ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සැමරීමත් සමග පක්ෂයේ ප්‍රබල තනතුරුවල වෙනසක් සිදුවෙනවාද?
නැහැ. එහෙම තනතුරු වෙනස් වීමක් සිදුවන එකක් නැහැ. නමුත් අපි පක්ෂ සංවත්සරය ඉතාමත් විනයගරුකව ගුණාත්මකව ඉහළ ජන සහභාගිත්වයකින් ලබන මාසේ කොළඹදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා. අපේ පක්ෂයේ සංවත්සරය අරක්කු සහ මත්ද්‍රව්‍යවලින් තොරව ඉතාමත් සංවරව සහ විනීතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට අවසානයි.

‘විනීතව’ කියන වචනේ නැවත නැවත භාවිත කළේ ‘ජනබලය කොළඹට’ ඒකාබද්දෙ විරෝධතාව විනීතව තිබුණේ නැද්ද?
ඒක මාධ්‍යත් දැක්කා. රටේ ජනතාවත් දැක්කා. ඒක ගැන විශේෂයෙන් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ අරමුණ එවැනි තත්ත්වයකට නොවැටී සිටීමයි. වෙනදත් අපේ නිදහස් පක්ෂ සංවත්සරය ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ මට්ටමක තිබුණා. මෙවර ඊටත් වඩා ඒ හරවත් භාවය ජනතාවට දැනේවි.

පක්ෂ සංවත්සරය පක්ෂයේ ජන බලය පෙන්වීමේ එක් පියවරක්ද?
හැමදාම සංවත්සරයට වුවත් පක්ෂයේ කුමන රැලියකට වුවත් ඉහළ ජන සහභාගිත්වයක් තිබුණා. ඒක මහා සෙනගක් පෙන්වන හුදු ආටෝපයක් නොවේ. නමුත් හාරපන්දහසක් අපේක්ෂා කළාට ඊට වඩා දස දහස් ගණනින් සෙනග එනවා. දැනටමත් අපිට සීමා කරන්න බැරි තත්ත්වයක ජන සහභාගිත්වයක් තිබෙන බව සංවිධායකයින් පවසනවා.

ඉදිරි අයවැයේදී පවතින ආණ්ඩුව පෙරළන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර රහස් සාකච්ඡාවක් තියෙනවාද?
මම නම් ඒ පිළිබඳව කිසිම දැනුවත්භාවයක් නැහැ. මම දන්නෙ නැතුව එහෙම දෙයක් වෙනවා කියලා මම හිතන්නෙත් නැහැ. මම ඉතාම පැහැදිලිව කියනවා ආණ්ඩු පෙරළීම ගැන කිසිම සාකච්ඡාවක් නැහැ.
16 කණ්ඩායම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න උත්සාහ දරමින් සිටිනවා නේද?
ඒ අය කියන දේවල්වලට මම ප්‍රතිචාර දක්වන්න යන්නෙ නැහැ. නමුත් ඒ අය මහින්ද මහත්තයා අගමැති කරන්න උත්සාහයක් දරන එක පිළිබඳව මගේ කිසි ප්‍රශ්නෙකුත් නැහැ.

පවතින මතභේද මැද මේ ප්‍රධාන පක්ෂ දෙක තවදුරටත් මේ ආණ්ඩුව ගෙන යාමට නම් යම් අවබෝධතා ගිවිසුමක් වැනි දෙයක් අවශ්‍ය වෙයි නේද?
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. හැබැයි අපි අපේ ජනතාවට සේවය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආරක්ෂා කරන්නත් ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමටත් අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. ඒ වගේම අපි 23 දෙනෙක් හිටියත් 106 දෙනා ඉන්න එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන ප්‍රමාණයටම මුදල් අරගෙන අපේ ජනතාවට සේවාවක් කරනවා. මත ගැටුම් කියන දේ තනි පක්ෂයක් බලයට ආවා වුණත් සාමාන්‍ය දේවල්. ඒවා නිරාකරණය කර ගනිමින් වසර තුනක් ආවා වගේ ඉතුරු අවුරුදු එකහමාරත් ඉදිරියට යනවා.

