ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන 20-20 ලීග් තරගාවලියේදී ක්‍රීඩකයන් රැසක් පිත්තෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කොළඹ, නුවර, දඹුල්ල, ගාල්ල යන කණ්ඩායම් මේ සඳහා එක් කර තිබේ. තියුණු තරග කිහිපයක්ම නිමා වනු දැක ගත හැකි වූ අතර පිතිකරුවන් කිහිප දෙනකු මේ අතරින් කැපීපෙනෙන දක්ෂතාවන් අතර සිටිති. ඒ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග සහ දසුන් ශානකයි.

දසුන් ශානක මහනුවර කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයකු ලෙස මෙම තරගාවලිය පුරාවටම දක්ෂතාවන් අතරට පැමිණ තිබේ. ඒ ඔහුගේ පිතිකරණය මනාවට උපයෝගි කර ගනිමින්ය.

මහනුවර සහ ගාල්ල අතර ඉකුත් 30 වැනිදා පැවැති තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් පන්දු 52කට පමණක් මුහුණ දෙමින් හතරේ පහරවල් 13ක් සමග දැවැන්ත හයේ පහරවල් පහක් එල්ල කරමින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්හ. මෙය මෑත කාලයේදී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වූ ආකර්ෂණීය ඉනිමක් බව සඳහන් කළ යුතුය.
ප්‍රතිවාදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 20ට ලබාගත් ලකුණු 196ක ඉලක්කය පන්දුවාර 19.2කදී කඩුලු පහක් පමණක් ලබා දෙමින් මහනුවර කණ්ඩායමට ලබා ගත හැකි වූයේ දසුන්ගේ ප්‍රවේගකාරි ප්‍රතිප්‍රහාරය නිසාවෙනි.

ඉකුත් දා අවසන් වූ දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රහාරක ක්‍රීඩකයා මෙන්ම වඩා වේගවත්ම පිතිකරුවා ලෙස තමන්ට ඕනෑම තැනක ක්‍රීඩා කළ හැකි බව දසුන් පෙන්වීය.

පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසද විශේෂ දක්ෂතාවක් ඇති දසුන් ශානක 1991 සැප්තැම්බර් 09 වැනිදා මෙලොව එළිය දුටුවේය. ඔහු මේ වන විට 26 වියේ පසුවන අතර මීගමුව ශාන්ත පීතර සහ මාර්ස්ටේලා යන විද්‍යාලවලින් සිය අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩාව ප්‍රගුණ කර තිබේ. දකුණතින් පිත්ත හසුරුවන ඔහු දකුණතින් මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමද නියෝජනය කර ඇති දසුන් මේ වන විට සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරයි.

දැනට ජාත්‍යන්තර ටෙස්ට් තරග තුනකදී ඉනිම් හයකට ලකුණු 29ක් ලබා ගෙන තිබේ. එක්දින ජාත්‍යන්තර තරග 11කට සහභාගි වී ඉනිම් නවයකදී ලකුණු 205 ලබාගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 25.62. ලකුණු ලබාගැනීමේ වේගය 133.98කි. මෙහිදී හතරේ පහරවල් 17 සහ හයේ පහරවල් 11 එල්ල කර ඇත.

විස්සයි විස්ස තරගාවලි තරගය 25කට මුහුණ දී ලකුණු 319ක් ලබාගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 15.95කි.

පළමු පෙළ තරගවලදී ලකුණු 2584 ඔහුගේ පිත්තෙන් ලබාගැනීමට දසුන් සමත්ව ඇත.
පන්දු යවන්නකු ලෙස ජාත්‍යන්තර තරගවලදී ටෙස්ට් තරග තුනකදී ඉනිම් හතරකට සහභාගි වී කඩුලු නවයක් ලබාගෙන තිබේ.

එක්දින තරග අටකදී කඩුලු හතක් ලබාගෙන ඇති අතර විස්සයි විස්ස ඉනිම 13කදී කඩුලු නවයක් ලබාගෙන තිබේ.
මෙවැනි ක්‍රීඩකයන් කිහිප පළකින්ම මීට පෙර අවස්ථා කිහිපයකදීම කෙටි කාලයකදී ජාතික කණ්ඩායමෙන් ඉවත් වූයේ අවාසනාවන්ත ලෙසිනි. තරග කිහිපයක් හෝ තරගාවලියක් දුර්වල ක්‍රීඩා විලාසයක් දැක්වූ පමණින් ක්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත් නොකළ යුතු බව පැරණි ක්‍රීඩකයන්ගේ මතයයි. ඒ මතය අප මේ වන විට අත්විඳ ඇති හෙයින් දසුන් වැනි ක්‍රීඩකයන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමකි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්