වරාය හා නාවික කටයුතු, වත්මන් ලෝකය තුළ අතිශයින් තරගකාරී ව්‍යාපාර ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට පැමිණ ඇත. ලෝකයේ බොහෝ රටවල් තම වරාය කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබා දී ඇත්තේ ඒ හරහා දැවැන්ත විදේශ විනිමයක් උපයා ගැනීමට ඇති හැකියාව නිසා මෙන්ම ආර්ථික හා දේශපාලන වශයෙන් දරන උපාය මාර්ගික වැදගත්කම නිසාවෙනි. මෙම තත්ත්වය ලෝකයේ ප්‍රබල රාජ්‍යයන්ට පමණක් නොව ශ්‍රී ලංකාව වැනි දියුණුව කරා ගමන් කරමින් සිටින රටවල්වලටද එක සේ අදාළ වේ.

භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ අතිශයින් වැදගත් ස්ථානයකය. මැද පෙරදිග සහ ඈත පෙරදිග රටවල් යා කෙරෙන නාවික වෙළෙඳ ගමන් මාර්ගය ඇත්තේ මෙරටට ආසන්නවය. එසේම සුදුසු නැංගුරම් පළවල් සහිත වෙරළ තීරයක්ද ශ්‍රී ලංකාවේ පවතී. මෙනිසාම ඈත අතීතයේදී නම් ශ්‍රී ලංකාව මෙම නාවික මඟේ ගමන්ගත් වෙළෙන්දන් සහ අනිකුත් නාවිකයින් ආකර්ෂණය කර ගත් සුවිශේෂී වෙළඳ මධ්‍යස්ථානයක් විය.
මෙරට ප්‍රධානතම වරාය ලෙස සැලකෙන කොළඹ වරාය අතීතයේ සිටම මෙරට ආර්ථිකයේ හදවත බඳු වූ අතර එහි දියුණුව හා සාර්ථකත්වය රටේ ආර්ථික වර්ධනයට ඍජුවම බද්ධ වී පවතින්නකි. පැරැණි රජ දවස සිට 1875 වර්ෂය දක්වා කොළොම් තොට ස්වාභාවික වරායක් විය. අරාබි වෙළෙඳුන්, ආර්ය චක්‍රවර්තීන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ද වැඩි කලක් මෙසේ කොළඹ වරාය ස්වාභාවික පිහිටීම අනුවම භාවිතයට ගත්හ. එහෙත් නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම නිසා සිදුවන අනතුරු හා අලාභද, විශාල නැව් සඳහා නුසුදුසු වීම හේතුවෙන් ද කොළඹ වරාය පුළුල් කර නවීකරණය කිරීමට ඉංග්‍රීසීන්ට (බි්‍රතාන්‍ය පාලනයට) සිදුවිය. ඒ අනුව 1875 දෙසැම්බරයේදී කොළඹ වරාය කෘත්‍රිම වරායක් බවට පත් කරමින් බි්‍රතාන්‍ය කිරුළ හිමි වේල්ස් කුමරු (හත්වන එඞ්වඞ් රජු) අතින් නිරිත දිග දියකඩනය සඳහා මුල්ගල් තැබිණි.

මේ අනුව යටත් විජිත සමයේදී (1910 වන විට) කොළඹ වරාය ලොව තිබූ ශ්‍රේෂ්ඨ වරායන් අතර හත්වන ස්ථානයටත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ තුන්වැනි තැන ගත් වරාය බවටත් පත් වූ බව එකල වාර්තාවල සඳහන් වේ. බි්‍රතාන්‍යයන් විසින් දිගින් දිගටම සංවර්ධනය කරමින් පැවතුණු කොළඹ වරාය 1912 දී ඇවිල ගිය පළමු ලෝක යුද්ධය හා 1939 දී ඇවිල ගිය දෙවැනි ලෝක යුද්ධය හමුවේ දැඩි බාධාවන්ට හා බලපෑම්වලට ලක්විණි. කෙසේ හෝ 1946 න් පසු උදා වූ සාමයත් සමඟ තවදුරටත් කොළඹ වරායේ ආනයන අපනයන කටයුතු ශීඝ්‍ර වර්ධනයකට ලක්වූ බව සඳහන් වේ. කෙසේ වෙතත් මෑත යුගයේ වෙනත් ආසියාතික රටවල් රැසක් ආර්ථික වශයෙන් අපගේ රට පසුකරගෙන යාමත් සමග මෙරට වරාය ක්ෂේත්‍රය තුළ යම් පසුබෑමක් ඇතිවිය.

ඇත්තෙන්ම වත්මන් ලෝක තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වරායකට ලෝකයේ ප්‍රමුඛ වරායන් සමග කරට කර තරග කිරීම අතිශයින් අභියෝගාත්මක අසීරු කාර්යයක් බව විශේෂයෙන් කිව යුතු කරුණක් නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වරාය වන කොළඹ වරාය පසුගිය වසර කිහිපයක කාලය තුළ මේ අසීරු අභියෝග ජය ගනිමින් සිටිනු දැකීම සතුටට කරුණකි.