ඔබ එසේ කීවට ආණ්ඩුවේම එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු නිදහස් පක්ෂයේ මැති ඇමැතින්ට ප්‍රසිද්ධියේ විවිධ චෝදනා එල්ල කරනවා නේද?
අනිවාර්යයෙන්ම පරස්පර දේශපාලන මතගැටීම් තිබෙනවා. නයි මුගටි වගේ ඉඳපු පක්ෂ දෙකක්නෙ. ගහගත්ත මරාගත්ත පක්ෂ දෙකක් මෙහෙම ආණ්ඩු කරන එක ඇතැම් විට විශ්වාස කළ නොහැකියි. නමුත් රට වෙනුවෙන් ගන්න තීරණවලදී එකට ඉන්නවා. නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ජනාධිපතිතුමාගේ තීරණ පිළිගන්නවා වගේම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු අගමැතිතුමාගේ තීරණ පිළිගන්නවා. ඔය කෑ ගෑසීම් පක්ෂ දේශපාලනයේදී විතරයි. ආණ්ඩුකරණයේදී නැහැ. සියලු දේ පැත්තක තියලා රටට වැඩ කිරීමට හැමෝම එකාවන්ව සිටිය යුතුයි.

වසර තුනක යහපාලන ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව රජයේ ප්‍රමුඛ අමාත්‍යවරයෙක් වශයෙන් තෘප්තිමත් විය හැකිද?
සමහර කාරණා පිළිබඳව යම් යම් ගැටලු තිබුණා. අපේ රට ජාත්‍යන්තරයෙන් කොන්වෙලා තිබුණ කාලයක් තිබුණා. ජී.එස්.පී. තහනම, මාළු අපනයන තහනම, තේ සහ එළවළු පලතුරුවලටත් තහනමක් දාන්න සූදානම් කරපු වෙලාවක තමයි මේ ආණ්ඩු පෙරළිය වුණේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවට හැකියාව ලැබුණා ඒ සියල්ල ඉවත් කරගන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අමාත්‍යවරු විදිහට අපි දන්නවා ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් විවිධ තහංචි පනවමින් බලපෑම් සිදු කරමින් සිටියා. මානව හිමිකම් ගැටලු පිළිබඳ කොමිසමේ සෑම ඡන්දයක්ම අපි පරාජය වුණා. නමුත් වත්මන් ජනාධිපතිවරයා ඒ සියල්ල කළමනාකරණය කරගනු ලැබුවා. ඒ අතින් බැලුවොත් මේ රටට මහ විශාල ලොකු ජයග්‍රහණ අපි ලබා දීලා තිබෙනවා. අනික් පැත්තට මේ ආණ්ඩුවෙන් අපි සෑහීමකට පත් නොවූ කාරණා තිබෙනවා. ඒක අපි පැහැදිලිවත් විවෘතවත් ප්‍රකාශ කරනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගේ දේවල් මහා අවාසනාවන්ත කලු පැල්ලම්. නමුත් සාපේක්ෂව බලන කොට යම් මට්ටමක සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට සමත්ව තිබෙනවා.

නමුත් 2015 ජනවාරි 8 වැනිදා ජනතාව බලා‍පොරොත්තු වූ ප්‍රධාන කාරණා ඉටු කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා නේද?
මම ඒ ජනතාව නියෝජනය කළේ නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. මොන ප්‍රශ්න මැද වුණත් නිදහස් පක්ෂයේ නායකයා විදිහට ඒ වෙලාවේ ඉදිරිපත් වුණ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න මම කටයුතු කළා.මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ඒ නිසා මම අදත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සහ පක්ෂ නායකත්වයත් සමගයි. ඒ නිසා ඒ මැතිවරණයේ ජනතා බලා‍පොරොත්තු පිළිබඳව විමසන්න ඕන ඒ බලවේගයේ සිටි පිරිසගෙනුයි.

2020 ජනාධිපතිවරණයේදී තනිව තරග කරන බවට යූ.ඇන්පීය ප්‍රසිද්ධියේ කියනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ?
ඕකට ජනාධිපතිතුමා පසුගිය දිනෙක හොඳ පිළිතුරක් දුන්නා. මටත් කියන්න තියෙන්නේ ඒකයි. කවුරුත් තමන් ගැන අධි තක්සේරුවක හිටියොත් වරදිනවා. එක්සත් ජාතික පක්ෂයට සහ ‍පොහොට්ටුවටවත් තනියෙන් ආණ්ඩු පිහිටුවන්න බැහැ. ජනාධිපතිවරයෙක් පත්කරගන්නත් බැහැ. දාහත්ලක්ෂයක ඡන්ද බලයක් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒ නිසා අපි නැතුව බලයට පත්වෙන්න හිතන එක දවල් හීනයක් විතරයි. ඒ පිළිබඳ කරුණු කාරණා මැතිවරණවලින්ම ඔප්පු වෙලා තියෙනවා. පසුගිය මැතිවරණයේදීත් ඒ පිළිබඳව පැහැදිලි වුණා.

