“භාවිතය අවුන්සයක් ටොන් ගණන් දේශනාවට වඩා අගී.” – මහත්මා ගාන්ධි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සැප්තැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ඇගයීම් උත්සවයට සහභාගි වෙමින් කළ සඳහනක් දිනපතා සිංහල පුවත්පතක් වාර්තා කොට තිබුණේ මේ ශීර්ෂ පාඨය සමගිනි.
“රාජ්‍ය දේ‍පොළ අවභාවිත කරන්නන්ට මරණ දඬුවම පැනවිය යුතුයි; මම යන්න කලින් එක්කෙනකුට හෝ දෙන්නෙකුට දඬුවම් දෙන්න සූදානම්.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව මීළඟ ජනාධිපතිවරණයෙන් පසු රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව සැප්තැම්බර් 8 වැනිදා නිවිතිගලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හමුවක් අමතමින් පැවසූ ජනාධිපතිවරයා “එබැවින් දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට, සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණය නොව රටට ආදරය කරන, දේශීයත්වය හා අපේ සංස්කෘතිය අගයන, වගකීම් ගැන අවබෝධයක් ඇති, දූෂණයෙන් හා වංචාවෙන් තොර අගමැතිවරයකු පත්කර ගැනීම” යැයි අවධාරණය කළේය. (මේ ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් දින සියයේ යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස තමා විසින්ම පත් කරනු ලැබූ වත්මන් අගමැතිවරයාට ජනපති කියන සුදුසුකම් කිසිවක් නැති බව නොවේද?)

අගෝස්තු 30 වැනිදා නේපාලයේ අගනුවර පැවති බිම්ස්ටෙක් හතරවැනි රාජ්‍ය නායක හමුව අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේ බිම්ස්ටෙක් අරමුණු ජය ගැනීමට නම් දූෂණය, වංචාව, අක්‍රමිකතා, රාජ්‍ය දේ‍පොළ අවභාවිතය යන සියල්ල ඉවත් කළ යුතු බවය. සැප්තැම්බර් 10දා හම්බන්තොට පැවති ගොවි හමුවකට එක්වූ ජනාධිපතිවරයා ගිං-නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව තවත් විමර්ශනයක් කරන බව පැවසීය. ජූලි මස 25 දින කොළඹ තරු හෝටලයකදී එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් අමතමින් “බලයත්, දූෂණයත් කියන්නේ දේශපාලනයත් එක්ක යන දම්වැලක පුරුකක්. මගේ නිල කාලය නිම වන විට ශ්‍රී ලංකාව අල්ලස හා දූෂණය නැති රටවල් අතර අංක එකට ගෙන එන්න බලා‍පොරොත්තු වෙනවා” යනුවෙන් කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ තවත් දූෂණ විරෝධී ප්‍රතිඥාවකි.

දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් ලෙසත්, ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවල මුල් පෙළේ ඇමැතිවරයකු ලෙසත් සිටි ජනාධිපති සිරිසේන තමා මහින්ද රාජපක්ෂ කඳවුරෙන් ඉවත් වූයේ මන්දැයි විටින් විට විවිධ හේතු සඳහන් කර ඇත. “ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මගේ උදාර මව්බිමටත්, සමස්ත ජනතාවටත් අත්ව ඇති ඛිෙදජනක ඉරණමින් ඔවුන් ගලවා ගනු පිණිස” යනුවෙන් ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය. “ජනාධිපතිවරණයට ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ ස්ථාවර, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසාය” යනුවෙන් එහිම තවත් තැනක පවසයි. “මම එළියට බැස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න”, “පවුල් පාලනයෙන් රට බේරාගන්න මට අවශ්‍ය වුණා” ඔහු තවත් විටෙක කීය.

