බංග්ලාදේශයේදී ලබන සැප්තැම්බර් 4 සිට 15  දක්වා පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ක්‍රීඩකයින් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල සහභාගි වෙයි. සුභාෂ් මධුෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දෙන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රූමි පාකිර් අලීය. කණ්ඩායමේ 7ක් සහභාගිවන මෙවර තරගාවලියේදී  ශ්‍රී ලංකාව තරග වදින්නේ ‘බි’  කොටසිනි. එම කණ්ඩායම අයත් සෙසු රටවල් වන්නේ ඉන්දියාව හා මාලදිවයිනය.

‘ඒ’ කොටසින් නේපාලය, පාකිස්තානය, භුතානය සමග සත්කාරක බංග්ලාදේශය තරග වදිති.
ශ්‍රී ලංකාව සැප්තැම්බර් 5 වැනිදා ඉන්දියාව සමගද සැප්තැම්බර් 7 වැනිදා මාලදිවයින සමග ද තරග වදින අතර අත්කර ගන්නා  ප්‍රතිඵල අනුව කාණ්ඩ දෙකේ ශූරතා අනුශූරතා දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලැබිමට නියමිතය.

මෙම තරගාවලිය අරමුණ කරගනිමින් ශ්‍රී ලංකා පිලට දිගුකාලීින නේවාසික පුහුණුවක් ලබාදුන් අතර එම පුහුණුවෙන් පසු ජපානයේදී හා කොරියාවේදී ද කෙටිකාලීන පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනය  පියවර ගෙන තිබිණි.  මේ පිළිබඳව අදහස් දැක්වූ පුහුණුකරු රූමී පාකිර් අලී රිවිරට ප්‍රකාශ කර සිටියේ තමන් විසින් සියලුම ක්‍රීඩකයින් ආක්‍රමණිය ක්‍රීඩා  විලාශයටත් ආක්‍රමණය වන ආරක්ෂාව මුසු ක්‍රීඩා  විලාශයටත් හුරු කරවූ බවය.

”මම ඔවුන්ට ලබාදුන් එම පුහුණුව අත්හදා බලන්න ජපාන හා කොරියානු සංචාර ප්‍රයෝජනයට ගත්තා. ඒ අනුව මම ජපානයේදී ඔවුනට උපදෙස් දුන්නේ ආක්‍රමණය ක්‍රියාත්මක කරන ලෙසටයි. කොරියාවේදී  ආක්‍රමණය හා  අරක්ෂාව යන ක්‍රමවේදය අනුගමනය කරන්න උපදෙස් දුන්නා. ඇත්තෙන්ම ඔවුන් ඒ ක්‍රමවේද දෙකටම හොඳින්ම අනුගත වී තිබුණා.  ඒ නිසා මෙවර තරගාවලියේදී අපට මුණගැහෙන ඉන්දියාව හා මාලදිවයින වැනි ප්‍රබල කණ්ඩායම්වලට  අභියෝගයක් එල්ල කළ හැකියි. යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසීය. තවද  ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශයට ළඟාවූ පසු පසුගිය අගෝස්තු 29 වැනිදා එරට ජාතික පිල සමග පෙරහුරු තරගයකට සහභාගිවී තිබුණි. එහිදී ද ගෝල 1-0 ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තේය.

සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා පිල සුභාෂ්  මධුෂාන් නායක, යෝගේන්ද්‍ර පුෂ්ලාස්, අනුරුද්ද වරකාගොඩ, චරිත් රත්නායක, සුජිත් කුමාර, මොහොමඩ් රිෆ්නාස්, අෆීල් මොහොමඩ්, අසිකුර් රහමන්, මරියන්තස් නිදර්ශන්, කවිඳු ඉෂාන්, මොහොමඩ් ෆෂාල්, මොහොමඩ් ෂර්වාන්, ජූඩ් සුපුන්, අසේල මධුෂාන්, සසන්ක දිල්හාර, දිලාන් කෞෂල්‍ය, හර්ෂ ප්‍රනාන්දු, ධනුෂ්ක රාජපක්ෂ, ලක්ප්‍රිය ප්‍රනාන්දු.

සීවලී එදිරිවීර

Untitled-8 Untitled-7