අලිගැටපේර කියන්නේ ලංකාවේ ජනප්‍රිය පලතුරක්. ලංකාවේ බොහෝ අය අලිගැටපේර බීමක් සහ අතුරුපසක් වශයෙන් ආහාරයට ගන්නවා. ඒත් පිට රටවල නම් අලිගැටපේර පලතුරක් වගේම සලාද, සැන්ඞ්විච්වලටත්, රෝල්ස්, කට්ලට්, කේක් වගේ දේවල් සඳහාත් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නවා. සලාදවලට සහ සැන්විච්වලට ලංකාවේ අලිගැට පේර යොදා ගත්තත් රෝල්ස් සහ කට්ලට් නම් භාවිත වෙනවා අඩුයි.
හැමදාම කන බොන විදිහටම නැතිව වෙනසකට එක්ක මේ වගේ හදලා කාලා බලන්න. හරිම රසයි..

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉඳුන අලිගැටපේර
දෙහි ඉස්ම
කෑලි මිරිස්
චොප් කරගත් සුදු ලූනු
ලොකු ලූනු රවුම් පෙති
කොත්තමල්ලි කොළ (චොප් කරගත්)
ලුණු
අවශ්‍ය නම් හැම් හෝ බේකන් (කුඩා කැබලිවලට කපා ගන්න)

බැදීමට අවශ්‍ය දේ
වියළි පාන් කුඩු
බිත්තර
තෙල්
පාන් පිටි (මිරිස් කුඩු සහ ලුණු කුඩු ටිකක් කලවම් කර ගන්න)

දැන් ඉතින් හදන විදිහ බලමු
1. පළමුව අලිගැටපේර මදය භාජනයකට දමා එයට දෙහි ඉස්ම දමා ගෑරුප්පුවකින් පොඩි කර ගන්න.
2. එයට කපා ගත් කොත්තමල්ලි කොළ, සුදු ලූනු, ලුණු, කෑලි මිරිස් එකතු කර හොඳින් කලවම් කර ගන්න.
3. කපා ගත් ලූනු පෙති ඔයිල් පේපර් එකක් උඩ තබා එය මැදට හැන්දක් ආදාරයෙන් අලිගැටපේර මිශ්‍රණය දමා පැයක් දෙකක් පමණ අධි ශීතකරණයේ තබන්න.
4. අධි ශිතකරණයෙන් ඉවතට ගත් අලිගැටපේර මිශ්‍රණය සහිත ලූනු පෙති පළමුව පාන් පිටිවල තවරා, ඉන්පසුව බිත්තරවල දවටා අවසානයට වියළි පාන් කුඩුවල දවටා ගන්න. මේ ආකාරයට දෙපාරක් කරන්න.
5. රත් වූ තෙල්වල අඩු ගින්දරේ බැද ගන්න.
6. උණු උණුවෙන් කෑමට ගන්න. මෙය රසම රසයි. ඔයාලත් හදලා බලන්න.