දූෂිත රාජපක්ෂ පාලනය අහෝසි කොට ‘පාලකයන් රහසින්වත් පව් නොකරන’ නොකිළිටි, නිර්මල සමාජයක් ගොඩනැගීමේ අභිලාෂය පසුගිය ආණ්ඩුවෙන් එළියට බැසීමට තමාට ප්‍රධාන හේතුවක් වූ බව ජනාධිපතිවරයා ආරම්භයේ සිට කියූවකි. “දූෂණ හා වංචා සැමදා සිදු වූ බව සත්‍යයකි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ සිදු වූ දූෂණවල පරිමාණය ඉතිහාසයේ කිසි දිනෙක අසන්නට ලැබි නැත” ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය. රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය හා වංචාව එජාප, ජවිපෙ සිවිල් සමාජය ආදීන්ගෙන් සැදුම්ලත් සමස්ත යහපාලන බළකායේම මුඛ්‍ය විරෝධතා පාඨයක් විය.
රාජ්‍ය නායකත්වයට පැමිණ කෙටි කලක් ඇතුළත විශේෂයෙන් අගමැති වික්‍රමසිංහගේ සම්මුතිවාදී ආණ්ඩුව ස්ථාපනය කිරීමෙන් පසු දූෂණ විරෝධයේ පරම අයිතිය තමන්ට සින්නක්කරව පවරා ගැනීමේ ප්‍රයත්නයක් ජනාධිපති වෙතින් ප්‍රදර්ශනය වන්නට විය. ඔහු වැඩි වැඩියෙන් දූෂණ විරෝධී වහසි බස් කියන්නට පටන් ගත්තේය. ජනාධිපති ඊට පෙළඹවූ සාධක රැසකි. ජනාධිපතිවරණයේ දී ජනතාවට දුන් ආකර්ෂණීය ‍පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඔහුට හැකිවූයේ නැත. සම්මුතිවාදී ආණ්ඩුව සමත් වූයේ වැටුප් වැඩි කිරීම, මුල් අවස්ථාවේදී ඉන්ධන හා ගෑස් මිල පහත හෙළීම වැනි සහන කිහිපයක් සැලසීමට පමණි. අධික බදු බර හා ඉහළ යන ජීවන වියදම නිසා වැඩි කළ වැටුප වාෂ්ප වී ගියේය. එය ආණ්ඩුවට පාරා වළල්ලක් විය. ආර්ථික වර්ධනය පිරිහිණ. ණය බර ඉහළ ගියේය. රාජ්‍ය පාලනය අවුල් විය. විදේශීය බලවතුන් සහ බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ස්වකීය ආරක්ෂක හමුදා පාවා දෙනු ලැබිය. ජනතාව දිනෙන් දිනම රජයෙන් ඈත් වූහ.

සිය ධුර කාලය ලෙස වසර 6ක් නොව, 4ක් ප්‍රමාණවත් බවක් සිය මෙහෙවර නිම කොට යළි බලයට තරග වදින්නේ ‍පොළොන්නරුවේ ගෙදරට ආපසු යන බවත් කී ජනාධිපති පසුව ඒ අදහස වෙනස් කළේය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිස තනතුරු ලෝභයෙන් සම්මුතිවාදීය ආණ්ඩුවට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට බලයේ රැඳී සිටින ලෙස කළ බලපෑමෙන් මිදීමට ජනාධිපතිට හැකි වූයේ නැත. 2015 දී තමා නායකත්වය දුන් යුග පෙරළිය තවම සම්පූර්ණ වී නැතැයි පසුගිය මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඔහු කළ ප්‍රකාශය බලය අත් නොහරින බවට කළ පැහැදිලි ඇඟවීමක් විය.

