එක්සත් අරාබි රාජ්‍යයේදී මේ මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ පුහුණුවක් ලබා තිබේ.
ඉකුත් සතියේ අවසන් වූ ශ්‍රී ලංකා විස්ස-20 තරගාවලියේදී ක්‍රීඩකයන් රැසක් පිත්තෙන්, පන්දුවෙන් දක්ෂතාවන් අතරට පැමිණීම ආසියානු කුසලානය පිළිබඳව ක්‍රීඩාලෝලීන්ට යම් බලා‍පොරොත්තුවක් තබා ගැනීමට හැකිවී ඇත.
විශේෂයෙන්ම දසුන් ශානත සහ උපුල් තරංග මෙම විස්සයි-20 තරගාවලියේදී ලබාගත් ශතක මෙන්ම ඔවුන් ක්‍රීඩා කළ ආකාරය ක්‍රිකට් විචාරකයන්ගේ කතාබහට ලක්වෙමින් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව යම් සතුටුදායක තත්ත්වයක් උදා කරවීය.

මෙහිදී තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක්ම තම පළපුරුදු දක්ෂතා අතරට පැමිණීමද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් එක්කළ කරුණකි.
ප්‍රහාරක පිතිකරුවකු ලෙස තම කඩුල්ල ලබා නොදී ක්‍රීඩා කළ දසුන් ශානක මෙන්ම නිහඬව ලකුණු රැස් කරමින් මෙම තරගාවලියේදී වැඩිම ලකුණුලාභියා වූ උපුල් තරංග ආසියානු කුසලානයේදී යම් වෙනසක් සිදු කරනු ඇතැයි ක්‍රීඩාලෝලීන්ගේ බලා‍පොරොත්තුවයි.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල පසුගියදා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් කර තිබේ.
මෙම ක්‍රීඩකයන් 16 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් පස්දෙනකු අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබේ.
මෙහිදී විශේෂත්වයක් වන්නේ වේගපන්දු යවන ලසිත් මාලිංග වසරකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකා ජාතික සංචිතයට කැඳවා ඇති අතර ඔහු ඉකුත් වසරේ සැප්තැම්බර් මස අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ඒ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගයකදීය.
35 වැනි වියෙහි පසුවන ලසිත් මාලිංග එක්දින තරග 204කදී කඩුලු 301ක් දවා ගැනීමට සමත්ව තිබේ. තවමත් දක්ෂතා අතර සිටින අත්දැකීම් පිරිපුන් ලසිත් මාලිංග මෙම තරගාවලියට එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත.

දක්ෂ ලෙස මේ වනවිට දඟපන්දු යැවීමේ නිරත වී සිටින අකිල ධනංජයට ආසියානු කුසලානයේ ප්‍රථම තරග දෙක අහිමි වන ලකුණු පහළ වී ඇති අතර, එය ශ්‍රී ලංකා කණ්ඩායමට තදබල ලෙස බලපානු ඇත.
සිය ප්‍රථම බිළිඳා අපේක්ෂාවෙන් සිටින අකිල, බිළිඳාගේ උපතින් පසු තරගාවලියට එක්වෙනු ඇතැයි පැවසේ.
එලෙසම විස්සයි-20 තරගාවලියේදී ඇඟිල්‍ලේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල නම් කර ඇත.

නායක ඇන්ජලෝ මැතිව්ද ලකුණු අතරට පැමිණීම සහ ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවීමද ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී වැඩි වාසි අත්වනු ඇත.
කුසල් ජනිත් පෙරේරාද සිය සුපුරුදු තරග රටාවට පැමිණ තිබිම ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමට හැකියාවක් ලැබි තිබේ.
ප්‍රථම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර ලබන 15 වැනිදා පැවැත්වේ.
ආසියානු ක්‍රිකට් සමුළුව 1984 වසරේ හඳුන්වා දුන් ආසියානු ක්‍රිකට් තරගාවලිය මේ වනවිට අවස්ථා 17කදී පවත්වා ඇත.

පළමු අවස්ථා 12කදීම එය එක්දින ක්‍රිකට් තරගාවලියක් ලෙස පවත්වා ඇතත්, අවසන් වරට 2016 වසරේ එය පවත්වා ඇත්තේ පන්දු වාර 20/20 තරගාවලියක් ලෙසිනි.
ජගත් ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමි ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය සමග හොංකොං දේශයද මෙම තරගාවලියට එක්ව සිටිති.
පළමු වරට එය පවත්වා ඇත්තේ 1984 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. 1995 වසරේද මෙම තරගාවලිය එහි පවත්වා ඇති බැවින් මෙවර ඔවුන් සත්කාරය ලබාදෙන්නේ තෙවැනි වරටය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අවස්ථා 4කදී බැගින් තරගාවලියට සත්කාරය ලබාදී ඇති අතර, ඉන්දියාව හා පාකිස්තානය සත්කාරය සපයා ඇත්තේ එක් අවස්ථාවක් බැගිනි.
ඉන්දියාව මේ වනවිට ආසියානු ශූරතා 6ක් දිනා තුනක අනු ශූරතා හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශූරතා 5ක් හා අනු ශූරතා 6ක් දිනා ගනිමිනි.
පාකිස්තානය ශූරතා 2ක් හා අනු ශූරතා 2ක් දිනා ඇති අතර බංග්ලාදේශයට හිමිව ඇත්තේ අනු ශූරතා දෙකක් පමණි.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරය දරන ලද 1984, 1995 යන අවස්ථා දෙකේදීම ඉන්දියාව ශූරතා දිනා ගනිද්දී අනු ශූරතා ශ්‍රී ලංකාව දිනාගෙන තිබිමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, සඳරුවන් පෙරේරා, අමිල අ‍පෝන්සු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

අතිරේක ක්‍රීඩකයන්
මොහාන් මධුශංඛ, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්