වත්මන් රජය යටතේ රටේ ජාතික ආරක්ෂාව කිසිසේත් දුර්වල වී නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යාමේදී ප‍්‍රතිසංවිධාන කිරීමක් සිදු වුව ද දුර්වල වීමක් සිදුව නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය කාලයටත් වඩා ලොව ප‍්‍රබල රටවල පුහුණු අවස්ථා මෙන්ම සහයෝගයන් අද මෙරට ආරක්ෂා හමුදාවන්ට හිමිව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වනවිටද ජාතික අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව කියා සිටියේය.

ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා පිළිබද ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ පෞද්ගලික කරුණු මුල්කර ගනිමින් ඔවුන් සිදු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා මෙම කරුණු හෙළිකළේය.

අද වී සදහා ඉහළ මිලක් ලැබෙන අතර ඒ පිළිබද මාධ්‍ය ආයතනවලින් නිසි ප‍්‍රචාරයක් නොලැබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.

වී මිල ඉහළ ගියද සහල් මිල ඉහළයාමට ඉඩ නොතබා පාරිභෝගිකයාට සහන සලසමින් කටයුතු කිරීමට රජය වගබලාගෙන තිබෙන බව ද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙ`ද ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබදව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා පත්කළ විශේෂඥ කමිටුව එම පරික්ෂණ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

එම කමිටු වාර්තාව ම`ගින් මෙම ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව හෙතෙම ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ ලබන 25 වැනිදා ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියාසිටියේය.

යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබාගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබදව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් බව ද ඔහු සදහන් කළේය.

අපගේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා මෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබද තවමත් ඉතිරිවී ඇති ගැටලූ රැසක් සුහදශීලිව විසදාගැනීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.