මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය නිසා ලක්ෂ ගණනාවක ජනතාව මහත් පීඩාවට පත්ව සිටින්නේ බිමටවත් ජල ‍පොදක් සොයා ගත නොහැකිවය. අතීතයේ වැව් බැඳි රාජ්‍ය වූ රජරට කලාපයේ බිමටවත් දිය ‍පොදක් සොයා ගත නොහැකි තරමටම ළිං සිඳී ගොසිනි. කුඩා පරිමාණ වැව් රැසක් පතුළ පෙනෙන තරමටම සිඳී ගොසිනි. වැසි ‍පොදක් ඉල්ලමින් රටේ ගොවීන් දෙවියන් හමුවේ කන්නලව් කරන්නේ බිමට වත් දිය ‍පොදක් දෙන ලෙසටය.

වාරි මාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දත්තවලට අනුව රටේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 248, 519 ක පුද්ගලයින් 890, 001 දෙනෙකු නියං රකුසාගෙන් පීඩා විඳිති. පවතින නියං තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඉකුත් 11 දා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදි. එහිදී අනාවරණය කරනු ලැබුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීමට කටයුතු කරන බවය.

රජය සඳහන් කරන පරිදි යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පුත්තලම, ‍පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාත‍ලේ, හම්බන්තොට, මොණරාගල, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 17 ක ජනතාව නියඟයෙන් මහත් පීඩාවට පත්ව සිටිති. එනම් දිස්ත්‍රික්ක කීපයක් හැරෙන්නට රටේ බහුතර ප්‍රදේශයක් මෙවර නියඟයට මුහුණ පා සිටිති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වසරේ (2017) සැප්තැම්බර් මාසයට වඩා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී වාරි මාර්ග ජලාශවල ජල මට්ටම සියයට 17 කින් පහත වැටී ඇත. මෙම ජල ප්‍රමාණය වාෂ්පීකරණයත්, ‍පොළොවට උරා ගැනීමත් සමඟ එන්න එන්නම අඩුවේ. කෙසේ වෙතත් වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ආදී ජලාශවල ජල ධාරිතාව සියයට අසූවක පමණ මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ තොරතුරු සඳහන් කරයි. එම ජල ප්‍රමාණය මහවැලි කලාපයේ වගා බිම්වලට මහ කන්නයේදී ජලය සැපයීමේ හැකියාව පවතින බවද මහවැලි අධිකාරිය සඳහන් කරයි. ඒ කෙසේ වූවද තිබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවට මහවැලි අධිකාරිය ගොවීන්ට දන්වා ඇත. රජය පවසන්නේ අනෙකුත් ප්‍රදේශවල වගා බිම්වලට ජලය සැපයීම සඳහා වගා නළ ළිං සකසන බවය.

ගෝලීය දේශගුණික හා කාලගුණික විපර්යාසයන්හි බලපෑම වර්තමානය වන විටදී ශ්‍රී ලංකාවට දැඩි ලෙසම බලපා ඇතැයි කිවහොත් නිවැරදිය. වසර ගණනාවක සිට වර්ෂා රටාවේ වෙනස් වීම් දක්නට ලැබෙන බවට කාලගුණ විද්‍යාඥයින් සේම කෘෂි ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස්ද කියා සිටිති. ඇතැම් කාලවලදී රටේ වියළි කලාපයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන අතර තෙත් කලාපීය ප්‍රදේශවලට වර්ෂාව නොලැබිමෙන් පවතින්නේ වියළි කාන්තාර සේය. කෙසේ වූවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අන්තර් මෝසම් වැසි ලැබේ යැයි බලා‍පොරොත්තු වන බවය.

