මහා පෙරළියක් කරමින් 1956 වසරේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් 25 වෙනිදා ඝාතනය වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසිනි. එකී ඝාතන කුමන්ත්‍රණයට තල්දූවේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්ඛිත යන භික්ෂුන්ට මෙන්ම ඇමැතිවරියක්ව සිටි විමලා විජයවර්ධනටද චෝදනා එල්ල විය. තල්දූවේ සෝමාරාමව එල්ලා මැරුවේය. එහෙත් අද වන විට සමාජයේ කථාබහකට ලක්වන්නේ සැබෑ අපරාධකරු තල්ලූවේ සෝමාරාමදැයි කියාය. ඒ වෙන කිසිවක් නිසා නොව බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය ඉතා සැලසුම් සහගතවම සිදුව තිබුණු බැවිනි.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු නැවතත් අපේ රටේ රාජ්‍ය නායකයෙක් ඝාතනය කිරීමට ගත් ත්‍රස්තවාදීන් නොවන පිරිසක් කළ කුමන්ත්‍රණයක් මේ වන විට හෙළි වී හමාරය. ඒ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවය. මෛත්‍රිපාල ජනාධිපතිවරයාව ඝාතනය කරන්න සැලසුම් කර ඇත්තේ මඩකලපුවේ ජනහමුවකට සහභාගි වන අවස්ථාවකදීය. මේ සැලසුම වෙන කිසිවෙකුගේත් නොව ශ්‍රී ලංකා ‍පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාගේය. ජනාධිපතිවරයාව ඝාතනය කරන්නට සැලසුම් කර ඇත්තේද ඊළඟ ජනාධිපතිවරණයට පෙරය. ‍පොලිස් සැලසුමකින් ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ රහස් සැලසුම එළියට දමන්නේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරය. ඔහු පවසන්නේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා ජනාධිපතිවරයාව ඝාතනය කරන්නට සැලසුම් කළේ මේ වන විට ඩුබායි රටේ රැඳී සිටින මාකඳුරේ මධුෂ් යොදාගෙන බවය. පාතාලය යොදා ජනාධිපතිවරයාව ඝාතනය කර එකී ඝාතන චෝදනාව එල්.ටී.ටී.ඊ. හිතවාදියෙක් වන නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පුෂ්පරාජ් වෙත එල්ල කිරීම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ සැලසුම වී තිබි ඇත. නාමල් කුමාර පවසන්නේ ජනාධිපතිවරයා ඝාතන පරීක්ෂණය තමන්ට පැවරෙන බැවින් පුෂ්පරාජ්ගේ පිටින් තබා සියල්ල යටපත් කිරීමට තමන්ට හැකියාව ඇති බවය.

අපේ රටේ මේ දක්වා සිදුවුණූ ප්‍රභූ ඝාතන මෙන්ම විශේෂ ගණයේ අපරාධ විමර්ශන පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. අපරාධමය විමර්ශනයක් පැවැත්වීමේ පුළුල් දැනුමක් මෙන්ම තාක්ෂණික පහසුකම් මෙන්ම නිදහස ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. මෙහිදී නියෝජ්‍ය ‍පොලිස්පති නාලකද සිල්වා ජනාධිපති ඝාතනය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන තමන් යටතේ සිදුවන බව දැඩි විශ්වාසයකින් පවසන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඔහු සමග දැවැන්ත බලවේගයක් සිටින බවට ඉඟි කිරීමකි. ඒ බව සනාථ වන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන මේ වන විට දැවැන්ත හෙළිදරව්වක් සාක්ෂිද සහිතව දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකර තිබියදීත් රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කළ සැලසුම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනවා වෙනුවට නාලක සිල්වාට හිතවත් නිලධාරීන් පිරිසක් සිටින ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදීමෙනි. ‍පොලිසියේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන්නේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා බේරාගැනීමේ අරමුණින් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පරීක්ෂණ භාරදී ඇති බවය. ඊට හේතු වී ඇත්තේ මේ කුමන්ත්‍රණය පිටුපස තවත් ඉහළම ‍පොලිස් නිලධාරියෙක් සිටින නිසා වන්නට හැකි බව ‍පොලිසියේ ඉහළ නිලධාරීන් සැක කරති. තමන් අත්අඩංගුවට පත්වුවහොත් හෝ ‍පොලිස් සේවයෙන් නෙරපා හැරියහොත් ඉහළ නිලධාරින් ගැන තොරතුරු වමාරන බවට නාලක සිල්වා විසින් කර ඇති තර්ජනයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ නොයා ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැවරීමට මුල්වී ඇති බවද එකී ඉහළ නිලධාරීහු පවසති.

රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ ‍පොලිස් සැලසුමක් සාක්ෂි සහිතව හෙළිවී තිබියදී එය හුදෙක් සාමාන්‍ය පරීක්ෂණයක් බවට පත්කර තිබියදී ‍පොලිස් නිලධාරීන් පිරිසක් මේ වන විට සංවිධානගත වෙමින් සිටින්නේ මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන්නටය. ඒ වෙන කිසිවක් නිසා නොව නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාගේ ඝාතන ලැයිස්තුවේ තවත් නිලධාරීන් පිරිසක් සිටින බැවිනි. ඒ අය අතර හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිටීමද විශේෂිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහ වරකා‍පොල ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්තද සිටිති. ඔවුන් දෙදෙනාට වැඩක් දෙන්නට කොන්ත්‍රාත්තුව නාලක සිල්වා භාරදී ඇතැයි කියන්නේ දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරටය. ඒ සඳහා අවශ්‍ය දෑ අවශ්‍ය මොහොතේදී ලබාදිය හැකි බව නාලක සිල්වා ඔහුට පවසා ඇත්තේ කොළඹ සමිට් නිවාස සංකීර්ණය වෙත ගොස් සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් පදිංචි නිවස පවා පෙන්වමිනි. වරකා‍පොළ ‍පොලිස් ස්ථානාධිපති ජනකාන්තට වැඩේ දෙන්නට යැයි කියා ඇත්තේ වරකා‍පොළ පැත්තේදීමය.

මේ දෙදෙනාට වැඩක් දෙන්නට හේතු ලෙස නාලක සිල්වා දක්වා ඇත්තේ ඔවුන් විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් වන චන්ද්‍රා වාකිෂ්ඨ මහතාගේ ගෝලයින් බව සඳහන් කරමිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි සේවයේ මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවය කළේ චන්ද්‍රා වාකිෂ්ඨය. එකල නාලක සිල්වා සේවයේ නිරතව සිටියේද රාජ්‍ය බුද්ධි සේවයේය. එකල චන්ද්‍රා වාකිෂ්ඨගේ සුවච කීකරු ගෝලයා බවට පත්ව සිටියේ ඔහුය.

චන්ද්‍රා වාකිෂ්ඨගේ ගෝලයින් නිසා සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ජනකාන්ත ඝාතනය කරන්නට යැයි නාලක සිල්වා කොන්ත්‍රාත්තුවක් ලබාදුන්නට සැබෑ ලෙසම ඒ පිටුපස ඇත්තේ වෙනත් කථාවකි. ඒ නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මුලින්ම ප්‍රශ්න කරන්නේ ඒ දෙදෙනාගෙන් ප්‍රසන්න අල්විස් වන බැවිනි.

නාලක සිල්වා, සහකාර ‍පොලිස් අධිකාරිවරයෙක් ලෙස ‍පොලිස් සේවයට එක්වූවකි. එකල ‍පොලිස්පතිවරයාව සිටියේ ලකී කොඩිතුවක්කුය. ‍පොලිස් බඳවා ගැනීමේ අධ්‍යක්ෂකවරයාව සිටියේයැයි කියන්නේ නාලකගේ පියාය. නාලක සහකාර ‍පොලිස් අධිකාරිවරයෙක් ලෙස ‍පොලිස් සේවයට එන්නේ උපාධිධාරියෙක් ලෙසිනි. ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියානු විශ්වවිද්‍යාලයක උපාධි සහතිකයකි. සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා අභියෝග කර ඇත්තේ එම උපාධි සහතිකය ව්‍යාජ එකක් බවය. නාලකට උපාධියක් තබා අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළද නැති බව ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කරයි. ඔහු ඒ බව සඳහන් කරන්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාතික ‍පොලිස් කොමිසමට ලිඛිතව පැමිණිල්ලක් කරමිනි.

එම පැමිණීල්ල ජාතික ‍පොලිස් කොමිසම යොමු කරන්නේ ‍පොලිස්පතිවරයාටය. ඒ එම චෝදනාව ගැන විමර්ශනයක් කරන ලෙසටය. වසර එකහමාරක් තිස්සේ ‍පොලිස්පතිවරයාගේ හමස් පෙට්ටියේ එම පැමිණිල්ල තිබෙන්නේ නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නිසි විමර්ශනයක් නොකරමිනි. අනතුරුව මෙම වසරේ මුල් කාර්තුවේදි නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික ‍පොලිස් කොමිසමට පැමිණිල්ලක් කරන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු දෙදෙනෙක් සහ ‍පොලිස් අධිකාරිවරයෙක් එක්වය. රන්මල් කොඩිතුවක්කු , ප්‍රියන්ත වීරසූරිය යන නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් දෙදෙනාත් නිහාල් තල්දූව ‍පොලිස් අධීකාරීවරයාත් ඒ අතර විය.

