දෙමාපියන්ගේ ඒකායන බලා‍පොරොත්තුව වනුයේ තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් මෙන්ම උසස් රැකියාවක් සඳහා යොමු කිරීමයි. මෙයට අමතරව ඊට සමගාමී ගැටලුව වනුයේ විවාහයයි. මෙය ක්‍රම රාශියක් හරහා ගැටලු බව පෙන්වයි. මෙවන් විටෙකදී දරුවන් වෙනුවෙන් දෙමාපියන් අසීමිත පීඩාවකට ලක්වන අතර සමහර අවස්ථාවල දරුවන් මෙන්ම දෙමාපියන් අන්ත අසරණ වන අවස්ථා සමාජයෙන් හඳුනාගත හැකිය.

ඉගෙන ගන්නා කාලය තුළ අධ්‍යාපනයට බාධා ගෙනදෙන ලෙස ආරම්භ කළ පෙම් සම්බන්ධතා විවාහයෙන් කෙළවර වන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. බහුතරයක් අධ්‍යාපනයද පීඩා කරමින් ඉතා ශෝකී පුවත් සමාජගත කරයි. බිඳ වැටුණු සිත් නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම ලෙහෙසි පහසු නොවේ. මෙලෙස ගැටලුකාරී සම්බන්ධතා ඝට්ටන සිදුවූ බොහෝ දෙනකුගේ අනාගත විවාහ ජීවිත සාර්ථක නොවන බව ප්‍රායෝගිකය. නමුදු මෙකී තත්ත්වයන් බිඳ හෙළීමේ ක්‍රමවේදයන්ද පවතී.

නොගැළපෙන සම්බන්ධතාද මෙවැනිම ව්‍යාකූල තත්ත්වයකි. ජාතිය, ආගම, කුලය, වයස සහ අධ්‍යාපන මට්ටම මෙන්ම ආර්ථිකයද අප සමාජයේ විවාහ සම්බන්ධ ප්‍රබල මිණුම් දඬු වෙති. මේවායේ වෙනස්කම් මත විවාහ වී සාර්ථක විවාහ ගත කරමින් බහුතරය සමාජ සංස්ථාවෙන්ම හඳුනාගත හැකිය. සුළු සුළු ඝට්ටනකාරී තත්ත්වයන් මතුවන විට අනේ‍යා්න්‍ය අවබෝධය තුළින් ඒවා නිරාකරණය කරගැනීමේ හැකියාව පවතී. නමුදු සම්මතයෙන් නොගැළපෙන ඥාති සම්බන්ධතා, වැඩි වයස් පරතර විවාහ, දික්කසාද ආදී නීති ගැටලු සහිත විවාහ, දරුවන් අසරණ වන ආකාරයේ විවාහ, කාමාශාව මූලික කරගත් විවාහ, ඇබ්බැහිවූවන් හා වන දුක්ඛිත විවාහ, අනුකම්පාව මත වන රැවටීම්, ගුප්ත කාර්ය හරහා කරගනු ලබන වශී, නීච, වහල් ආදී තත්ත්වයන් තුළ මුහුණ පානු ලබන ගැටලු ඉතාම තීරණාත්මකය.

තවද ජන්ම පත්‍ර, තම තත්ත්වය, පරම්පරා නම්බුව ආදී සාධක හේතුවෙන් විවාහ වන වයස මුහුකුරා යාමේ තත්ත්වයක්ද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. දෙමාපියන් හා දරුවන් අතර ඝට්ටනද මෙයට සමගාමීව සිදුවන අතර බොහෝවිට මෙවන් ගැටලු මැද විවාහයන් සිදුවුවත් ඒවාට දෙමාපියන්ගේ මැදිහත් වීම වැඩිවීම මත ගැටලු නිර්මාණය වීම පැහැදිලිව හඳුනාගත හැකිය. sampath

දේ‍පොළ, ධනය ආදී භෞතික සාධක මත ඒවා ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන විවාහයන්ද සාර්ථක නොවන අතර, එවැනි විවාහ බොහෝවිට කෙළවර වනුයේ ඉතා දුක්ඛිත ආකාරයෙනි.