රජරට කලාපය අතීතයේදී හඳුන්වනු ලැබුවේ වැව් බැඳි රාජ්‍ය ලෙසිනි. ජලයෙන් ස්වයං‍පෝෂිත වූ මේ කලාපය ගොවිතැනින්ද ශීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගත්තේය. නමුත් අද වන විටදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත. සුළු වර්ෂා තත්ත්වයකදී පවා පිටාර ගලා යන මේ වැව් මාසයක් දෙකක් පායද්දී පතුළ මතුවන්නටම සිඳී යන්නේය. රජරට කලාපයේ ගොවීන් සඳහන් කරන පරිදි ප්‍රදේශයට වසර දෙකක පමණ කාලයකින් ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනයක් ඇද හැලී නැත. මේ නිසා වැව් පමණක් නොව බිමට ජලය සපයා ගන්නා ළිං පවා සිඳී ගොස් තිබේ. වැව් බැඳි රාජ්‍යයේ අද ජලය ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් දෙකකට හෝ තුනකටය.

අප ඉහතද සඳහන් කළ පරිදි රටේ සුළු පරිමාණ වැව්වල පමණක් නොව ප්‍රධාන පෙ‍ලේ වැව් සහ ජලාශවල ජල ධාරිතාවන් පහළ බැස තිබේ. අම්පාර, සේනානායක සමුද්‍රය, අනුරාධපුර, නුවර වැව, මහකනදරාව ජලාශය, හුරුළු වැව, රාජාංගනය ජලාශය, හම්බන්තොට, වෙහෙරගල ජලාශය, කුරුණෑගල, දැදුරු ඔය, මොනරාගල, මුතුකකණ්ඩිය ජලාශය, ‍පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව, ත්‍රිකුණාමලය, කන්ත‍ලේ වැව මේ අතරින් ප්‍රධාන තැනක් හිමිකර ගනී. එමෙන්ම මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට කාලයකින් වර්ෂාවක් ඇද හැලී නැත.

මේ මහා පරිමාණ ජලාශ හෙට අනිද්දා වන විට තවත් වියළී යනු නොඅනුමානය. නමුත්, බරපතළ කාරණය නම් ඉදිරි වගා කටයුතුවලට ජලය සපයා ගන්නේ කෙසේද යන්නයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් රැසක් මේ වනවිට විනාශ වී හමාරය.

මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ උතුරු පළාතේ ජනතාවය. යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් ආදී දිස්ත්‍රික්කවල පවුල් 103, 386 ක පුද්ගලයින් 357, 736 දෙනෙකු නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. මේ දිස්ත්‍රික්ක අතරින් වැඩිම පිරිසක් නියඟයෙන් පීඩා විඳින්නේ යාපනය දිස්ත්‍රික්කයේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සැප්තැම්බර් මස 11 දා නිකුත් කරන ලද වාර්තාවට අනුව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 30408 ක පුද්ගලයින් 110, 156 දෙනෙකු නියඟයෙන් පීඩාවට පත්ව සිටින්නේය. මේ ප්‍රදේශවල ජනතාව ජලය සපයා ගත් ළිං රැසක්ම සිඳී ගොසිනි. උල්පත් සහිත ළිංවල පතුළ ‍පොල්කටුවලින් හාරා ඇතැමුන් බිමට ජල ‍පොදක් සොයා ගනිති.

රජය කොතරම් උදම් ඇනුවද නියඟයෙන් පීඩා විඳින ජනතාවට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබෙන්නේය. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජලය බෙදා හරිනු ලැබූවද, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ජල බවුසරයක් හීනෙන්වත් දැක නැත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල පමණක් එවැනි පවුල් සිය ගණනක් සිටින්නේය. බොහෝ පළාත් පාලන ආයතන මගින් පානීය ජලය යැයි කියමින් බෙදාහරින ජලය පිරිසිදු තත්ත්වයේ පවතීයැයි නිසි පරීක්ෂාවකට ලක් කෙරෙන්නේද නැත.