එකී පැමිණිල්ල පවා ජාතික ‍පොලිස් කොමිසම යොමු කරන්නේ ‍පොලිස්පතිවරයාටය. එහෙත් අදටත් ‍පොලිස්පතිවරයා ඒ ගැන කිසිදු විභාගයක් කරන්නේ නැත. ‍පොලිසියේ බහුතරයක් ඉහළ නිලධාරීන් චෝදනා කරන්නේ නාලක සිල්වා ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයක ‍පොලිස්පතිවරයා නිරතව සිටින බවය. ඉකුත් සතියේ ‍පොලිස් මූලස්ථානයේදී ඉහළ නිලධාරීන් සමග පැවැති විශේෂ රැස්වීමකදී පවා ‍පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ නාලක සිල්වා වැනි තවත් දෙදෙනෙක් සිටී නම් තමන්ට වෙන කිසිවෙක් අවශ්‍ය නොවන බවය.

නාලක සිල්වාව මෙතරම් ආරක්ෂා කරන්නට ‍පොලිස්පතිවරයා වලිකන්නේ ‍පොලිසිය ඇතුළේ වාතයක් ගියත් ඒ ගැන විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරමින් තිබියදීය. නාලක මේ සූදානම් වන්නේ ඔහුට එරෙහිව සිටින්නන් ඝාතනය කරමින් තමන්ගේ තැන රැක ගැනීම බව ‍පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකගේ මතය වී හමාරය.

නාමල් කුමාර විසින් හෙළි කරන නාලකගේ ලැයිස්තුවේ සිටින වරක‍පොළ ‍පොලිස් ස්ථානාධිපති ජනකාන්තට වැඩක් දෙන්නට තරම් නාලකට කිසිදු පුද්ගලික ආරවුලක් ජනකාන්ත සමග නැත. ජනකාන්තට වැඩක් දෙන්නට නාලක සැලසුම් කළේ නම් ඒ වෙනත් අයෙකුගේ අවශ්‍යතාවකි. ‍පොලිසියේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ‍පොලිසියේ ඉහළ නිලධාරියෙක් වරකා‍පොළ පැත්තේ නිවසකට කාලයක් තිස්සේ හොර රහසේ රිංගති. ඔහු උතුරේ සිට කොළඹ ආවත් මහනුවර සිට කොළඹ ආවත් නැගෙනහිර සිට කොළඹ ආවත් වරකා‍පොළින් බැස වෙනත් වාහනයක නැගී තනිවම යන්නේ එම නිවසටය. ඒ නිවසේ සිටින්නේ තමන්ගේ පාසල් මිතුරෙකි. පාස‍ලේ නේවාසිකාගාරයේ ඔවුන් දෙදෙනා සිටියේද එකටය. මේ දෙන්නා අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. වරක් එම ‍පොලිස් මිතුරා කාන්තාවකට රහසඟය පෙන්වීමක් ගැන වරකා‍පොළ ‍පොලිසියට පැමිණිල්ලක් ආවේය. ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට සැරසෙන විට ‍පොලිස් ලොක්කා පරල වී ජනකාන්තට බැණ වැදුනේය. ඔහුව නිදහස් කරන්නට යැයි කියා බලපෑම් කළේය. එහෙත් ජනකාන්ත නීතිය අකුරටම ඉටු කළේ ඒ ගැන මුළු වරක‍පොළ ගමක්ම බලා සිටි බැවිනි.

එම සම්බන්ධය වරකා‍පොල ‍පොලිස් ස්ථානාධිපති ජනකාන්තට රහසක් නොවීය. සිය සමීපතයා ‍පොලිස් කූඩුවට දමා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ‍පොලිස් ලොක්කා කාලයක් තිස්සේම ජනකාන්ත සමග සිටියේ පරලවය. නාලක සිල්වාට කියා පසුගිය කාලයේ කිහිප විටක්ම ජනකාන්තගේ ජංගම දුරකථන තොරතුරු නීති විරෝධිව පරීක්ෂාවට ලක් කළේය. ඊට අමතරව නුගේගොඩ පිහිටි රහස් නිවසේ ඇති දුරකථන ටැප් කිරීමේ උපකරණවල පිහිටෙන් ජනකාන්තගේ දුරකථන සංවාදවලට පවා සවන් දුන්නේය.

දුරකථන ටැප්කරන මේ නිවස ගැන මෙන්ම නාලකගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රිවිර කිහිප වරක්ම විශේෂ හෙළිදරව් කිහිපයක්ම කළේය. එය බලධාරීන්ට නම් බිහිරි අලීන්ට වීනා වාදනයක් බඳු විය. එදා රිවිර කළ එම හෙළිදරව්ව සමග යම් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළේ නම් ජනාධිපති ඝාතන සැලසුමක් ගැන එළියට එන්නට තිබුණේ මෙයට පෙරය.

