ස්වභාව සෞන්දර්යයෙන් අනූන මෙරට මුහුදු කලාපය විවිධ හේතූන් මත අද වන විට දැඩි ලෙස දූෂණයට ලක්වී හමාරය. අපිරිසිදු දෑ සාගරයට බැහැර කිරීම දිනෙන් දින මහා පරිමාණයෙන් සිදු වූවත් රටේ වගකිව යුතු අංශ ඒ පිළිබඳව මතෛක් පුළුල් අවධානයක් යොමුකර නැත. මෙරට සාගරයට සහ වෙරළ කලාපයට සිදුවූ ආසන්නතම බරපතළ හානිය වාර්තා වන්නේ ඉකුත් 08 වැනිදාය. මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන රැගෙන යමින් තිබූ නළයකින් මහා පරිමාණයෙන් තෙල් කාන්දුවීමක් සිදු වීම එම සිද්ධියයි. මෙම තෙල් කාන්දුව නිසා දික්ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරය දක්වා කොටසට බරපතළ පාරිසරික බලපෑමක් එල්ල වී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද සඳහන් කරයි.

නෞකාවල සිට රැගෙන එනු ලබන ඉන්ධන මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයට රැගෙන යනු ලබන්නේ බෝයාවන් ඔස්සේය. නළයේ කාන්දුවීම හේතුවෙන් ඉන්ධන ටොන් දහයකට අධික ප්‍රමාණයක් සාගරයට එකතු වූ අතර ඒවා සියල්ල ගලා ආවේ දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයටය. සිදුවූ මෙම පරිසර හානිය යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේය.

වෙරළ කලාපයට එක්ව තිබූ මෙම ඉන්ධන තොගය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් මත වහා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දැවැන්ත මෙහෙයුමක් පසුගියදා ආරම්භ කළේය. ජපන් රජය විසින් මෙරට වෙරළාරක්ෂක කටයුතු සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ සමාරක්ෂාසහ සමුද්‍රරක්ෂායන නෞකා දෙකද ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගන්නා ලදි. ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ, නාවික හමුදාවේ සහ යුද හමුදාවේ තුන්සියයකට අධික පිරිසක් දායකත්වය දක්වන ලදි. මේ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ගුවන් හමුදාවද සිය දායකත්වය දක්වා සිටියේය. මෙම මෙහෙයුම ඉකුත් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතරක කාලයක් සිදු කෙරිණි.

මුහුදු සහ වෙරළ කලාපයේ ඉන්ධන ඉවත් කිරීමට පෙර නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක නෞකා, ඩේ‍රා්න කැමරා ඇතුළු අනෙකුත් තාක්ෂණික උපකරණ සේම ගුවන් හමුදාවට අයත් වයි 12 ගුවන් යානය භාවිත කර මුහුදු කලාපයේ සහ වෙරළ කලාපයේ ඉන්ධන විසිරී ඇති අයුරු මුලින්ම නිරීක්ෂණය කරන ලදි.

දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වෙරළ කලාපයේ තෙල් මිශ්‍ර වැලි ඉවත් කර ‍පොලිතින් උරවලට බහාලීම මුලින්ම සිදුකරන ලදි. එමෙන්ම, මුහුද මතුපිට පාවෙමින් තිබූ තෙල් තට්ටුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර්වලට ‍පොම්ප කිරීමටද කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමෙන් පසුව මුහුදේ ඉතිරිව තිබෙන තෙල් ඉවත් කිරීම සඳහා තෙල් උරාගනු ලබන විශේෂිත රෙදි වර්ගයක් භාවිත කර ඒවාට ඉන්ධන ලබා ගැනීමටද කටයුතු කරන ලදි. වෙරළ ඛාදනය වැළැක්වීමට යොදා තිබූ ගල් වැටිවල බැඳී තිබූ තෙල් තට්ටු ඉවත් කිරීමද මෙම මෙහෙයුමේදී සිදුවිය. අධිපීඩන ජල ‍පොම්ප සහ රෙදි කැබලි යොදාගෙන එම කටයුත්ත සිදු කෙරුණි. මෙහිදී වෙරළ කලාපයට සහ මුහුදු ප්‍රදේශයට එක්ව තිබූ විශාල ඉන්ධන තොගයක් ඉවත් කිරීමට ඔවුනට හැකි විය.

