ඉන්දු-ලංකා දේශපාලන මිත්‍රත්වයට සුවිශේෂී වෙනසක ඇරඹුමක් සනිටුහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් ඉන්දියාවේ සිදුකළ තෙදින නිල සංචාරය සාර්ථකව නිමකොට පසුගිය 14 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, නාමල් රාජපක්ෂ හා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද සහභාගි වී සිටියහ.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, ලෝක් සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතාගේ මූලිකත්වයෙන් යුත් විරාත් හින්දුස්ථාන් සංගමයේ ආරාධනය මත නවදිල්ලිහි පැවැති ‘ඉන්දු-ලංකා මිතුදම: ඉදිරි මඟ’ විශේෂ සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබුණි. නවදිල්ලියට ගිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සුබ්‍රමනියම් ස්වාමි මහතා ඇතුළු විරාත් හින්දුස්ථාන් සංගමය විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර සමුළුවට සහභාගි වීමේදී ද රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරවය සම්ප්‍රදායානුකූලව මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම කැපී පෙනුණි.

හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳ ඉන්දීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මහින්ද රාජපක්ෂ හා ඉන්දියාව අතර පැවැති අමනාපකම් සියල්ල බැහැර කෙරෙන වෙනස් මඟකට මෝදි-මහින්ද දෙපාර්ශ්වය අවතීර්ණ වී ඇති බව ය. ඉන්දියාව සම්බන්ධයෙන් වන මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි චින්තනයත්, ඔහු පිළිබඳ වූ අගමැති මෝදිගේ ආකල්පයත් යන සියල්ල වෙනස් වී සැබෑම වෙනස් සමීප මිත්‍රශීලී ගමනක් ආරම්භ වන බවට මෙම සංචාරය තහවුරු කරන බව එම වාර්තා කරුණු දැක්වීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා පැයකට ආසන්න කාලයක් සුහද පිළිසඳරක් පැවැත්වූ අතර එහිදී දෙපාර්ශ්වය අතර පෙරදාට වඩා නැවුම් මිත්‍රත්වයක සලකුණු පෙන්නුම් කළ බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එපමණක් නොව, මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ එදින පැවැති විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයට ඉන්දීය රජයේ අමාත්‍යවරයෙක්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙක් හා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනකු ද සහභාගි වී සිටියහ.
සංචාරය අතරතුරදී ‘ද හින්දු’ ආදි එරට ප්‍රධාන පෙළේ පුවත් සේවා විසින් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡා පැවැති අතර ඉන්දු-ලංකා මිත්‍රත්ව පුනරුදය, චීන-ඉන්දු ආයෝජන, 2020 ජනාධිපතිවරණය, ජනාධිපති අපේක්ෂකත්වය, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, මෙරට ඉදිරි දේශපාලන හා විදේශ ප්‍රතිපත්ති, එල්ටීටීඊ පරාජය හා මානව හිමිකම් චෝදනා යන තේමා ඔස්සේ සම්මුඛ සාකච්ඡා පැවැත්විණ. මෙහිදී දෙස් විදෙස් විශේෂ අවධානයට යොමු වූ කරුණ වූයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් පළමු වතාවට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමයි. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳ ‘ද හින්දු’ මාධ්‍යවේදිනිය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ පැවැසීය. “ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු සඳහා අවුරුදු 35 සපුරා නොමැති බැවින් මගේ පුත් නාමල් රාජපක්ෂට තරග වැදීමට නොහැකියි. ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකු ලෙස මගේ සොයුරා ඉදිරිපත් වීම ඒකාන්තයෙන් සිදුවිය හැකි වුවත් ජනතාවට අවශ්‍ය කවුද යන්න තීරණය කළ යුත්තේ අපගේ පක්ෂය හා සන්ධානයයි.”

සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනයේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙරට ත්‍රස්තවාදය පරාජයේදී මානුෂීය මෙහෙයුම නවතාදැමීමට එල්ල වූ විදේශ බලපෑම් හමුවේ අමෙරිකාව මෙන්ම ඉන්දියාව දැක්වූ සහය පිළිබඳ අගය කළේය. සමීපතමයකු ලෙස ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් දැක්වූ සහය එම ජයග්‍රහණය උදෙසා තමාට ස්ථිර අධිෂ්ඨානයක සිටීමට සහය වූ බවට ද පැවැසීය. එමෙන්ම තම පාලනයක් යටතේ වන ඉදිරි විදේශ ප්‍රතිපත්තිය තුළ ඉන්දියාව ද එක් මූලික ස්ථම්භයක් වන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා පැරණි මිතුරකු වන ඉන්දියාව පිළිබඳ පූර්ණ අවබෝධයෙන් යුතුව ඉදිරි අනාගතය කරා නවතාවකින් යුතු අචල මිත්‍රත්වයක් පවත්වාගෙන යන බව ද අවධාරණය කළේය.

සමුළුව අමතමින් සුබ්‍රමනියන් ස්වාමි මහතා මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි. “මම සතුටුවෙනවා මහින්ද රාජපක්ෂ මහතා සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා ඉන්දියාව මගේ ඥාතීන්. සෙසු අය මගේ මිතුරන් කියා. ඥාතීන් අතර නොයෙකුත් පරස්පර මත තිබිය හැකියි. එහෙත් ඉතා ඉක්මනින් කතාබහ කරලා ඥාතීන්ට අතීතය අමතක කළ හැකියි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාත් අතීත මතවාදවල සිරගත නොවන ස්වාධීනව සිතන පුද්ගලයෙක් බව අපි දන්නවා” යනුවෙනි.

සමුළුවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හා කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි, පක්ෂ නායක ආනන්ද් ශර්මා මහත්වරුන් සමඟ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේදී සුහද පිළිසඳරක නිරත විය. සංචාරය අතරතුරදී ඉන්දීය මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමඟ කෙටි සම්මුඛ සාකච්ඡා කිහිපයකට ද නාමල් රාජපක්ෂ මහතා එක්විය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

IMG_9943-copy IMG_9945-copy IMG_9954-copy IMG_9968-copy 41511952_10155341750581467_8297113939485917184_n-copy 41540254_10155341746146467_8578080628291928064_n-copy 41620975_10155341745991467_8678276069209407488_n-copy Dm_DQ19VsAAuVRR-copy Dm5OgvjUwAIJkzV-copy Dm5OhsCUcAAy5B3-copy Dm5OjI1U0AAmN-L-copy