දැනට වසර ගණනාවක සිටම මෙරට අලින්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ නරක කල දසාවකට යැයි කිවහොත් නිවැරැදිය. ඒ දේශපාලන පක්ෂ බදාගෙන සිටින දෙපා අලින්ට නොව කැලෑවේ වෙසෙන සිව්පා අලින්ටය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වෙසෙන අලි සහ ඇත් ගහනය එන්න එන්නම අඩුවෙමින් පවතී. අලි සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින දෙපාර්තමේන්තු හෝ අමාත්‍යාංශ මේ සම්පත රැක ගැනීමට සිදුකර ඇත්තේ කුමක්ද යන්න ප්‍රහේලිකාවකට තුඩුදෙන කාරණයකි.

ජලය සොයමින් ගිය නව දෙනකුගෙන් යුත් අලි රංචුවක් ‍පොළොන්නරුව ප්‍රදේශයේදී ජපන් ජබර ශාකවලින් ගහන ගඟකට බිලි වූයේ මීට මාසයකට පමණ ඉහතදීය. එම සිද්ධිය වී මාසයක් ගතවූ පසු අසන්නට ලැබුණේ තවත් ව්‍යසනයකි. එය නම් ගැබ්බර ගැහැනු අලියකු ඇතුළු ගැහැනු අලි තිදෙනකු දුම්රියක ගැටී මිය ගිය පුවතය. හබරණ සහ පලුගස්වැව යන දුම්රිය ස්ථාන අතර 127 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදීය. මේ නිසා දිනෙන් දින දුම්රියට ගැටී ජීවිත අහිමි වූ  මෙරට අලි මරණ ගොන්නට තවත් තිදෙනෙක් එකතු වූහ.

වයඹ සහ මහවැලි කලාපයේ සිටින අලි මෙලෙස වරින් වර දුම්රියේ ගැටී මිය යන්නේ අද ඊයේ සිට නොවේ. එය කාලයක් තිස්සේ සිදුවන්නකි. දුම්රියට බිලිවන අලි ප්‍රමාණය අවම කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර විවිධ සැලසුම් සකස් කළද ඒවා පුස්සක් බවට පත්විය. මේ සම්බන්ධව පරිසර සංවිධාන, වනජීවී ක්ෂේත්‍රයේ නිරත කණ්ඩායම් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා 2013
වසරේදී එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් නම් කරනු ලැබිය.

එය නම් වයඹ සහ රජරට කලාපයේ රාත්‍රී දුම්රියවලට විනිවිද පෙනෙන කැමරා සවි කරන බවය. නමුත් එය අද වනතුරුම ක්‍රියාත්මක නොවීය. එදා සිට අද වනතුරුම දුම්රියට බිලිවන අලි ප්‍රමාණය වැඩිවීම පමණක් සිදුවී ඇත.

දුම්රියක ගැටී අලි හය හත්දෙනකු මිය ගිය පුවතක් වාර්තා වූයේ මීට වසර හතකට පමණ ඉහතදීය. ඒ ගල්ගමුව ප්‍රදේශයෙනි. දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි අලි හත්දෙනා දුම්රියේ ගැටීමෙන් පසු උන්ගේ සිරුරු කොටස් සී සීකඩ විසිරී ගොස් තිබුණි. මෙම සිද්ධියෙන් පසුවද වරින් වර දුම්රියේ ගැටී අලි මරණ රැසක් සිදුවිය. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි සාමාන්‍යයෙන් වසරකට අලි 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් දුම්රියේ ගැටී මිය යන්නේය. වනජීවී කටයුතු භාරව සිටින දේශපාලනඥයින්ට මේවා ගැන වගේ වගක් නැති තරම්ය.

ඉකුත් 18 දා අලුයම් කාලයේදී කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට මඩකලපුව බලා දුම්රියක් ඉන්ධන රැගෙන යමින් තිබූණි. දුම්රිය පැයට සැතපුම් 35 ක පමණ වේගයෙන් ධාවනය වෙමින් පැවතියේය. ඒ වන විට දුම්රිය හබරණ සහ පලුගස්වැව යන දුම්රිය ස්ථාන අතර වූ කිලෝමීටර් 204 කණුව අසලින් ධාවනය කරමින් තිබුණි. මේ ස්ථානය අලි මංකඩකි. හුරුළු රක්ෂිතයේ සිට රිටිගල රක්ෂිතයට අලි එහා මෙහා මාරු වන්නේ මේ ස්ථානයෙනි.

ඉන්ධන දුම්රිය මඩකලපුව බලා ධාවනය වෙමින් පැවති අවස්ථාවේ අලි තිදෙනකු එකවරම දුම්රිය මාර්ගය හරහා මාරු වන්නට විය. අලි තිදෙනාගේ සිරුරේ කොටස් සී සීකඩ විසිරී ගියේය. දුම්රිය පීලි පැනීම නිසා දුම්රියේ ඉන්ධන පිරවූ ටැංකි කීපයක්ද පෙරළී ගියේය. ඉන් ගලා යන ඉන්ධන එකතු කර ගැනීමට ප්‍රදේශවාසීන් වැල නොකැඩී පැමිණියේ මිය ගිය අලි තිදෙනා දෙසවත් නොබලාය.