යහපාලන ආණ්ඩුවේ සැබෑ නායකයා හැට දෙලක්ෂයක ජනතාවගේ වරමින් ජනාධිපති ධුරයට පත් වූ තමා නොව, තමාගේද පිහිටෙන් ආණ්ඩුවක් අටවාගත් අගමැති වික්‍රමසිංහ බව තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේනට වැඩි කල් ගත වූයේ නැත. එහෙත් ඔහු ප්‍රමාද වූවා වැඩිය. සත්‍ය වැටහෙන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති බලතල කප්පාදු කර තිබිණ. අගමැති වික්‍රමසිංහ සමග සිටින බලවේගයට ‍පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම අවශ්‍ය වූයේ ඔහු ආභරණයක් ලෙස තබා ගනිමින් 2001දී පටන්ගත් ගමන යන්නටය. ජනාධිපති සතු ප්‍රධාන බලතල සියල්ල අගමැතිට පැවරෙන අයුරින් ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතු යැයි ජයම්පති ජයරත්න කී බව දින සියයේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ මහාචාර්ය රජීව විජේසිංහ මෑතකදී ඉංග්‍රීසි පුවත්පතකට ලියා තිබිණ. 19 වැනි සංශෝධනයේ සැබෑ අරමුණ වූයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම නොව, ජනාධිපති ධුරයේ බලතල අගමැති අතට ගැනීම බව නොපිළිගන්නේ මේ ව්‍යායාමයට මුල්වූවන් පමණි.

ආණ්ඩුව ඇතුළත මෙකී වර්ධනයත් සිදුවෙමින් තිබියදී ජනාධිපති සිරිසේන තවත් අභියෝගයකට මුහුණ දුන්නේය. ජනවාරි අට ජයත් සමග සදහටම මැදමුලනට තල්ලු කර දමන්නට හැකි විණැයි සිතූ මහින්ද රාජපක්ෂ විශාල ජන බලයක් සමග නැවත නැගිට ආවේය. ආණ්ඩුව පිරිහෙන තරමට මහින්ද බලවත් වෙමින් සිටී. ජනාධිපති හමුවේ දැන් නිර්මාණය වූයේ තුන්කොන් සටනකි. එබැවින් ජනතාව ආකර්ෂණය කළ හැකි, සියලු ප්‍රතිවාදීනට එකවර පහර දිය හැකි ප්‍රබල අවියක් ඔහුට අවශ්‍ය විය. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට වැඩිම දායකත්වය සැපයූ චක්‍රායුධය, එනම් දූෂණ විරෝධය වැරෙන් අතට ගත් ජනපති සිරිසේන එය ඉහළට ඔසවා ලෙළවන්නට විය. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සතුරනට පහර දීමට ඔහු වැඩිපුරම භාවිත කළේ මේ අවියයි. තමා ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ පාලන තන්ත්‍රය අල්ලසින්, වංචාවෙන් හා දූෂණයෙන් මුළුමනින් මුදාගෙන පරම, පවිත්‍ර සමාජයක් නිර්මාණය කිරීමට පහළ වූ මෙසායා කෙනකු ලෙස චිත්‍රණය කිරීමට ජනාධිපති පටන් ගත්තේය.

ඉකුත් පළාත් පාලන ආයතන මැතිවරණ සමයේ මේ ප්‍රයත්නය සැඟවිය නොහැකි අයුරින් ප්‍රකට විය. දූෂණයට හා වංචාවට එරෙහිව කෝපය මුසු ආවේගයෙන් කතා කළ ජනාධිපති සිරිසේන කිසිසේත්ම ප්‍රායෝගික නොවන වහසි බස් කීවේය. “මම ගෙදර යන්නේ රටේ සියලුම දූෂිත දේශපාලකයො ගෙදර යවල සහ හිරේ යවලයි” යනුවෙන් ජනවාරි 18 කොස්ගම පැවති ජන හමුවකදී කළ බොල් තර්ජනය ඊට නිදසුනකි. ජනාධිපති මේ තර්ජනය කරන්නේ ‘සියලු දේශපාලකයන් හිරේ සහ ගෙදර යවන්නට අවශ්‍ය විධිමත් හා කාර්යක්ෂ්ම යාන්ත්‍රණයක් සහ පටිපාටියක්’ නැතිවය. ජනාධිපති ඇත්තටම එසේ කළහොත් ඔහු සමග සිටින පරිවාර දේශපාලන සගයන්ගෙන් හා නිලධාරීන්ගෙන් දෙතුන් දෙනකුවත් එළියේ ඉතිරිවේදැයි සැක සහිතය.