මෙවැනි තත්ත්වයන් බැලූ කල තරුණ වයසේ සිටින දරුවන් සමග දෙමාපියන් මේවා විවෘතව කතා කළ යුතුය. සාරධර්ම, අගනාකම්, තමාට වැරදුණු තැන් ආදිය ඔවුන්ට පෙන්වා දිය යුතුය. සමාජයේ උදාහරණ දරුවා සමග එකතු වී ගැළපිය යුතුය. දණ්ඩනයෙන් තොර උපදේශනය ක්‍රියාත්මක කළ යුතුය. ඉහත කරුණුවලට අමතරව තවත් පිරිසකට විවාහ සිදුවීම ඉතා ප්‍රමාද තත්ත්වයන් වී පවතී. මේවා විටෙකදී දෙමාපියන් අන්ත අසරණ තත්ත්වයට පත් කරති. නානාවිධ ප්‍රතිකර්ම සඳහා ඔවුන් යොමුවීම වළක්වාලිය නොහැකි තත්ත්වයක් උද්ගත වේ. උක්ත කරුණ හා ජන්ම පත්‍රයේ වටිනාකම කියා නිම කළ නොහැකිය. මෙකී සියලු කරුණු එහි සඳහන් වනවා පමණක් නොව එමගින් ස්ථිරසාර විසඳුමක්ද ලබාගත හැකිය.

ජන්ම පත්‍රයක සිකුරු ග්‍රහයාගේ පීඩිත තත්ත්වයත් හත්වැන්නේ වන බාධක තත්ත්වයත් කුජ, ශනි, රාහු සහ කේතු ග්‍රහයන්ගේ වන අනිසි බලපෑම්ද හත්වැන්න හරහා වන ජන්ම ඒරාෂ්ටක තත්ත්වයන්ද අනිටු මහා අන්තර් දශාදිය විවාහ බාධකයෝ වෙති. තවද පෙර භව අකුසල වේ නම් ඒවා දුරු කරනතුරු විවාහ බාධක ලෙස ක්‍රියාත්මක වේ. මෙවැනි තත්ත්වයන් හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකර්ම යොදාගන්නේ නම් ඉතා සාර්ථක විවාහයන් සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ. ‍පොරොන්දම් ගැළපීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දෙදෙනාගේ ග්‍රහ ගැළපීමද ඉතා යහපත් විය යුතුය. අනාගත ග්‍රහචාරයද පීඩා නොවිය යුතුය. විශේෂයෙන්ම විවාහ අපේක්ෂිත දරුවන් සිටිනා දෙමාපියන් විසින් ප්‍රධාන වශයෙන් කළ යුතු බාරයන් පවතී. මෙමගින් ඉක්මන්, සාර්ථක විවාහ සිදුවීම අනිවාර්ය වේ.

ක්‍රමය
නියමිත දිග පළල යුතු කහ පැහැති රෙදි පටියේ නම නොපිටට ලියා ශබ්ද පූජා මධ්‍යයේ හිසින් ඉහළට ඔසවා තඹ කාසියක් තබා පඬුර ගැටගැසිය යුතුය. මෙම පඬුර තම නිවසේ තබාගත යුත්තේ ඉහත ක්‍රියාවලිය බලවත් වූ පත්තිනි දෙවොලක සිදු කිරීමෙන් පසුවය. සමහර නිවෙස්වල අසුබ ආත්ම හරහා බලය ක්‍රියාත්මක වෙයි. මෙවැනි විටෙකදී ද විවාහ ප්‍රමාද, විවාහ කැඩීම් මෙන්ම අවසාන මොහොතේ විවාහය සිදුවීම වළකා දමයි. මෙවන් විට දෝෂ හරණය කිරීම හෝ මාතාංගේෂ්වරී තෛලය ස්වල්පයක් ගෙල පැලඳීම ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙයි. ඉතා ඉක්මන් විවාහයට මෙන්ම තරග ජය, අනුන්ගේ සිත් දිනා ගැනීම ආදියටත් එක සේ බලපාන තෛලයකි. තවද විවාහයෙන් පසු අවශ්‍ය විටෙකදී හැර සෑම විටම ගෙල පැලඳීම උචිත නොවේ. රන් සුර හමුවේ ප්‍රබල වන තෙල ප්‍රබල වශී තෙලක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙමගින් අවබෝධයෙන් තොර පවුල්වලට බාධා ඒම හෝ වෙනත් ගැටලු ඇතිවිය හැකිය. එසේ නමුදු තෙල උචිත අවස්ථාවලදී පමණක් පැලඳීම ඉතා ගුණදායකය. නිතර බෝධි පූජා තැබිමත්, කතරගම ගොස් නිතර නිතර පින් අනුමෝදනා කිරීමත් ඉතා යහපත්ය. විවාහ සම්බන්ධ උග්‍ර ගැටලු පවතින අවස්ථාවල ඊට නියමිත ගුප්ත විධීන් අනුගමනය කිරීම තුළින් ඉතා සාර්ථක සහ සෘජු විසඳුම් ලබාගත හැකි බව ප්‍රායෝගිකය.