බංග්ලාදේශයේ පැවති 12 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට හැකිවූයේ තමන්ට හිමි පළමු වටයේ තරග දෙකට පමණක් සහභාගි වීමටය.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල මෙවර මෙම තරගාවලියට සහභාගි වූයේ ශූරතාව හෝ අනු ශූරතාව දිනා ගැනීමේ බලා‍පොරොත්තුවකින් නොවීය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ලෝක ශ්‍රේණිගත කිරීම්හි පාකිස්තානයට පමණක් ඉහළින් සිටි ශ්‍රී ලංකා පි‍ලේ අපේක්ෂාව වූයේ තමන්ට මුණ ගැසෙන සෑම ප්‍රතිවාදියකු සමගම ගෞරවාන්විත සටනක නියැලීමය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩකයන් වෙනුවෙන් සුදුසුම පුහුණුකරුවකු පත්කොට අවශ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් සපයමින් ක්‍රමවත් පුහුණුවක්ද ලබා දුන්නේය.

ලබාදුන් පුහුණුව මත මුදා හැරීම සඳහා ක්‍රීඩකයන්ට විදෙස් තරග අවස්ථාද ලබාදී තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට පැමිණ බංග්ලාදේශ ජාතික පිල සමග සුහද තරගයකටද මුහුණ දී ඉනුද ජය ගත්තේය. ශ්‍රී ලංකාව මෙවර ශූරතාව දිනා ගැනීමේ හැකියාවක් සහිත කණ්ඩායමක් ලෙස විචාරකයන්ගේ වර්ගීකරණයට ලක්වූයේ ඉන් අනතුරුවය. කෙසේ වුවත් ශ්‍රී ලංකා පිලට පළමු වටයේදී තරග වැදීමට සිදුව තිබුණේ මෙවර තරගාවලියට සහභාගි වන ප්‍රබලම කණ්ඩායම් දෙක වූ ඉන්දියාව හා මාලදිවයින සමගය. එය තහවුරු කරමින් එම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව හා මාලදිවයින සමත් වී තිබිණ.

ශ්‍රී ලංකා පිල ඉන්දියාව සමග සහභාගි වූ තරගයේදී ගෝල 2-0ක් ලෙස පරාජයට පත්විය. තරගමාලා 11කදී 7 වරක් ශූරතාව දිනා ඇති ඉන්දියාව සමග පැවති තරගයේදී පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා පිල ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දුන් බව පිළිගත යුතු සත්‍යයකි.
දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිලට හමුවූයේ 2013 වසරේ නේපාලයේදී ගෝල 10-0ක් ලෙස දරුණු පරාජයක් අත්කර දුන් මාලදිවයින් පිලය.

එහෙත් මෙවර පැවති තරගයේදී විනාඩි 95 තුළ ජයග්‍රහණය දෙපසට දෝලනය වූ කරට කර තරගයක් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට අවස්ථාව සලසා දී තිබිණි.
තරගයේ පළමු භාගයේදී වැඩි ගෞරවය මාලදිවයින් පිලට හිමි වුවද දෙවැනි භාගයේදී ඔවුන් තැතිගැන්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වූහ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආත්මශක්තිය මෙන්ම කායික ශක්තියද බොහෝ විට රඳා පවතින්නේ පළමු විනාඩි 45 තුළ වුවත් මෙම තරගයේදී එහි පැහැදිලි වෙනසක් ප්‍රදර්ශනය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබිම අනාගතය පැහැබර බවට කදිම නිදසුනකි.

තරගය ගෝල වාර්තා නොවූ තරගයක් ලෙස අවසන් වුවත් විනිසුරු තීරණ ශ්‍රී ලංකා පිලට අවාසිදායක වූ බවක්ද දක්නට ලැබිණ. යොවුන් ක්‍රීඩකයන් වැඩි පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකා පි‍ලේ ජවය ඉහළ තත්ත්වයක තිබූ අතර, මාලදිවයින් තරගයේදී නායකත්වය දැරූ දැල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය. ඔහුගේ දක්ෂතා මාලදිවයින් කණ්ඩායමේ පුහුණුකරුගේද ඇගයීමටද ලක්විය. ශ්‍රී ලංකා පිල පළමු වටයෙන්ම ඉවතට ගිය තවත් තරගාවලියක් ලෙස මෙම තරගාවලිය ඉතිහාසයට එක්වුවත් එසේ වූයේ කාසියේ වාසිය අහිමිවීමේ හේතුවෙනි. එබැවින් මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතයට කිසියම් ආලෝකයක් මෙවර තරගාවලියෙන් ලැබුණු බව සඳහන් කළ යුතුමය.

සීවලී එදිරිවීර