යහපාලන ආණ්ඩුව බලයට පත්වූදා සිටම දේශය පාලනයට අමතරව ජාත්‍යන්තරය පවා කතාබහට ලක්කරන දේශීය ආහාරයක් හඳුන්වා දෙන්නේය. ඒ මෙරට දේශීය කර්මාන්ත ඉහළ නැංවීමේ අරමුණින් නම් නොවේ. යහපාලන ආණ්ඩුව පත්වූයේම ආප්ප ගැන ලෝකයට කියමිනි. එදා සිට මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා අප රටේදී ආප්පවල රස බැලීමට කැමති විය. ඔවුන් ආප්ප කනවිටදී සෙල්ෆි ඡායාරූප ගෙන තම සමාජජාලවලට මුදාහැරියේ ‘ආණ්ඩු පවා පෙරලූ ආප්පය’ වැනි සටහන් ද සමඟිනි. මෙරට සිටි තානාපතිවරුන් පවා එවැනි දේ කියනු අප දුටුවෙමු. ආප්ප කතාව කරළියට ආවේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසාය. කොහොමනමුත් දැන් අපගේ ආප්පයට ලෝකයේ හොඳ තැනක් ඇත. ඒ නිසාමදෝ ඕස්ටේ්‍රලියාව වැනි රටවල ‘ලංකාවේ ආප්ප’ විතරක් විකුණන හෝටල් ඉදිවී තිබේ. ආප්පයට ඇති ප්‍රසිද්ධිය නිසාම ඒවාට ඇත්තේ හොඳ ඉල්ලුමකි. දැන් ආප්ප වෙනුවට කරළියට පැමිණ ඇත්තේ ‘කජු’ය. විශේෂත්වය වන්නේ ඒ කජු කතාව ද ජාත්‍යන්තරයට ගෙන ගියේ අපේ ජනාධිපතිවරයාම වීමය.
“පහුගිය දවසක මම නේපාලයේ ඉඳන් ඉන්දියාව හරහා ලංකාවට ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන්. ඒක ඇතුළෙදි කන්න දෙනවනේ එක එක දේවල්. මට දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් ඒවා කන්න බැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද?” යනුවෙන් විමසමින් ජනාධිපතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේදී දෙන කජුවලට අතුල් පහරක් එල්ල කළේ මෙලෙසය. ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 11 වැනිදා පැවැති ගොවිජන හමුවකදීය. ශ්‍රී ලංකන් සේවයට එල්ල කරන ලද මෙම චෝදනාව මෙරට මාධ්‍යවලින් ප්‍රචාරය වීම සාමාන්‍ය දෙයකි. එය එතැනින් නැවතුණේ නැත. ජාත්‍යන්තර මාධ්‍ය මේ පුවත පළකළේ “ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් කජු බල්ලකුටවත් කන්න බැරිලු-ජනපති චෝදනා කරයි” ආදී සිරස්තලවලිනි. විශේෂයෙන්ම එම පුවත්වල මතුකර දැක්වූයේ ‘ශ්‍රී ලංකාවේ කජු බල්ලෙකුටවත් කන්න බැරිලු’ වැනි ඉඟියකි. එසේ වීමට හේතුවක් ඇත. ජනපතිගේ කතාව ඇසූ පමණින්ම ඕනෑම අයකුට සිතට එන්නේ ලංකාවේ කජු ගැනය. නමුත් ජනපතිට දී ඇත්තේ ලංකාවේ කජු නොවන බව පසුව දැනගන්නට ලැබිණ. ඒ ඩුබායි සැපයුම්කරුවකුගෙන් ලබාගන්නා කජුය. ලංකාවේ කජු අපනයනයකරුවන් සිටියදී ඒ සැපයුම කර ඇත්තේ ද ඩුබායි සැපයුම්කරුවකු බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණ.

කජු යනු ලංකාවේ ඈත ඉතිහාසයක් ඇති ව්‍යාපාරයකි. එය මනාවට පැහැදිලි වන්නේ කජු අලෙවියට ගමක් පවා වෙන් කර තිබීමය. බටලීය ගම්මානයේ මඟ දෙපස කුඩා මේස පුටු තබා කජු විකිණූ ජනතාවට මහත් අගයක් ලබාදීමට ප්‍රේමදාස ජනපතිවරයා කටයුතු කළේ වෙළෙඳසල් 52කින් යුත් වෙළෙඳ සංකීර්ණයක් ලබාදී බටලීය ග්‍රාමය ‘කජුගම’ ලෙස නම් කරමිනි. වෙළෙඳ සංකීර්ණයේ අලෙවිය අඩුවූ නිසා යළිත් මඟ දෙපස කජු විකිණීමට ඔවුන් කටයුතු කළ ද කජුවලට ඇති ඉල්ලුම නම් දින දිනම වැඩිවිය. ලංකාවේ කජුවල ප්‍රමිතිය නිසාම අපනයනකරුවන්ට සපයාගැනීමට නොහැකි තරමට ඉල්ලුම ද තවමත් ඇත. එල්ටීටීඊ ත්‍රස්තයන් රටේ ඇතැම් ප්‍රදේශ සිය අණසකට යටත් කොට සිටි කාලයේදී පවා සිලාවතුර ප්‍රදේශයේ කජු වතු තිබුණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඒ තරමටම ඉහළ තැනකට ඔසවා තැබූ කජු ගැන අපේ ජනාධිපතිවරයාට මේ තරමට කෝප ගැන්වීමට හේතු වන්නට කජුවල තිබූ ‘අවුල’ සොයා බැලිය යුතුමය. මහත් ආන්දෝලනයට තුඩු දුන්නා පමණක් නොව, උපහාසයට ලක්කරමින් සමාජ ජාල පිරෙන්නට යන කතන්දරවල ද ඉවරයක් නැත. මේ හැමදෙයකින්ම ලංකාවේ කජු ව්‍යාපාරයට එල්ලවන අයහපත් බලපෑම සිතන තරමට සුළුපටු නැත. ජනාධිපතිවරයා නියම නායකයකු ලෙස කරන්නට තිබුණේ ඒ පිළිබඳ ජනහමුවලදී ප්‍රසිද්ධියේ කෑමොර නොදී අදාළ බලධාරීන්ට ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් දීමය. එසේ වූයේ නම් ‘ලංකාවේ කජු බල්ලකුටවත් කන්නට බැරි බව’ ජාත්‍යන්තරයට කියන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කජු අපේ නොවුණ ද සිදුවූ අයහපත් බලපෑම ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම වහා සැපයුම්කරු වෙනස් කිරීමට ගත් තීරණයෙන් වැළකී යන්නේ නැත.

ජනපති නිසා ලංකාවේ ආප්පවලට ලැබුණේ නම් හොඳ තැනකි. නමුත් ජනපතිගේ කජු කතාව නිසා ලංකාවේ කජු ව්‍යාපාරයට එල්ල වූ අයහපත් බලපෑම හොඳ අතට හැරවීම ‘කජු කනවා මෙන්’ පහසු දෙයක් නොවනු ඇත.