මීරිගම, තිලිණිගම පදිංචිව සිටි කේ.පී. ගංගා මධුභාෂි මධුරංගි 52 හැවිරිදි එක්දරු මවක් වූවාය. ඇය සිය නිවසේ පදිංචිව සිටියේ පවු‍ලේ ඥාතීන් කිහිපදෙනකු සමගය. ඇය ප්‍රදේශයේ කිසිවකුට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වූවාය.

මෙම කාන්තාව ඉකුත් 14 රාත්‍රී දහයට පමණ නින්දට ගොස් ඇතැයිද පසුදින 15 උදේ ඥාති සොහොයුරියක් බලද්දී ඇය හිසෙන් ලේ ගලමින් ඇඳේ සිටිනු දැක වහාම රෝහල් ගත කර ඇතත් ඒ වන විට මියගොස් සිටි බව හෙලිවී යැයි පොලිසිය කියයි.

වසා තිබූ නිවසේදී අබිරහස් අන්දමින් හිසෙන් ලේ ගලන තියුණු කැපුම් තුවාලයක් සහිතව නිදි ඇඳේ ලේ විලක් මත සිටියදී රෝහල් ගත කෙරුණු එක් දරු මවකගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා සිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛi විශේෂඥවරයා ලවා පරීක්ෂණයට ලක් කර වාර්තාවක් ලබාගන්නා ලෙස අත්තනගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. ජයසේකර මහතා පෙරේදා 15 සවස මීරිගම පොලිසියට නියෝග කළේය.

දොර ජනෙල් වසා තැබීමෙන් පසු රාත්‍රී කාලයේ නිවසට කිසිවකු ඇතුළු වූ හෝ පිටවූ බවට කිසිදු සලකුණක් නැති බව පවසන පොලිසිය මෙම කාන්තාව නින්දට යද්දී සිරිත් පරිදි කාමරය ඇතුළතින් අඟුලු දමා ගැනීම සිරිතක් වුවත් සිද්ධිය වූ දා කාමරය විවෘත තිබී ඇති බවත් හෙළි වී ඇත. එදින රාත්‍රී මෙම කාන්තාව මදුරු දැල දමා නැති බවද ඇඳ ඇතිරිලි පොඩි වී හෝ දඟලන ලද බවට කිසිදු සලකුණක් නොවූ බවද කියන පොලිසිය ඇගේ හිසේ කන අසල ඇති තියුණු කැපුම් තුවාලයෙන් ගලන ලද ලේ බිඳුවක් හෝ අවට විසිරී නොමැතිවීම පුදුමයට කරුණක් වන බවද පොලිසිය සඳහන් කරයි. තුවාලයෙන් ගලන ලද ලේ හිස ආසන්නයේ කොට්ටයේ හා මෙට්ටය දක්වා පමණක් පැතිරී ඇති බවට පොලිසිය නිරීක්ෂණය කර ඇත.

පිහි ඇනුමකට ලක්වූ කාන්තාව නිදි ඇඳේ නිසොල්මන් අන්දමින් සිටීමට හේතු වී ඇත්තේ අපරාධකරු සිදුකළ කිසියම් උපක්‍රමයක් නිසා බවට පොලිසියට සැක පහළ වී තිබේ. නිවසේ ඒ අවස්ථාවේ සිටි කිසිවකුට හඬක් නොනැගෙන අන්දමින් මේ මිනීමැරුම කරන්නට ඇත්තේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇත. මෙම පවුලේම සාමාජිකයන් පිරිසක් යාබද නිවසක වෙසෙන බවද අලුයම 4.45 ට පමණ කිසියම් කෙඳිරිල්ලක් ඒ නිවසේ සිටි කාන්තාවකට ඇසී ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

සිද්ධිය වූ කාමරය නීරික්ෂනය කළ පොලිස් නිල සුනඛයා අසල කාමරයක ඇඳ මතට නැගී ඇති අතර එම කාමරයේ මෙම පවුලේ ඥාතියකු වෙසෙන බවද පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව නිවසේ සිටි පිරිසගෙන් මෙන්ම ඒ අවස්ථාවේ නිවසේ නොසිටි සැමියා හා පුතාගෙන්ද පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක (සොකෝ) නිලධාරීන්ද ස්ථාන පරීක්ෂණයක් කර ඇති අතර කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති අතර මෙම සිදුවීම අබිරහසක් බවට නිගමනය කර ඇත.

අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ. ජයසේකර මහතා පෙරේදා 15 සවස මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද අතර මීරිගම මූලික රෝහලේදී සිරුර පරීක්ෂාවට ලක් කරනු ලැබීය. මරණකාරියගේ කන අසල පලලැති ගැඹුරු තුවාලයක් ඇති බව එහිදී අනාවරණය විය. අනතුරුව සිරුර ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥවරයා ලවා පරීක්ෂණයට ලක් කර වාර්තාවක් ලබාගන්නා ලෙස අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 16 දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක ආර්.පීරිස්, පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න, උසාවි කටයුතු බාර උප පොලිස් පරීක්ෂක සුභසිංහ, පොලිස් සැරයන් (6862) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (49747) ලසන්ත, (53360) පෙරේරා, 57856 සිසිර, පොලිස් කොස්තාපල් රියැදුරු (34924) හෙට්ටිආරච්චි යන නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටිති.

මීරිගම වාර්තාකරු