සිංගප්පූරුවේ දැනට පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා තරගාවලිය තුළ ශ්‍රී ලංකා කාන්තාවන් සිය අණසක පතුරවමින් මතෛක් පැවැති සියලුම තරග ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

පැවැති තරග පහම විශිෂ්ට ලෙස ජය ලබා ගත් ශ්‍රීලංකා කණ්ඩායම එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි.
ආසියානු දැල්පන්දු කිරුළට හිමිකම් කියන මලයාසියාව මෙවර ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වීම විශේෂ සිදුවීමක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ශූරයන් බවට පත්වීම සඳහා මහඟු ශක්තියක් වන බව විචාරකයින් මත පළ කර ඇති අතර විදෙස් ක්‍රීඩා මාධ්‍යයද එය සඳහන් කර තිබේ.

තරගාවලිය පුරාවට දක්ෂ ලෙස ක්‍රීඩා කරන ප්‍රබල සිංගප්පූරු කණ්ඩායමද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අන්ත පරාජයකට ලක්විය.

ආසියානු දැල්පන්දු ශූරතාවලිය තෙවතාවක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර වැඩි වාර ගණනක් ජයග්‍රහණය කර ඇත්තේද ශ්‍රී ලංකාවයි.

ඉන්දියාව, චීන තායිපේ, මැ‍ලේසියාව, පිලිපීනය ඇතුළු සෙසු කණ්ඩායම් ශ්‍රී ලංකාව තරම් තරගකාරී ලෙස ක්‍රීඩා නොකරන බව විචාරකයින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, තර්ජනී ශිවලිංගම් සහ හසිසා මෙන්ඩිස් යන ක්‍රීඩිකාවන් සිය පළපුරුද්ද සහ අත්දැකීම් ජයග්‍රහණය සඳහා උපයෝගී කර ගෙන තිබේ.

ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා. තරගයෙන් තරගය අපි අපේ අත්දැකීම් උපයෝගි කර ගනිමින් අනෙකුත් කණ්ඩායම්වලට විශාල අභියෝගයක් එල්ල කළා. ඒ අනුව අපට තරග ජයග්‍රහණය කිරීම පහසු වූවා යැයි ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය පැවසීය.

මගේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. විශේෂයෙන්ම අපි අතර තිබෙන අවබෝධය තරග ජයග්‍රහණය කිරීමට ඉමහත් පිටිවහලක්. අප කණ්ඩායමට ශක්තිය තිබෙනවා මේ කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන යන්න.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

Untitled-13 Untitled-12