මේ සඳහා ආසන්තම හා හොඳම නිදසුන ලෙස පෙන්වාදිය හැක්කේ ජාත්‍යන්තර “ඇල්ෆාලයිනර්” (්කචය්කසබැර) වාර්තාවලට අනුව වර්ධන අනුපාතය අතින් කොළඹ වරාය 2018 වසරේ පළමු අර්ධය තුළ ලෝකයේ ප්‍රධාන බහලූ මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත්වීමය.

ජාත්‍යන්තර අල්ෆලයිනර් ආයතනය තම වාර්තාව සකසනුයේ වරාය හා සමුද්‍රීය සේවා හා සම්බන්ධ වරාය අධිකාරීත්වය, පර්යන්ත මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම් ආයතන, මූල්‍ය ආයතන ආදි දත්ත මත පදනම් කර ගනිමින්ය. එම වාර්තාව වරාය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ ලොවම පිළිගත් දර්ශකයක් ලෙස සැලකේ.

2018 වසරේ පළමු අර්ධය තුළ බහලූ මෙහෙයුම් සියයට 15.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව ගත් කල සුවිශේෂි වර්ධන තත්ත්වයක් වේ. මෙය කොළඹ වරාය ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් වන්නේ ප්‍රධාන යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන් ද අතරින් මෙම විශිෂ්ටත්වයට පත්වීමට හැකිවීම තුළිනි.
ඇල්ෆාලයිනර් (්කචය්කසබැර) වාර්තාවලට අනුව, බහලූ මෙහෙයුම් වරායන් අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ පසු වූ සිංගප්පූරු වරාය මෙවර පෙන්නුම් කර ඇත්තේ සියයට 11.6 වර්ධනයක් පමණි. ඒ අනුව ඔවුන්ට හිමිව ඇත්තේ දෙවන ස්ථානය වේ. එසේම වාර්තාවට අනුව සියයට 8.6 ක වර්ධනයක් පෙන්නුම් කරන ගොන්ෂු (ඨම්බට‘යදම) වරාය තෙවන ස්ථානය ද, සියයට 8.3 අගයක් හිමිකර ගත් බෙල්ජියමේ ඇන්ට්වර්ප් :්බඑඇරච) වරාය සිව්වැනි ස්ථානයට ද, සියයට 7.6 අගයක් පෙන්නුම් කරන චීනයේ සියාමෙන් (ඞස්පැබ) වරාය පස්වන ස්ථානයටත් පත්ව තිබේ. කොළඹ වරාය ලබාගෙන ඇති ජයග්‍රහණයේ වැදගත්කම විශාලත්වය, එම වාර්තාව අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලි වේ.
නිවැරදි නායකත්වය, මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ප්‍රමුඛ කළමණාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශ්වයන්ගේ යහපත් දායකත්වය තුළින් ජයබහලූ පර්යන්තය ප්‍රමුඛ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති බව නාවික හා වරාය කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

‘වරාය සංවර්ධනය හා කළමනාකාරීත්වය සඳහා අප පියවර රැසක් ගනු ලැබුවා. මෙම ජයග්‍රහණ පිටුපස ඇත්තේ එම නිවැරදි පියවරයන් බව කිව හැකි” යැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය,
මෙපමණක් නොව ,කොළඹ වරාය , ගෙවුණු කෙටි කාලසීමාව තුළ තවත් ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගත්තේය.
2017 වසරේ දී කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට ද සමත් වූ අතර ෘරුඅරහ වරාය සම්බන්ධතා දර්ශකය වරායයන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය.

18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී මෙලෙස වරායයන් 5 ක් අබිබවා මුල් පෙළට පැමිණීම සුවිශේෂිතය. තවද, ෘරුඅරහ වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරාය බවට පත්ව ඇත. එමෙන්ම, කොළඹ වරාය ලෝකයේ සමුද්‍රික සිතියම තුළ ස්වකීය ස්ථානය කරා යමින් ග්ලෝබල් පෝර්ට් ෆෝරම් (ඨඡත්‍) 2018 වසරේ වරාය අධිකාරිය සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
කොළඹ වරාය විසින් අත්පත් කරගත් මෙම ජයග්‍රහණ, වරාය සංවර්ධනය තවදුරටත් තිරසාර කිරීම සඳහා ප්‍රවේශයක් වී ඇත. එනම් කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය සාමුහික ගිවිසුමකට එළඹීමයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැලකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇත.
කොළඹ වරායේ මෙම සාර්ථකත්වය තවදුරටත් රඳවා ගනිමින්, එය ඉදිරියට ගෙනයමින් ආසියාවේ කේන්ද්‍රීය වරාය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට බලධාරීන් තවදුරටත් නිවැරදිව කටයුතු කළහොත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සිහිනය සැබෑවක් කරගත හැකි වනු ඇත. කොළඹ වරාය එම සමෘද්ධියේ රන් දොරටුව වනු ඇත.

පැතුම් වික්‍රමරත්න