දුම්රිය පැමිණෙනවාත් සමග අලි රංචුව එකවරම පාර හරහා පැන්න බව දුම්රිය රියැදුරුවරයා වනජීවී නිලධාරීන් සමඟ කීවේය.

මෙම අනතුරින් අවුරුදු 18 ත් 20 ත් අතර වයසැති ගැබ්බර ගැහැනු අලියකු සහ අවුරුදු 12ක් සහ 08ක් වයසැති ගැහැනු අලි දෙදෙනකුද මිය ගියේය. ගැබ්බර ගැහැනු අලියා දුම්රියේ ගැටුණු පසු සිය පැටවා ප්‍රසූත කලද,පැටවාද මිය ගියේය. ගැබ්බරව සිටි ගැහැනු අලියා සහ තවත් ගැහැනු අලියකුගේ සිරුරේ කොටස් සී සී කඩ විසිරී ගොස් තිබුණු බව වයඹ වනජීවී කලාපයේ පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ මහතා පැවසීය. එක් ගැහැනු අලියකුගේ හිස ‍පොඩි පට්ටම්වී තිබුණි.

දුම්රිය එද්දී සුළඟ විරුද්ධ දිශාවට තිබුණොත් දුම්රියේ සද්දේ අලින්ට ඇහෙන්නේ නෑ. වංගුවලින් එද්දී ලයිට් එක විතරයි පේන්නේ. ළඟට එනකම්ම සද්දයක් ඇහෙන්නේ නෑ. මේ නිසා අලින්ට යම් අනතුරක් ගැන අවබෝධයක් නෑ. සමහර අලි පැටව් රේල් පාර මැදටම වෙලා ඉන්නවා. යැයි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසන්නේය.

වයඹ සහ වනජීවී කලාප ආශ්‍රිතව තිබෙන දුම්රිය මාර්ගවලදී දුම්රියේ ගැටී මිය යන අලි ප්‍රමාණය එන්න එන්නම වැඩි වී තිබේ. ගල්ගමුව-හබරණ-‍පොළොන්නරුව සහ අනුරාධපුර එම දුම්රිය මාර්ගයන්ය. මෙම දුම්රිය මාර්ගයන්හි තැන තැන අලිමංකඩවල් රැසක් දක්නට ඇත. එම ස්ථානවල පූවරු පවා සවිකර ඇත. එමෙන්ම දුම්රිය රියැදුරන් මෙම කලාපවලදී දුම්රිය පැයට සැතපුම් 15 ත් 20 ත් අතර වේගයකින් වත් ධාවනය කළ යුතුය. ඒ අලින්ට සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහාය. නමුත් බොහෝ දුම්රිය රියැදුරන් එම වේග සීමා අනුගමනය නොකරති. ඉතා වේගයෙන් දුම්රිය ධාවනය කරන්නේ අලි මංකඩවල දුම්රිය ධාවනය කළ යුතු වේගයන් පිළිබඳවවත් නොසලකාය. අවම වශයෙන් දුම්රිය මාර්ගයේ අලි මාරු වන ස්ථාන පිළිබඳව ප්‍රදර්ශනය කර තිබෙන පූවරුවත් තුට්ටුවකට මායිම් කර නැත.

මෙම දුම්රිය මාර්ග කලාපයේ අලින්ට සිදුවිය හැකි අනතුරු අවම කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වරෙක තීරණයක් ගත්තේය. එය නම් මෙම දුම්රිය මාර්ගවල රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රිය එන්ජිමෙහි වනජීවී නියාමකවරයකුද ගමන් කරවීමය. නමුත්,එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ සති කීපයක් පමණි. ඊට හේතුව නම් දුම්රිය රියදුරන් බොහෝ දෙනකු වනජීවී නිලධාරීන් දුම්රිය එන්ජිමේ රැගෙන යාමට අකමැති වීමය. මන්ද යත් එම දුම්රිය රියැදුරන් බොහෝ දෙනකු රාත්‍රී කාලයේ දුම්රිය පදවනු ලබන්නේ මත්පැන් පානය කර නිසාවෙනි. මේ නිසා මේ ක්‍රියාවලියද ලත් තැනම ලොප් විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැන් 2013 වසරේදී පැවසූ කතාව නැවත කියන්නේය. එය නම්  විනිවිද දැකිය හැකි කැමරා පද්ධතියක් රාත්‍රී දුම්රියවල සවි කිරීමට කටයුතු කරන බවය. අලින්ට අනතුරක් සිදුවූ පසු දුම්රිය දෙපාර්තමේන්තුව විවිධ ප්‍රකාශ නිකුත් කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවට තුඩුදෙන කාරණයකි.

මෙලෙස අලි, දුම්රිය අනතුරුවලට ලක්ව මියගිය පසු විවිධ පුද්ගලයින් පැමිණ අලින්ගේ නැට්ට සොයන්නේ කෙඳි ලබා ගැනීමටය. ඇතැම්හු අලින්ගේ හකු ගලවා ගනිති. සමහරු දත් ගලවා ගනිති. තිරිසන් සතුන්ටත් අන්ත ලෙස ඇතැමුන් හැසිරෙති. කෙසේ වූවද අලි, දුම්රියට බිලිවීම අවම කිරීම සඳහා දැන්වත් නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුව ඇත.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com

Untitled-4