මේ ලිපිය ආරම්භයේදී උපුටා දැක්වූ ‘රාජ්‍ය දේ‍පොළ අවභාවිත කරන්නන්ට මරණ දඬුවම පැනවිය යුතු’ බවට කළ යෝජනාව කොස්ගම තර්ජනය තරම්වත් ප්‍රායෝගික නැත. අල්ලස් හා දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වන පුද්ගලයනට මරණ දඬුවම නියම කළ නීතියක් අප රටේ නොපවතී. “මම ගෙදර යන්න කලින් එක්කෙනකුට දෙන්නෙකුට දඬුවම් දෙන්න සූදානම්” යැයි ජනාධිපති කීවද ගෙදර යන්න ඇත්තේ තව මාස 17ක් බැවින් ඒ කෙටි කාලය තුළ එබඳු ෙනෙතික යාන්ත්‍රණයක් ස්ථාපනය කළ හැකිද? ස්ථාපනය කළද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැන් අපට නොපිළිවන. මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම නියමව සිරගෙදර සිටිමින් තවදුරටත් මත් ජාවාරමේ නිරත පුද්ගලයනට මරණ දඬුවම දෙන බවට ජනාධිපති කළ සාඩම්බර තර්ජනය තවම අමතක නැත. ‍පොළොන්නරුව වකුගඩු රෝහ‍ලේ ඉදිකිරීම් අරඹමින් කළ කතාවේදී “කවුරු විරුද්ධ වුණත් මරණ දඬුවම ගේනවා; හොඳින් හෝ නරකින් රට හදනවා” යැයි කියා සිටියේය. ඉන්පසු ඒ ගැන කිසිදු හා හූවක් නැත. මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකරන්නැයි අවවාද කළ යුරෝපා සංගමය එසේ කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කරන බවට අන්තරාය ඇඟවීය. මරණ දඬුවම් කතාව හිමින් සීරුවේ පාපිස්ස යට සඟවනු ලැබිය. යුරෝපා සංගමය යහපාලන ආණ්ඩුවේ ස්වාමියෙකි. ඊට එරෙහිව යාමට ජනපතිට හෝ අගමැතිට හෝ නොපිළිවන. දූෂිතයනට මරණ දඬුවම් දීමේ ප්‍රයත්නයටද ඊට වෙනස් ඉරණමක් අත්වීමට හේතුවක් නැත.

ජනාධිපති දූෂණයට එරෙහිව කෙතරම් උද්වේගයෙන් කතා කළද දූෂණ විරෝධී ක්‍රියාකාරිත්වයෙහි බරපතළ ස්වයං ප්‍රතිවිරෝධයක් දක්නට ලැබේ. ඔහු දූෂිත හංවඩුව වැදුණු ආණ්ඩු දෙකකම-චන්ද්‍රිකා සහ මහින්ද-ප්‍රබල ඇමැතිවරයෙක් විය. ඔහු එදා ඒ ආණ්ඩුවල දූෂණය ඉවසා සිටියේය. අද ජනාධිපතිගේ පරිවාර බළකායේ බහුතරය බරපතළ දූෂණ චෝදනා ඇත්තෝ වෙති. ඔහුගේ ප්‍රධාන අන්තේවාසිකයකු වන කලින් සිටි කෘෂිකර්ම ඇමැති අමාත්‍යාංශයට හැදූ ගොඩනැගිල්ලක් තිබියදී මහජන මුදල් කෝටි ගණන් වැය කොට පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගත්තේය. තවත් හිතෛෂියකු වන බස්නාහිර මහ ඇමැති පළාත් සභා මන්ත්‍රීන් සඳහා එකක් රුපියල් හය ලක්ෂයකට වැඩි මිලක් ගෙවා පුටු ආනයනය කරයි. දේශපාලන ප්‍රතිරූපය රැක ගැනීම හා වර්ධනය සඳහා කරන ඝෝෂාවලින් ටික දෙනෙක් ටික කලක් රැවටීමට පිළිවන. එහෙත් හැම දෙනාම හැම කල්හිම රැවටීමට නොපිළිවන.

මොහාන් සමරනායක