ඇයි මේ මැතිවරණයට බයවෙලා ඉන්නේ?
පැහැදිලිවම අපි මැතිවරණවලට බය නැහැ. මොකද ඉතින් අපිට වැටෙන්න තැනක් නැහැනේ. අපි පහළට ආවට ඉදිරි මැතිවරණවලදී අපේ ඡන්ද ප්‍රතිඵල වැඩිවන බව අපි ස්ථිර වශයෙන් දන්නවා.මොකද බරපතළ අමාරුම වෙලාවෙ ඒ කියන්නේ නියඟය උග්‍රවෙලා තියෙන කොට, මිනිස්සුන්ට ‍පොහොර ටික හරියට දෙන්න බැරි වෙලාවෙ, සයිටම් වගේ ප්‍රශ්න විසඳන්න බැරි වෙලාවේ. මිනිසුන්ට යම් පීඩනයක් අසහනයක් තියෙන වෙලාවේ තමයි අපි ඡන්දෙකට ගියේ. දැන් ඒ තත්ත්වෙන්් සැලකිය යුතු මට්ටමකට ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙනවා.ජනවාරි නැත්නම් පෙබරවාරි වෙනකොට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අපේ අරමුණයි.

දැනටමත් 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරමින් විවිධ දේශපාලන බලවේග ඇතිවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි බලවේගය කුමක් වෙයිද?
ඔය මොන බලවේග ගැන කතාකළත් මේ වත්මන් ජනාධිපතිවරයාට ලබන වසර අවසාන වෙනකන් බලයේ ඉන්න පුළුවන්. ඊළඟට වසර දෙකක් විතර මේ ආණ්ඩුවට කාලය තිබෙනවා මේ කාලය ඇතුළත කිසිම විදිහකින් ආණ්ඩුව පෙරළන්න බැහැ. හැබැයි ඉතින් ආණ්ඩුවත් දැනගන්න ඕන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව මීට වැඩිය අවධානය කිරීමට. රටට හොඳ වුණත් ජනතා අප්‍රසාදය නිසා ඇතැම් තීරණ ගැනීමට අපට අපහසු වෙලා තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ආයතනවලින් 90ක්ම ඉන්නේ ආණ්ඩුවට විරුද්ධයි. මාධ්‍ය හිමිකරුවන්, වබේඅඩවි, ෆේස් බුක්වල පිරිස 90ක් විතර අපට විරුද්ධයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් අරගෙන අවසානයිද?
අපේ මධ්‍යම කාරක සභාවෙ ඒ පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම බොහෝම කල්ගියා ජනාධිපති අපේක්ෂකයා ප්‍රසිද්ධියට පත්කිරීමේ අවශ්‍යතාවකුත් නැහැ. සැලසුම් කරලා ජනාධිපති වුණ කට්ටිය මේ රටේ ඉඳලා නැහැ. අපේ බලා‍පොරොත්තුව මෛත්‍රිපාල ජනාධිපතිවරයායි. මොකද වෙන කිසිම කෙනකුට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මට පේන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පමණයි.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාටත් නැවත ජනාධිපති ධුරයට එන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධය සමග එකතු වෙන්න වුණොත්?
මම කැමතියි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකාබද්දෙ ඉන්නෙත් බුලත් කොළෙන් සන්ධානෙන් තරග කරපු කට්ටියනෙ. මේ පාර්ශ්ව දෙක එකතු වුණොත් ජයග්‍රහණය නියතයි. ඡන්ද ප්‍රතිඵලවලිනුත් ඒ බව හොඳටම පැහැදිලිි වෙනවනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකතු කරන්න දරන්න තියෙන හැම උත්සාහයක්ම දරනවා.

නෙරංජලා වික්‍රමසිංහ