සචිනි රූප ස්වභාවයෙන්ද අඩුවක් නොවූ කාන්තාවක් වූවාය. තිස් හැවිරිදි වියෙහි පසුවූ ඇය විවාහ වී සිටියේ තිස් දෙහැවිරිදි වියෙහි පසුවූ අයකු සමගය. ඔහු වෘත්තියෙන් යුද හමුදා සිවිල් සේවකයකු විය. දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවති පෙම් සබ¼ඳතාවකින් අනතුරුව සචිනි සිය පෙම්වතා සමග විවාහ වූවාය. ඊට දෙපාර්ශ්වයේම ආශිර්වාදයද ලැබුණි. මේ යුවළ පදිංචිව සිටියේ හෝමාගම, අතුරුගිරිය පාරේ පිහිටි නිවසකය.

විවාහවී ටික කාලයක් ගත වෙද්දී මේ යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. සිය සැමියා රැකියාවට ගිය පසු සචිනි කාර්යබහුල වූවාය. දරුවන් පාසල් යැවීම, නිවසේ කටයුතු කිරීම ආදිය නිසා සචිනිට නිදහසක් නොවීය. සචිනිගේ සැමියා රැකියාවට ගිය පසු නැවත නිවසට පැමිණෙන්නේ දින ගණනකට පසුවය. මේ නිසා නිවසේ සචිනි සිය දරු දෙදෙනා සමග තනිවම කාලය ගත කළාය.

සචිනිගේ නිවසට නිතරම ආ ගිය පුද්ගලයකු විය. ඔහු වෙන කිසිවකු නොව සචිනිගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාය. නිවසේ දරු දෙදෙනා සමග තනිවම සිටි සචිනිට සිය සැමියාගේ සහෝදරයාගේ පැමිණීම මහත් ආරක්ෂාවක් විය. දවසකට එක් වරක් පමණක් පැමිණි ඔහු කල් යත්ම දවසකට දෙතුන් වතාවක්ම සචිනිත් දරුවනුත් බැලීමට පැමිණියේය. දරුවන්ට ඔහු ටොපි චොක්ලට් රැගෙන ඒමටද අමතක නොකළේය. කාලයත් සමග සචිනි සහ ඇගේ සැමියාගේ සොහොයුරා අතර පෙම් සබඳතාවක් ගොඩනැගෙන්නට විය. ඊට සචිනිද එතරම් අකමැත්තක් නොදැක්වූවාය.

අයියේ මේක අපේ එක්කෙනා දැන ගත්තොත් නම් විසුමක් වෙන එකක් නෑ. යැයි සචිනි ඔහුට පැවසුවේය.
නංගි බය වෙන්න එපා. ඔයාගේ ඕනම දේකට මම ඉන්නවානේ. මල්ලි අපි දෙන්නා ගැන සැකයක් හිතන එකක් නම් නෑ. ඔහු නිතරම සචිනිව අස්වැසුවේය.

මෙලෙස ක්‍රමයෙන් කාලය ගලා ගියේය. දැන් සචිනිට සිය සැමියාට වඩා වටින්නේ ඔහුගේ සොහොයුරාය. ඇයට ඔහු නොදැක ඉන්න බැරි විය. කෙසේ හෝ කාලය ක්‍රමයෙන් ගෙවී යත්ම මේ පෙම් රහස ප්‍රදේශවාසීන්ට අලුත් දෙයක් නොවීය. මෙය කනින් කොනින් සචිනිගේ සැමියාගේ කනටද ගියේය.

ඇත්ත කියපන්. උඹ අරුත් එක්ක සම්බන්ධයක් තියෙනවා නේද? කොයි වෙලාවක හරි උඹලා දෙන්නා මගේ අතට අහුවෙයිනේ. ඒ වෙලාවට බලාගමුකෝ වෙන්නේ මොනවාද කියලා. සචිනිගේ සැමියා නිවාඩු ලබා නිවසට පැමිණි අවස්ථාවක සිය බිරිඳට ගෝරනාඩු කළේය.

මේ සිද්ධිය මුල් කරගනිමින් දෙන්නා දෙමහල්ලෝ අතරම නිතරම අඬ දබර සිදුවිය. අසල්වාසීන්ට එය කාලයත් සමග සුපුරුදු සිදුවීමක් විය. වරෙක සචිනිගේ සැමියා කෝපයට පත්ව සචිනිට අතින් පයින් පහර දුන්නේය.
සචිනිගේ සැමියා නිවසට පැමිණි පසු ඇය ඔහුගේ සහෝදරයා සමග සබඳතා පැවැත්වූයේ දුරකථනයෙනි. දෙදෙනා කෙටි පණිවුඩ ඔස්සේ අදහස් හුවමාරු කර ගත්තේය. මෙය හොර රහසේ කරගෙන යාමට සචිනි වගබලා ගත්තාය.
දිනක් ඇයගේ දුරකථනයට සිය සහෝදරයා එවූ කෙටි පණිවුඩයක් සචිනිගේ සැමියාගේ අතටම හසුවිය. නිවස එකම ගිනි ජාලාවක් බවට පත්වූයේ මෙම සිද්ධියත් සමගිනි. කුඩා දරුවන් දෙදෙනා දෙමාපියන්ගේ ඇගේ එල්ලෙමින් හඬා වැටෙන්නට වූහ. සචිනිගේ සැමියා හැසිරුණේ යක්ෂාවේශ වූවෙක් පරිද්දෙනි. ඔහු සචිනිට අතින් පයින් පහර දෙන්නට වූයේ මෘගයෙක් ලෙසිනි. අනතුරුව ඔහු නිවසේ පසෙක තිබූ ලී වංගෙඩියේ මෝල් ගස රැගෙන සචිනි පසු පස පන්නට ගත්තේය.

අනේ මාව බේරාගන්න සචිනි මොරදෙන්නට වූවාය.
සචිනිගේ සැමියා සිය බිරිඳගේ හිසටම මෝල්ගස් ප්‍රහාරය වේගයෙන් එල්ල කරන්නට විය. බුදු අම්මෝ කියමින් සචිනි බිම ඇඳ වැටුණේ කුඩා දරු දෙදෙනාට සිය ආදරණීය මව සඳහටම අහිමි කරමිනි.

සචිනිට මෝල් ගස් ප්‍රහාරය එල්ල කළ ඇගේ සැමියා නිවසේ තිබූ ලණුවක් ගෙන නිවස අසල වූ දෙල් ගසට නැග්ගේ ගෙල වැලලාගෙන සියදිවි නසා ගන්නට සිතාගෙනය. ලණුව අත්තක ගැටගසා අනෙක් කොන ඔහු සිය ගෙ‍ලේ පටලවා ගන්නා අයුරු දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක විය. බෙල්ලට තොණ්ඩුව දමාගෙන ගසෙන් ඔහු බිමට පැන්නත් ප්‍රදේශවාසීන් දැඩි පරීශ්‍රමයක් යොදා ඔහවු බේරා ගත්තේය. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඔහුව වහාම හෝමාගම රෝහලට ඇතුලත් කෙරුවේය. ඒ වන විටත් ඔහු සිය බිරිඳ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් දැන සිටියේ නැත. සියල්ල දැන ගන්නේ ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුවය.

එස්.කේ. ගුණසේකර