වැලි සමග මුසු වූ බොරතෙල් ඒකරාශි කර සිමෙන්ති නිෂ්පාදන ආයතනයකට රැගෙන ගොස් පුළුස්සා විනාශ කිරීමට කටයුතු කිරීමටද කටයුතු යොදා ඇති අතර සිදුවූ මෙම පරිසර හානියට විරුද්ධව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. කෙසේ වුවද මෙම මුහුදු කලාපයේ ජීවත් වූ සාගර ජීවීන්ට සේම පරිසර ශාක පද්ධතියටද මෙම පරිසර හානිය නිසා දැවැන්ත බලපෑමක් එල්ල වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පරිසර බලපෑම සිදුවූ ස්ථානය අනුව ඉන්ධන ඉවත් කිරීමට හැකිවූයේ සියයට හැටක-හැත්තෑවක ප්‍රතිශතයක් පමණයි. හැම දශමයක්ම ගන්න ගියොත් පරිසරයට සිදුවන හානියත් වැඩියි. ඉතුරු තෙල් දැන් අපි රළ මගින් තැන් තැන් වලට එකතු වීමට අවස්ථාව සකසා තිබෙනවා. අනතුරුව අපි එම ඉන්ධනත් එකතු කරනවා. ඉතිරි ඒවා අව්වට, වැස්සට, සුළං වලට වියෝජනය වෙනවා. යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටෝනි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

වෙරළේ ඉන්ධන මුසුව තිබූ වැලි ට්‍රැක්ටර් ලෝඩ් 20 ක් විතර අපි එකතු කරා. තෙල්වල රසායනික ද්‍රව්‍ය කොහොමත් මුහුදු ජලයේ දිය වෙනවා. ලොකු මත්ස්‍යයින් එම ස්ථානවලින් ඉවත් වුණත්, ‍පොඩි මත්ස්‍යයින් මිය යාමේ ඉඩකඩ වැඩියි. නමුත්, මත්ස්‍යයින් මැරිලා තැන් තැන්වලට ගොඩ ගැසූ බවට අපට තවමත් වාර්තා වෙලා නෑ. නමුත්, ශාක ප්ලවාංග, ඇල්ගී විශේෂ, ගල්වල සිටින බෙල්ලෝ ආදී සත්තු සියල්ලම මිය ගියා. මේ පරිසර තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට අනිවාර්යයෙන්ම තව අවුරුදු හතරක් පහක් යාවි. මේක අපිට කරන්න බෑ. එය ස්වාභාවික ක්‍රියාවලියක්. යැයිද ආචාර්ය ටෝනි ප්‍රදීප් කුමාර මහතා කීවේය.
මෙම තෙල් කාන්දුව හේතුවෙන් දූෂ්‍ය වන ජලයේ ජීවත් වන මසුන් ආහාරයට ගැනීම මිනිසුන්ටද ඉතා අහිතකර විය හැකි බව පරිසරවේදී සජීව චාමිකර මහතා අප කළ විමසුමකදී කීවේය.

මෙම මත්ස්‍යයින් වෙතින් දැඩි දුර්ගන්ධයක් මතු වනු ඇති අතරට ඔවුන්ගේ වරල් හා කොර‍පොතුවල තෙල් රැඳී පවතිනු ඇති බවත් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් චාමිකර මහතා මෙහිදී සඳහන් කළේය.
මසුන්ගේ බෝවීමේ ක්‍රියාවලිය සිදුවන පරිසර පද්ධති මෙම තෙල් කාන්දුව හේතුවෙන් දූෂණය වන බවත් ඒ හේතුවෙන් මසුන්, ඉස්සන්, ‍පොකිරිස්සන් ඇතුළු සියලු ජලජ සතුන්ගේ බෝවීමේ ක්‍රියාවලියට බරපතළ හානිකර බලපෑමක් සිදුවනු ඇති බවත් චාමිකර මහතා මෙහිදී පැවසීය.

නෞකා ඔස්සේ මෙරටට රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයට රැගෙන යන මෙම නළ මාර්ග පද්ධතියේ නිතරම පාහේ කාන්දුවීම් සිදුවේ. මීට ප්‍රධාන හේතුව නම් මෙම නළ පද්ධතිය ඉතාමත් පැරණිවීමය. වරෙක මෙම කාන්දුව මුහුදු කලාපය ආශ්‍රිතව සිදුවන අතර, තවත් වරෙක එම කටයුතු සිදු වන්නේ මුතුරාජවෙල වගුරු බිම් කලාපය ආශ්‍රිතවය. මේ නිසා වරින් වර සිදුවන පරිසර හානිය සුළුකොට තැකිය නොහැකිය. මෙම නළ පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් ඒවාට පිළියම් යෙදිය යුතුය. ඛනිජ තෙල් කටයුතු භාර දේශපාලනඥයින්ට සහ බලධාරීන්ට ඉන් ගැලවීමට නොහැකිය. නැතහොත් මෙම පරිසර හානි තත්ත්වය දිගින් දිගටම තවදුරටත් ඉදිරියේදීද සිදුවීමේ දැඩි අවදානම් තත්ත්වයක් පැවතිය හැකිය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com