නාලකගේ අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක්කරමින් ‍පොලිස් කොමිසමට පැමිණිලි කළ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු සහ ප්‍රියන්ත වීරසූරියට එරෙහිවද නාලක සිල්වා දූෂණ
විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ සහාය ගන්නට අමතක කර නැත. නාලකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පමණක් නොව ඒ අය නාලකගේ උස ගැන පවා අභියෝග කර තිබුණේය. ‍පොලිසියට බඳවා ගැනීමේදී තිබිය යුතු සම්මත උස පවා නාලකගේ අදටත් නැති තරම්ය. ‍පොලිස්පතිවරයාගේ පිහිටෙන් ඒ සියලුම චෝදනාවලින් ගැලවී නිදහසේ සිටිමින් අනාගත ‍පොලිස්පති සිහිනයෙන් ජීවත් වන ඔහු තමන්ට අභියෝග කළ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් දෙදෙනාට වබේ අඩවි සහ ෆේස්බුක් මගින් මඩගසන්නට භාරදෙන්නේ නාමල් කුමාරටය. ඒ සම්බන්ධයෙන් කෙරෙන කථාබහවල හඬපට පවා නාමල් කුමාර සතුව ඇත්තේය.

ඊට අමතරව නාලක සිල්වා තවත් ඉහළ ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට නාමල් කුමාර යොදා වබේ අඩවිවලින් සහ ෆේස් බුක් මගින් මඩ ගැසීමේ කුමන්ත්‍රණයක් දියත් කරන්නට සැලසුම් කළේය. ඒ නිලධාරීන් අතර ‍පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වන ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාද සිටියි. ඊට අමතරව ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මණසිංහ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය ‍පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුද සිටිති. ලතීෆ් මහතා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස පත්වන්නේ ඉහළ ‍පොලිස් නිලධාරීයෙකුගේ විරෝධතාව මධ්‍යයේය. නාලක සිල්වා විශේෂ කාර්ය බළකායේ සේනාවිධායකට වැඩක් දෙන්නට කථාබහ කළේ ඉහළ නිලධාරියාගේ අවශ්‍යතාවක් ඉටුකරන්නට වන්නට පුළුවන. ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ සමග මෑතකදී ගැටුමක් ඇතිව ඇත්තේ නාරාහේන්පිට ‍පොලිසියේ නිල නිවසක් සම්බන්ධයෙනි. නාලක නාරාහේන්පිට ‍පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් බලහත්කාරයෙන් ලබාගත් නිල නිවසේ යතුර සම්බන්ධයෙන් විරෝධයක් දක්වා එම යතුර නැවතත් නාලකගෙන් ලබාගෙන නාරාහේන්පිට ‍පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදීම මුණසිංහ මහතා සමග ඇති වෛරයට ආසන්නතම හේතුවයි. නිලන්ත ජයවර්ධනට පහර ගසන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කා වන්නට නාලක කාලයක් තිස්සේ සිහින මවමින් සිටින නිසාය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ නිරතව සිටියේ ‍පොලිස් අධිකාරිවරයෙක්ව සිටියදීය. ඔහු ඒ තැනට ගන්නේ චන්ද්‍රා වාකිෂ්ඨය. එවකට එහි ලොක්කා චන්ද්‍ර වාකිෂ්ඨය. රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරි වෙනුවෙන් නාලක සිල්වා වසරක කාලයක් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙක් ලෙසද සේවය කළේය. එකල ඔහු රෝ ඔත්තුකරුවෙක් බවට පත්වූ බවට ආන්දෝලනයක්ද ‍පොලිසිය තුළ විය. රාජ්‍ය බුද්ධි සේවයෙන් ඔහු ඉවත් කෙරෙන්නේ ඒත් එක්කමය.

මේ වන විට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට විශ්වාසවන්තම නිලධාරීන් අතළොස්සක් දෙනා අතර ඉහළින්ම සිටින නිලධාරියෙක් බවට පත්ව සිටින්නේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාය. ඔහුව ආරක්ෂා කර ගන්නට පූජිත් ජයසුන්දර මහතා නොගන්නා වෙහෙසක් නොමැති බව ‍පොලිසියේ ඉහළම නිලධාරින්ගෙන් වැඩි දෙනෙක් මේ වන විට දරන අදහසකි. නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පරීක්ෂණයක් නොකරන්නේත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැත්තේත් ඒ නිසා බව එකී නිලධාරීන්ගේ ‍පොදු මතයය. මේ තත්ත්වය මත නාලක සියලු චෝදනාවලින් නිදොස් වී නාලක ගැන තොරතුරු හෙළිකරන ‍පොලිස් නිලධාරීන් මෙන්ම නාමල් කුමාර වරදකරුවන් වුවහොත් ඒ සම්බන්ධයන් පුදුම විය යුතු නැතැයි එම නිලධාරීන් එක හ¾ඩින්ම පවසති.

ගයාන් කුමාර වීරසිංහ