ලෝ සුපතළ අලිබබා ගෲප් හෝල්ඩින් ලිමිටඞ්හි හෙවත් අලිබබා ඔන්ලයින් තොග වෙළෙඳසැලේ නිර්මාතෘ ජැක් මා ඉන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එ් අනුව ඔහුගේ සභාපති ධුරයේ වගකීම් සිය දෙවන නිලධාරියා ලෙස කටයුතු කළ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් ෂැන්ග් වෙත අද සිට පවරා ඇත.

මුළුමනින්ම සභාපති ධුරයෙන් ඔහු පිටව යන්නේ ලබන වසරේ සැප්තැම්බර් 10 වැනිදා හෙවත් 20 වැනි අලිබබා සංවත්සරයේදීයි.

අලිබබා ඔන්ලයින් සාප්පුව ප‍්‍රධාන විධායක නිලධාරියාගේ කළමනාකාරිත්වය යටතේ මුල්‍ය කාර්තු 13ක් පිට පිට දැවැන්ත ලාභ හා වර්ධනයක් පමණක් වාර්තා කොට ස්ථාවර තැනකට ව්‍යාපාරය ගෙන ආ බව ජැක් මා පවසා තිබේ.

එ් අනුව මෙතැනින් එහාට එහි අනාගතය නව පාලකයා සමඟින් සාර්ථක ගමනක් වනු ඇති බවත් ජැක් මා විසින් කළ නිවේදනයේ සඳහන් විය.

වචන 1000කින් යුත් එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ මෙම ව්‍යාපාරයේ හිනිපෙත්තේ සිටියදී නිර්මාතෘවරයාගේ ඉවත් වීම සාධාරණීකරණය කිරීම හා විශ‍්‍රාම ගැනීමට ජැක් මාට ඇති අවශ්‍යතාව පිළිබඳවයි.

මේ ගෙවෙනුයේ අලිබබා ව්‍යාපාරයේ දියුණුතම අවධිය වුවද එහි නිර්මාතෘවරයා ඉන් ඉවත්ව යාම බොහෝ දෙනා විස්මය දැනවීමට හේතුවක් විය.

මේ හා සමාන වෙනත් සමාගමක් බිහිකිරීම වෙනුවෙන් ඔහු මෙලෙස ඉවත්ව යන්නේ ද යන වග බොහෝ දෙනා විමසුවද ජැක් මා ඊට දක්වා තිබුණේ ඍණාත්මක ප‍්‍රතිචාරයකි.