පලා වර්ගයන් ගැන කතා කරන විට තම්පලාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සුදු තම්පලා, රතු තම්පලා සහ කූර තම්පලා ලෙස තම්පලා වර්ග තුනක් පවතී.

‍ප්‍රෝටීන, මේදය වැනි ‍පෝෂක කොටස් සුළු වශයෙන් පවතින බැවින් අඩු ශක්ති ප්‍රමාණයකින් යුක්ත වේ. මෙම ශක්ති ප්‍රමාණය කුඩා වුවත් ක්ෂුද්‍ර ‍පෝෂක විශාල වශයෙන් පවතින බැවින් ආරක්ෂක ආහාර ගණයට තම්පලා අයත් වන්නේය.

තම්පලා ආහාරයට ගැනීමෙන් යකඩ ඌනතාව මෙන්ම විටමින් ‘ඒ’ ඌනතාවද මගහරවා ගැනීමට හැකියාව ලැබේ. මේ වනවිට අප රට තුළ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් වැඩි පිරිසකට යකඩ ඌනතාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සොයාගෙන තිබේ. එබැවින් එම දරුවන්ට යකඩ ඌනතාව මගහරවා ගැනීම සඳහා තම්පලා ආහාරයට ගැනීම ඉතාමත් වැදගත් වන්නේය. ක්ෂුද්‍ර ‍පෝෂකයක් වන කැල්සියම් හා ‍පොස්පරස් බහුල වශයෙන් තම්පලාවල පවතින බැවින් අස්ථි හා පටකවල මනා පැවැත්මට, ශක්තියට හා නිරෝගිකමට තම්පලා හේතුවන්නේය.
තවද අස්ථිවල ඇතිවන ක්ෂයවීම් වළක්වා ගැනීමටද තම්පලා තුළ පවතින ‍පෝෂ්‍ය කොටස් ඉවහල් වන්නේය.

විටමින් ‘ඒ’ ඌනතාවද මගහරවා ගැනීමට ඉවහල් වන බැවින් අක්ෂිවල නිරෝගිකමට එය හේතුවක් වන්නේය. තවද තම්පලාවල විටමින් ‘සී’ බහුලව පවතින බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම නිරන්තරයෙන්ම සිදුවන්නකි.

මෙසේ ශක්තිමත් වීම වසංගත රෝග බොහොමයකින් මිදීමට හේතුවක් වන්නේය. තම්පලාවල පවතින අධික කෙඳි ස්වභාවය මල බද්ධය අවම කිරීමට හේතුවක් වේ. එපමණක් නොව, කෙඳි අධික බැවින් දිරවීම ක්‍රමානුකූලව සිදුවන්නේය. එම ක්‍රමානුකූල බව හේතුවෙන් රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය පාලනය වනු ඇත. ඒ අනුව දියවැඩියාවටද මෙය ඔසුවක් ලෙස සලකා දිය හැකිය. ආහාර මාර්ගය තුළ අසාමාන්‍ය ෙසෙල වර්ධනයන් මගහරවා ගැනීමට තම්පලාවල පවතින කෙඳි සහිත ස්වභාවය හේතුවක් වේ.

තම්පලා ආහාරයට ගැනීමෙන් මූත්‍රාවල පවතින විෂ සහිත බව ඉවත්ව මූත්‍රා පිරිසිදු වීමක්ද වනු ලැබේ. මෙමගින් මූත්‍රාශය ආශ්‍රිතව හටගන්නා විවිධ රෝග තත්ත්වයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනු ඇත.

ශි‍්‍රයානි විජේසිංහ

Untitled-2