන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන් දෙදෙනාගෙන් ‍පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය විය.
මීට කලකට ඉහතදී පුෂ්ප කුමාරගෙන් ප්‍රහාරයට ලක්වූ තරුණයාට තවත් සොහොයුරෙකුද විය. ඔවුන් දෙදෙනා සමීප තවත් මිතුරන් දෙදෙනකු සමග නිරතුරු කතා බහ කළේ පුෂ්ප කුමාරට පාඩමක් උගන්වන්නේ කෙසේද යන්නය. මේ දෙසොහොයුරන් සහ මිතුරන් දෙදෙනා ඒ සඳහා අපූරු උපායක් යෙදුවේය. ඊට ඔවුන් යොදා ගත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මිතුරෙකු හරහා හඳුනාගත් පෙම් යුවළකි. මේ යුවළට පරිගණක තාක්ෂණය පිළිබඳව පුළුල් දැනුමක් විය. ඒ ගයාත්‍රි සහ ඇගේ පෙම්වතාය. ගයාත්‍රි ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහා පුෂ්ප කුමාර සමග ගයාත්‍රි මිතුරු කමක් ගොඩනගා ගන්නේ මේ තරුණයින් සිව් දෙනොගේ උපදෙස් මතය. ගයාත්‍රි මැසෙන්ජර් හරහා පුෂ්ප කුමාර සමග මිතුරු කම පෙම් සබඳතාවක් දක්වාම ගොඩනගා ගත්තේය.

ගයාත්‍රි පුෂ්ප කුමාරට ඇරැව්වල පුරාණ විහාරස්ථානය ඉදිරිපිටට පැමිණෙන ලෙස කියන්නේ දෙසොහොයුරන් සහ ඔවුන්ගේ මිතුරන් දෙදෙනාගේ උපදෙස් පරිදිය. මේ සිව්දෙනා සහ තවත් දෙදෙනෙකු ඉකුත් 06 දා මෝටර් රථ දෙකකින් පැමිණ රාත්‍රිය ගත කරන්නේ මේ පෙම් යුවළ පදිංචිව සිටි නිවසකය. මේ එක් මෝටර් රථයක් අංගොඩ ප්‍රදේශයේ වාහන කුලියට සපයන ස්ථානයකට අයත් එකකි. එම මෝටර් රථ දෙකෙහි කඩු තුනක්ද සඟවා තිබුණි. තරුණයා සහ තරුණිය පදිංචිව සිටි ඇරැව්වල නිවසේදී ඔවුන් මත්පැන් සාදයක්ද පවත්වා තිබේ. සාදය අතරතුරදී ඔවුන් කතාබහ කරන්නේ පුෂ්ප කුමාර ඝාතනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. නමුත් තරුණ පෙම් යුවළට පුෂ්ප කුමාර ඝාතන සැලසුම පිළිබඳව ඔවුන් වචනයක්වත් නොපැවසීමට වගබලා ගත්හ.

පසුදා අළුයම ගයාත්‍රි සහ ඇගේ පෙම්වතා යතුරු පැදියක නැගී මේ පිරිස කැඳවාගෙන ගොස් පුෂ්ප කුමාර විහාරස්ථානය අසල සිටිනා අයුරු පෙන්වා ගියේය. වාහන දෙකෙන් කඩු රැගෙන බැසගත් පිරිස වහා පුෂ්ප කුමාරට පහර පිට පහර දුන්නේය. කෙසෙල් කඳක් කඩා වැටෙන පරිද්දෙන් පුෂ්ප කුමාර බිම වැටුණේ අවසන් හුස්ම ‍පොද වාතලයට මුසු කරමිනි. පුෂ්ප කුමාර පැමිණි යතුරු සහ ඔහුගේ ජංගම දුරකථනයද ඔවුන් පැහැරගෙන ගියේය.

මේ තරුණ යුවළ අනෙක් සැකකරුවන් හයදෙනා පිළිබඳව ‍පොලිසියට පා‍පෝචාරණය කළේය. එම තරුණයින් අවුරුදු 19, 22, 24, 26 යන වයස්වල පසුවන්නන්ය. එමෙන්ම ඔවුන් ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. පුෂ්ප කුමාර ඝාතනය කර පැහැරගත් යතුරුපැදිය ඔවුන් තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවක් අසල දමා ජංගම දුරකථන දෙක දියවන්නා ඔයට විසිකර තිබුණි. අනතුරුව මේ සිව්දෙනාගෙන් දෙදෙනකු කඩවත ප්‍රදේශයටද, සිව් දෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයටද පලාගොස් සිටියේය. මින් සිව් දෙනෙකු ‍පොලිසිය අත්අඩංගුවට ගත් අතර, අනෙක් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඉන් එක් අයෙකු රටින් පලාගොස් සිටින පාතාල සාමාජික දිනුක නමැති අයගේ ගෝලයෙකු බවද ‍පොලිසිය පවසයි.
ඝාතනයට යොදා ගත් කඩු තුන සහ මෝටර් රථ දෙකද ‍පොලිසිය සොයා ගන්නා ලදි.

බස්නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර ‍පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, උප ‍පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (40248) ප්‍රසන්න, (77688) අමිල, (81600) සමීර, (72338) ලලන්ත, (72989) ගිහාන්, (84762) කුමාර, (84426) ප්‍රදීප්, (21284) බණ්ඩාර යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කළහ.

සාලිය කුමාර ගුණසේකර