ජාතික ආරක්ෂාව ගැන ආයෙ ආයෙත් සිතා බලන්නට කාලය පැමිණ තිබේ. නමුත් ගැටලුව ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිසිය වැනි ආයතනවල ඉහළ නිලතල දරන්නන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීමයි. මීට දින කිහිපයකට පෙර හිටපු හමුදාපති සහ වත්මන් ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාද කීවේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සතුටුවිය නොහැකි බවක්ය. පසුගියදා දූෂණ විරෝධී බළකාය නම් සංවිධානය කළ හෙළිදරව්වට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කළ බව කියන ප්‍රකාශ කිහිපයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වන නාමල් කුමාර නැමැත්තා මාධ්‍ය ඉදිරියට පැමිණ කළේ එසේ මෙසේ හෙළිදරව්වක් නොවේ. ඉන් කියැවුණේ රටේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව මාකඳුරේ මදුෂ් නම් පාතාල නායකයා ලවා නැගෙනහිර පළාතේදී ඝාතනය කරවන්නට කළ සැලසුමක් ගැනය. මෙය රට පෙරළන විදිහේ පුවතක්ය. ගැටලුව ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හට මේ ආකාරයේ ප්‍රකාශයක් කරන්නට හයියක් ලැබෙන්නේ කාගේ ආවරණයකින්ද යන්නය.

රටේ ජාතික ආරක්ෂාව පාවා දෙන්නටත්, ප්‍රභූවරු ඝාතනය කරන්නටත් රටේ ආරක්ෂක අංශවල පිරිස් යොදාගැනීම අද ඊයෙක සිදු වූවක් නොවේ. අවුරුදු තිහක කාලයක් භීෂණයත්, ත්‍රස්තවාදී යුද්ධයත් සමග පොර බැදූ සමාජයකට මෙය අලුත් අත්දැකීමක්ද නොවේ. නමුත් රටේ ජාතික ආරක්ෂාව සියල්ලට ඉහළින් ක්‍රියාත්මක විය යුතුය. මේ ගෙවෙන්නේ පශ්චාත් යුද සමයක්ය. ත්‍රස්තවාදය අවසන් වී දශකයක්වත් ගෙවී ගිහින් නැත. එවන් පරිසරයක් තුළ රටේ බුද්ධි අංශ සක්‍රීයව ක්‍රියාත්මක විය යුතුය. පසුගිය කාලයේ බුද්ධි අංශ නිලධාරීන්ටත්, රණවිරුවන්ටත් සිදුවූ ඇතැම් අකටයුතුකම් නිසා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය දියාරු වී ගිය බව ඇස් කන් ඇති මිනිස්සුන්ට හොඳට දැනුණේය. ත්‍රස්තවාදය හිස ඔසවන බවට බුද්ධි අංශ කරුණු අනාවරණය කළද ඒවා හෑල්ලු කරන්නට ආරක්ෂක අංශයේම පිරිස් ලක ලැහැස්ති වී සිටියහ. ඔඞ්ඩුසුඩාන්වලදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ පුපුරණ ද්‍රව්‍ය හමු වූ අවස්ථාවේදීත්, ප්‍රභූ ඝාතන සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශ දිගින් දිගටම වාර්තා කළ අවස්ථාවේදීත් ඒවා බයිලා ලෙස හුවා දක්වා යහපාලනයේ නාමයෙන් ලකුණු දාගන්නට ඇත්ත බොරු කළේද වර්තමානයේ චෝදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාම බව ප්‍රසිද්ධ රහසක්ය.

එක් පැත්තකින් මෙවන් පුද්ගලයකු මෙවැනි පුටුවකට පත් කළේ කවුද ? එහි අරමුණ කුමක්ද යන්නත් හොඳින් සිතා මතා ලිහාගත යුත්තකි. උප පොලිස් පරීක්ෂකවරයෙක් වන්නට තරම්වත් අධ්‍යාපන සුදුසුකම් නැති අයකු ලෙස පොලිස් කොමිසමට පවා මොහු ගැන පැමිණිලි ලැබී තිබියදී පවා ඒවාට එරෙහිව කිසිදු විමර්ශනයක් සිදුවූයේ නැත. අද වන විට ත්‍රස්ත විමර්ශන පනත යටතේ ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් පවා අත්අඩංගුවට ගැනීමේ බලතල ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පමණි. ඒ අනුව ගත්තොත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යනු මේ අවස්ථාවේ රටේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු ප්‍රධානම ආයතනයයි. තත්ත්වය එසේ තිබියදී බුද්ධි අංශ අනාවරණ පවා බොරු බයිලා ලෙස නොසලකා හරීනම් එවැනි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයකින් ඇති වැඬේ කුමක්ද කියා අපිට අසන්නට සිදුවේ. මහනුවර ඇතිවූ ජාතිවාදී ගැටුම්වලදී පවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මැදිහත් වූ ආකාරය
පසුගියදා විපක්ෂයෙන් ප්‍රශ්න කළේය. එම ගැටුම ඇවිලීම පිටුපස මෙවැනි රාජ්‍ය ද්‍රෝහී නිලධාරීන් සිටියාද කියා දැන් රට හමුවේ ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ.

2002 වසරේ සාම ගිවිසුම් අස්සේ එල් ටී ටී ඊ සංවිධානයට හොඳ හැටි හුස්ම ගන්නට ඔක්සිජන් ලැබුණු හැටි රටට ආදරය කරන මිනිස්සුන්ගේ මතකයේ ඇත. මිලේනියම් සිටි සිදුවීමේදී රටේ බුද්ධි අංශ පාවා දුන් හැටිත්, කොටි බුද්ධි අංශ දකුණට පැමිණ අපේ බුද්ධි අංශ මොළකරුවන් මහ දවාලේ මරා දැමූ ආකාරයත් අපේ මතකයේ ඇත. ඒ පාවාදීම් අදත් සිදුවිය හැක. ජාතික ආරක්ෂාව යනු ආණ්ඩු මාරු වෙද්දී මාරු විය යුත්තක් නොවේ. ජාතික ආරක්ෂාවත් රටේ සංවර්ධනය වාගේම ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වේ නම් රටට දෙයියන්ගේම පිහිට හැර වෙන පිහිටක් නැත. චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රසිද්ධ වූ හඬ පටවල අන්තර්ගත වී ඇත්තේ දේශපාලන කතාවක්ය. එහි 2020 ගැනත්, සුප්‍රකට දේශපාලනඥයන්ගේ නම් ගැනත් සඳහන් වේ. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කළ ප්‍රකාශයන් හුදෙක් ඔහුට පමණක් හිතුණු මනස්ගාත නොවන බවත් එය පිටුපස ක්‍රියාත්මක වන්නේ දේශපාලන වුවමනාවක් බවත් දැන් හොඳින්ම පැහැදිලිය. ඒ අනුව මෙම සැලසුම පිටුපස තවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් දේශපාලනඥයින්ද සිටිය හැක. ඔවුන් නිදැල්ලේ සිටීමේ වගකීම ගත යුත්තේද මේ රජයයි. රටේ පළමු පුරවැසියා වන ජනපති පවා ඝාතනය කිරීමේ සැලසුමක් ඇති මෙම ත්‍රස්තවාදී ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාය. හරි වැරදි සොයා දේශද්‍රෝහීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යයි අපි යෝජනා කරන්නෙමු.