විපක්ෂ නායක ධුරය දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාට ලබානොදීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත‍්‍රීවරු න`ගන චෝදනා අසාධාරණ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය මගින් අදාළ ප‍්‍රකාශයට හේතු දක්වා තිබුණේ මෙලෙසයි.

“මීට ඉහත විපක්ෂනායකවරුන් පත් කළ අවස්ථා හා මෙරට ජාතික ආණ්ඩු සංකල්පය හරහා පළමු වරට පත් කරන ලද මෙම පත්වීමේ පසුබිම වෙනස් බව අවබෝධ කොට නොගෙන මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අතිශයින් අසාධාරණ බව සඳහන් කළ යුතුව ඇත.

කථානායක කරු ජයසූරිය මහතා එම ධූරය භාර ගත් 2015.09.01දා සිට අද දක්වා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් වියුක්තව ස්වාධීනව කටයුතු කර ඇති අතර කිසිදු බලපෑමකට යටත් නොවු බවද, කථානායක ධූරයට පත් වූ දින සිට මේ දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක කාර්යාලයකට හෝ නොගොස් සපුරා දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බවද අවධාරණය කරමු.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය වනුයේ කතානායකවරයා විසින් දෙනුලබන තීරණය පිලිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඊට අවශය ඊළඟ පියවර ගැනීමයි. එසේ නොමැතිව, තමන් අපේක්ෂා කරන මතය ප්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීමත් පදනම් විරහිත සහ පහත් අන්දමේ විවේචනයන්ට ලක් කිරීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරනු ඇති බවද සඳහන් කරමු.”