කූට ‍ලේඛන සකස් කිරීමේදී ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයෙන් නිර්මාණය කරන ලදැයි වර්තා වන අලුත්ම කූට ‍ලේඛනයක් පිළිබඳ එම සම්මේලනයේ හිටපු ‍ලේකම්වරයකු විසින් කුරුඳුවත්ත ‍පොලිසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව ‘රිවිර’ ට වාර්තා වෙයි.
මෙම වංචනික ක්‍රියාවෙන් කායවර්ධන සම්මේලන නිලධාරීන් රැවටීමට ලක්කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය බවද පැවසේ.

කුරුඳුවත්ත ‍පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳව කටඋත්තරයක් ලබාදීම සඳහා පැමිණෙන්නැයි මෙම වංචාව සිදුවන අවස්ථාවේ සම්මේලනයේ සිටි ‍ලේකම්වරයාට කුරුඳුවත්ත ‍පොලිසියෙන් දන්වා ඇත.
අදාළ සිදුවීමට පාදක වී ඇත්තේ 2015 වසරේ ජපානයේ පවත්වන ලද ආසියානු කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමේදීය.

තරගාවලිය 2015 වසරේ ජුනි 2 වැනිදා පැවති අතර ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ වර්තමාන සභාපතිවරයා එම තනතුරට පත්ව ඇත්තේ 2015 වසරේ මැයි මාසයේදී බවද සඳහන්ය.
කෙසේ වුවත් අලුතින් පත් වූ සභාපතිවරයාට නොදන්වා ජපන් තරගාවලියට සහභාගි කරවීම පිණිස ක්‍රීඩකයන් සිව්දෙනකු හා පුහුණුකරුවකුද ඇතුළත් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පැවසේ.
එම ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි ‍ලේකම්වරයාගේ අත්සනින් යුතුවය.
අදාළ ලිපියට අනුව බි.ඒ.එස්. ප්‍රසන්න, ඩබ්ලිව්.ඩී.සී. ඩයස්, සුභාෂ් සිරිවර්ධන හා ලූෂන් ඇන්තනී යන ක්‍රීඩකයන් සිව්දෙනා හා පුහුණුකරු ලෙස එච්.වයි. ඉන්දික ප්‍රනාන්දු ජපන් සංචාරයට නම්කර තිබිණි.
මෙම ලිපිය අනුව ක්‍රියාත්මක වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බි. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 2015 මැයි 25 වැනිදා පීපල්ස් ට්‍රැවල්ස් ආයතනයට ලිපියක් යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්දෙනාට ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙස දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ජපානයට යන විට එම ක්‍රීඩකයන් පස්දෙනා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතුව තිබූ අතර විශේෂයෙන්ම ලූෂන් ඇන්තනී ක්‍රීඩකයා වෙනුවෙන් ඇප අත්සන් කර ඇත්තේ එවකට සම්මේලනයේ සිටි උප සභාපතිවරයකු විසින් බව හෙළි වෙයි.
ලූෂන් ඇන්තනී නමැති ක්‍රීඩකයා තමන්ගේ නම මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති බවක් බොහෝ කලක් යනතුරු නොදැන සිටි අතර, වංචාවක් සිදුවී ඇති බව ඔහු දැනගෙන ඇත්තේ කුරුඳුවත්ත ‍පොලිසියෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදී බව පැවසේ.
අවසානයේ අදාළ සංචාරයට ලූෂන් ඇන්තනී වෙනුවට සහභාගි වී ඇත්තේ ඔහු වෙනුවෙන් ඇප අත්සන් කළ උප සභාපතිවරයා බවට චෝදනා එල්ල වී ඇත.
කූට ‍ලේඛන හා හොර අත්සන් යොදා ගනිමින් සභාපතිවරයාට නොදැනෙන සේ සිදුකර ඇති මෙම වංචාවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට නම්කර නොතිබූ තැනැත්තෙකු වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇත්තේ කෙසේදැයි ගැටලුවක්ද දැන් පැන නැගී ඇත.

කොහොම නමුත් මෙම වංචාව සිදුවන කාලයේ ‍ලේකම් ධුරය දරන ලද පුද්ගලයාගේ අත්සන භාවිත කර ඇති බැවින් කුරුඳුවත්ත ‍පොලිසියට කටඋත්තර ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඔහුට දන්වා ඇති බවද වාර්තා වේ.
මීට පෙර ක්‍රීඩාවට සම්බන්ධ නොවූ හිටපු සභාපතිවරයකුගේ සහෝදරයාගේ පුතෙකු ‍ලේකම්වරයා ලෙස පත්කර ගැනීම සඳහා හොර ක්‍රීඩා සහතික සකස් කිරීමේ චෝදනාවක්ද පැන නැගී තිබූ අතර, 2011 වසරේ සම්මේලනයේ ‍ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ අත්සන් ස්කෑන් කොට ව්‍යාජ ‍ලේඛනයක් සකස් කළ බවට කොළඹ අපරාධ කොට්ඨාසයේද පැමිණිල්ලක් ඇති බවත් දැනගන්නට ඇත.

සීවලී එදිරිවීර