රටේ බොහෝ වියළි කලාපීය ප්‍රදේශවල ජලය ලීටරයක් රුපියල් දෙකකට හෝ තුනකට අලෙවි කෙරෙන්නේය. ඉලෙක්ටේ‍රානික ජල පෙරණ මගින් ජලය පිරිසිදු කර මෙහිදී අලෙවි කෙරෙන්නේය. ප්‍රදේශයේ නිවාසවල පවා ව්‍යාපාරයක් ලෙස මෙම කටයුත්ත සිදු කෙරෙන්නේය. එමෙන්ම, පිරිසිදු කරන ලද ජලය බව පවසමින් කුඩා ලොරිවල පටවන ලද ටැංකිවලින්ද ජලය විකුණන්නේය. නියං තත්ත්වයත් සමග බොහෝ දෙනෙකුට ජලය විකිණීම හොඳ ඉල්ලමක් බවට පත්ව ඇත්තේ පානීය ජලය සඳහා පවතින දැඩි ඉල්ලුම නිසාවෙනි. මේ පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ සොයා බැලීමක්ද කරන්නේ නැත.

පවතින නියං තත්ත්වය සතුන්ටද දැඩි බලපෑමක් එල්ල කර ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විල්ලු 42 න් 14 ක්ම සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. මේ නිසා වනෝද්‍යානය තුළ ‍පොකුණු සාදා ඒවාට බවුසර් මගින් ජලය පිරවීමට වනජීවී නිලධාරීන් කටයුතු යොදා ඇත.

පවතින නියං තත්ත්වය දීර්ඝ කාලීනව තව දුරටත් පැවතියහොත් ආහාර අර්බුදයක පෙර නිමිති යළි මතුවෙනු නොඅනුමානය. මෙරට කෘෂි විද්‍යාඥයින් පඳුරක් පඳුරක් ගානේ සිටින්නේය. ගෝලීය කාලගුණ විපර්යාසවලට අප මුහුණදිය යුත්තේ කෙසේද සම්බන්ධව විශ්ව විද්‍යාලවලින් ජාත්‍යන්තරයට යැවීම සඳහා කාලයෙන් කාලයට පර්යේෂණ වාර්තා සකස් කරන්නේය. නමුත්, මෙම වාර්තා එකකින් වත් දේශීය ගොවියාට සෙතක් සිදුවී නැත. ගෝලීය කාලගුණ විපර්යාස හමුවේ අපේ වගා කටයුතු සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් මතෛක් කිසිදු පලක් වී නැත. දේශීය ගොවියා තවමත් වගා කටයුතු කරන්නේ තමන්ට සිතූ සිතූ පරිදිය. මහා පරිමාණ වගා බිම්වලට ජලය සැපයීමේදී දේශපාලනඥයින් අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වන්නේය. දැන්වත් කෘෂි විද්‍යාඥයින් ගොවීන්ට සිය දැනුම ලබා දිය යුතුව ඇත.

එළවළු මිල ගණන්ද යළි ඉහළ යාමේ අවදානම් තත්ත්වයක් පවතී. හේන් ගොවිතැන් කටයුතු සඳහා වැසි නොමැති වීමෙන් වියළි කලාපයේ හේන් ගොවිතැන් කටයුතුද අඩාළ වී තිබේ. මේ නිසා ඉදිරියේදී එළවළු මිලෙහි සිදුවිය හැකි විපර්යාසයන් පිළිබඳව රජය දැන්වත් අවධානය යොමු කළ යුතුව ඇත.

දිනෙන් දින ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරීම තවමත් සිදුවන්නේය. පරිසර දිනයට පමණක් රට වටා පැළ ලක්ෂ ගණනක් සිටු වන්නේය. ඊළඟ වසරේ පරිසර දිනයේදී එම පැළය සිටවූ තැනක්වත් සොයා ගැනීමටවත් නැත. පවතින නියං තත්ත්වය හමුවේ ඉතිරී වී තිබෙන කැලෑ ටිකවත් අප ආරක්ෂා කරගත යුතුය. ජනතාවට පිරිසිදු ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් දියත් විය යුතුය. එමෙන්ම, ඉදිරි කන්නයේ වගා කටයුතු ගැන දැන් තියාම සැලසුම් සකස් නොකළහොත් සිදු වන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් යළි මහජනතාවගේ රීරි මාංසයද උලා කෑමය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com